මාධ්‍යවේදියාට පාට් දැමු ජනපති ලොක්කාට විරෝධය….

0
57
Karunarathna Gamage
Karunarathna Gamage
Karunarathna Gamage

මැදිරිගිරිය ජාතික පාසලේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය වාර්තා කිරීමට ගිය “දිවයින” මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ කමීස කොලරයෙන් අල්ලා ඉවතට ඇද දමා ඔහුගේ රාජකාරියට බාධා කළ ජනාධිපති විද්යුත් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා එම මාධ්‍යවේදියාට සිදුවූ අවමානයට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

2014.06.10 වැනිදා පස්‌වරුවේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මැදිරිගිරිය ජාතික පාසලේ ඔබතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය ආවරණය කිරීම සඳහා “දිවයින” පුවත්පතේ නිල වාර්තාකරු ලෙස සහභාගි වූයේ මාධ්‍යවේදී කරුණාරත්න ගමගේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කරන ලද විධිමත් ආරාධනාවකට අනුවය.

ගමගේ සිය රාජකාරිය ඉටුකරමින් සිටියදී ඔහු අසලට පැමිණි ජනාධිපති විද්යුත් මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂවරයකු යෑයි කියනු ලබන රන්ජන් සිල්වා නමැති පුද්ගලයකු විසින් “මූ මොකෙක්‌ද” කියා ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ඉවතට ඇද දමා ඇත. තමන් උපන් දිස්‌ත්‍රික්‌කයේ ජනතාව හොඳින් හඳුනන මෙම මාධ්‍යවේදියා එම ජනතාව ඉදිරියේම මෙලෙස මෙම නිලධාරියා විසින් ගර්භාවට ලක්‌කොට අවමානයට පත්කොට ඇත.

කරුණාරත්න ගමගේ 2010 වසරේ ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උළෙලේදී හොඳම පරිසරවේදී වාර්තාකරණය වෙනුවෙන් වන ජාතික සම්මානයෙන් පිදුම් ලද මාධ්‍යවේදියකු වන අතර පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. එවැනි සම්මානනීය ජනමාධ්‍යවේදියකු පවා සිය වෘත්තීය භාවිතාවේදී මෙලෙස හිරිහැරයට භාජන වීම කනගාටුවට කරුණකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා කරුණාරත්න මහතාට විඳින්නට සිදු වූ අවමානයට සාධාරණය ඉටුකරන ලෙසත් එවැනි අමනෝඥ නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීනට හා මාධ්‍ය නිදහසට එල්ලවෙන මෙවැනි තර්ජනය වළක්‌වාලීමට මැදිහත් වන ලෙසත් මාධ්‍ය සංවිධාන දහයක එකතුවක්‌ වූ “මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව” ඔබතුමාගෙන් දැඩිව ඉල්ලා සිටී.

lankanewsalert.com