වික්‍රමබාහුගෙන් පෙත්සමක්….

0
182

bahuපේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමාට ලැබිය යුතු වැටුප්,පාරිතෝෂිත දීමනා, හා සේවක අර්ථ සාධක මුදල් ද, ඊට අමතරව රු.මිලියන 2ක වන්දියක්ද ලබාදෙන ලෙස ඉල්ලා නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් වශයෙන් විශ්ව විද්‍යාලය, උපකුලපති,වැඩබලන උපකුලපති,සියලුම පීඨාධිපතිවරුන් සහ සනාතන සභාවේ සියලුම සාමාජිකයින් නම් කර තිබේ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එම පෙත්සමෙන් ප‍්‍රකාශ කර තිබෙන්නේ තමා ඩී.එෆ්.සී ඉංජිනේරු උපාධියක් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිධාරියෙකු බවත්, 1965 වසරේදී ප්‍රථමයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපදේශකවරයෙකු ලෙස සේවයට එක්වී 1977 වසරේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස උසස්වූ බවත් පෙන්වාදී තිබේ.

ඒ වසරේ වැඩ තහනමට ලක්වූ තමා යළි සේවයට බඳවා ගන්නා ලෙස ඇමති මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මානව හිමිකම් කොමිසම නියම කර ඇතත් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් එකී නියමයන් ක්‍රියාත්මක නොකිරීම තුළ තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙ.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා තිබෙ.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස දැනුම්දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 11 වන දිනට කල් තබා තිබේ.

 www.lankapuwath.lk