සමලිංගිකයන්ට එරෙහි නිති අහෝසි කරනු-ඩයනා..

0
54

පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයාගේ ආණඩුව සමලිංගිකයින්ට (සමරිසියන්ට) එරෙහිව යල් පැන ගිය නීති ක්‍රියාවට නැගීමට සුදානම් වීම පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බව ‘එක්සත් කාන්තා පෙරමුණ’ අවධාරණය කර සිටියි.

අනෙකාට අමානුෂික ලෙස සලකන යල් පැන ගිය ගෝත්‍රික නීති ඉවත් කර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරවන යුගයක් රටට අවශ්‍ය වී තිබෙන බවත්, විවිධ ජාතීන්ට, ආගමිකයන්ට මෙන්ම සමරිසි ජනතාව ද අපෙක්ෂා කරන්නේ එය බවත්, තම සංවිධානය ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සටන් කරන බවත් එම සංවිධානයේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ගෙන් දේශපාලනිකව පලිගැනීම සඳහා යල්පැනගිය නීතියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සුදානම් වන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ ජිවත්වන ‘සමරිසියන්’ට එරෙහිව ආණ්ඩුව මර්ධනයක් ආරම්බ කිරීමට කැසකවන බවත් ඩයනා ගමගේ මහත්මියගේ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

” එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ගේ නිවසට පැන මත්පැන් බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් සොරාගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත කල පැමිණිල්ලක් මුල්කොටගෙන, සම්මත නොවන ලිංගික ඇසුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

මෙය දේශපාලන පළිගැනීමක් සඳහා සංවිධානාත්මකව කරණ ලද කුමන්ත‍්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට අතර, එමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන කවරහෝ ‘සමරිසියකුට එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැනගිය නිතිය ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පැනනගී.

එහෙයින්, කාන්තා අයිතිවාසිකම් හා සුබසිද්ධින් වෙනුවෙන් ක්‍රියාකාරී වන අප සංවිධානය මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම ඉතා නිර්ල්ජ්ජිත හා ගෝත්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝනය කිරීමට වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහෝතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුලය.

වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති :

මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය මූලික කොට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කැස කවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටෝරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක ඇතැම් නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති ක්‍රියාත්මක තලයට ගෙන ඇත.

රටක නීති පැවැතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒ සු‍රැකීමටය. අද ශ්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධතිය මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැලපෙන ලෙස ප‍්‍රථිසංස්කරණය කොට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්තවයක් තුළ මේ සිදුවීම ඉතා කණගා‍ටු දායකය.

ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසියන් 1886 සිට පනවන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 365A පරිච්ඡේදය ප්‍රකාරව මානසික පීඩනයට යටත්ව ජීවත්වේ .

සමරිසි ජනතාවට අවමානයක්

එමෙන්ම පසුගිය වසර 50කට අධික කාලයක් මෙම යල්පැනගිය නීති ක‍්‍රියාත්මක වී නැති අතර සමරිසියන්ගේ අයිතිය දියුණු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහ තුන්වෙනි ලෝකයේ රටවල් පවා පිළිගෙන නීත්‍යානුකූල කර ඇති හා ඒ සලකා බැලෙමින් පවතින පසුබිමක නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට හා ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යනවාය කියන ගමනේදී හුදු දේශපාලන පළිගැනීම උදෙසා මංගල සමරවීර මහතාගේ මානව හිමිකම් උල්ලංගනන කිරීමක් පමණක් නොව සමස්ත සමරිසි ජනතාවගේ අවමාන කොට චරිත ඝාතනයක් ද මේ තුළින් සිදුකරන්නට සැරන බව පැහැදිලිය.

රාජ්‍යක් මෙහෙයවන පාලකයන්ට ඒ සමස්ත රට වැසියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හැකියාව සහිත විය යුතුය. ඒ නොහැකියාවන් නිසා අපි රටක් ලෙස පසුගිය දශක ගනනාවක් පුරා ලේ වැකි යුද්ධයක්ද සමඟින් පීඩාවට පත්ව සිටිමු. ඒ තවදුරටත් මේ රටට අවශ්‍ය තත්ත්වයක් නොවේ.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් මෙන්ම එහි වත්මන් සභාපතිධුරය හිමිව තිබෙන රටක් ලෙස මෙම යල් පැන ගිය නීති පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥපතිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති රාජපක්ෂ ජනාධිපතිවරයාට යළි මතක් කිරීම කළයුතු නොවනු ඇතැයි අපි කල්පනා කරමු.

අනෙකාට අමානුෂික ලෙස සලකන යල් පැන ගිය ගෝත්‍රික නීති ඉවත් කර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරවන යුගයක් අපට අවශ්‍ය වී තිබේ. විවිධ ජාතීන්ට, ආගමිකයන්ට මෙන්ම සමරිසි ජනතාවද අපෙක්ෂා කරන්නේ එයයි. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඒ වෙනුවෙන් සටන් කරමු.

ඩයනා ගමගේ
සභාපති
එක්සත් කාන්තා පෙරමුණ

2014 ජනවාරි 23

උපුටා ගැනිම – www.srilankamirror.com

Bookmark and ShareDiana_410px_14_01_23