ජනමාධ්‍යවේදියා සතු තොරතුරු වාර්තා කිරීම අයිතිය සුරකිනු !

0
46

Media seminar 1Media seminar 1
ජනතා උද්ඝෝෂණයක් ආවරණය කිරිමට ගිය ‘ලංකා – ඉරිදා සංග්‍රහය ‘ පුවත්පතේ කතෘ මාණ්ඩලික මාධ්‍යවේදි දයා නෙත්තිසිංහ මහතාට ‘ප්‍රභූන් ගමන් ගන්නා මාර්ගයක් අවහිර කොට උදඝෝෂණයේ නියැලුණු’ බවට පොලිසිය විසින් ගොනුකරණ ලද චෝදනා ප්‍රකාරව අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කිරීම මෙරට ජනමාධ්‍යවේදීන් සතු තොරතුරු වාර්තා කිරීමේ අයිතියට එල්ලව ඇති මර්දනය යළිත් කියාපාන්නක් බව අපගේ හැඟීමය..

මොරවක, පරගල හරහා සියඹලාගොඩට වැටී ඇති මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා පසුගිය පෙබරවාරී 17 වන දා පැවැත්වූ උද්ඝෝෂණය ආවරණය කිරීමට, රජය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැදුනුම්පත සහිතව සහභාගී වූ මාධ්‍යවේදියෙකු මෙසේ උද්ඝෝෂකයෙකු ලෙස හඳුන්වා මොරවක පොලීසිය විසින් චෝදනා කිරීම මෙරට පවත්නා කවර නීතියක් යටතේ වත් යුක්ති සහගත කළ නොහැක.

අප හට වාර්තා වන පරිදි පොලිසිය සිය බලහත්කාරය යොදා ගනිමින් සාධාරණ ප්‍රශ්නයක් වෙනුවෙන් කෙරුණු ජනතා උද්ඝෝෂණය මැඩලීමට කළ උත්සාහය නෙත්තසිංහ මහතා විසින් සිය කැමරාවේ සටහන් කර ගැනීම ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට හේතු වී තිබේ.

මෙහිදී ජනමාධ්‍යවේදීයාගේ කාර්ය භාරය කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. පලපුරුදු ජනමාධ්‍යවේදියකු වන නෙත්තසිංහ මහතා සිය වගකීම නිසි ආකාරයෙන් ඉ‍ටුකර ඇති තතු යටතේ පොලිසිය විසින් බලය අයුතු ලෙස යොදවා මෙලෙස අසත්‍ය චෝදනා ගොනු කිරීම වැරදි පූර්වාදර්ශයක් වීම වැලැක්විය හැකි නොවේ.

එමෙන්ම පසුගියදා ‘රන්දිව’ ජාතික පුවත්පතේ සහකාර කර්තෘ හා ක්‍රීඩා කර්තෘ කසුන් ඉරුගල්බණ්ඩාර මහතා එම පුවත්පතේ පල කළ වාර්තාවක් සම්බන්ධයෙන් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මහින්ද සෙනරත් බණ්ඩාර හේරත් නමැති අය දුරකතන මඟින් මරණීය තර්ජන එල්ල කිරීමද ජනමාධ්‍යවේදීයාගේ තොරතුරු වාර්තා කිරීම අයිතියට එරෙහි වීමකි.

එම වාර්තාවේ අසත්‍ය හෝ අසාධාරණ හෝ දෙයක් අඩංගුව තිබුණේ නම් ඒ සඳහා පිළිතුරු දීමේ හැකියාව එම ලේකම් වරයා සතු විය යුතුය. එසේත් නොමැතිනම් සාධාරණය ඉ‍ටුකරවා ගැනීමට අවශ්‍ය නීති හා ආයතන මේ රටේ තිබේ. නමුත් ඒ අනුගමනය නොකර මෙලෙස තර්ජනාත්මකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉරුගල්බණ්ඩාර මහතා පොලීසියට පැමිණිළි කර ඇතත් නීතිය ක්‍රියාත්මක වීම තවදුරටත් ප්‍රමාදවෙමින් පවතී.

ශ්‍රි ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට මේ වන විට දැවැන්ත මර්දනකාරී තත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. එමෙන්ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දිගින් දිගටම පාලනය කරන තත්වයක්ද දකින්නට ලැබේ. ඉහත සිදුවීම දෙකද මේ මර්දනකාරී පිළිවෙත හා සමපාත වන සිදුවීම් ලෙස සැලකිය හැකිය.

මේ තත්වය දැඩි ලෙස හෙළා දකින අතර නීතියේ සාධාරණත්වය හා ජනමාධ්‍යවේදියාගේ භුමිකාව කුමක්ද යන්න දැන කටයුතු කරන , ඉ‍ටු කරන ලෙසද මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමි‍ටුව බළධාරීන්ගෙන් ඉල්ලා සිටිමු

මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමි‍ටුව

 

ශ්‍රීලංකා වෘත්තීය පත්‍ර කලාවේන්දීන්ගේ සංගමය
මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනය
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය
ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය
ශ්‍රි ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය
වෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
තරුණ ක්‍රිස්තියානි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
එක්සත් මාධ්‍ය සංසදය නිදහස සඳහා මාධ්‍යවේදියෝ

Comment and join the discussion