පොලිස් රැකවල් මැද මීගමුව මහා නගර සභාවේදී විශේෂ සභා රැස්වීමක්.

0
137

පසුගිය නොවැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා දින මීගමුව නව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා විසින් විශේෂ මහා සභා රැස්වීමක් කැදවා තිබිණි. එම රැස්විමේ මුලික අරමුණ වී තිබුනේ මහා නගර සභාවේ පසුගිය මුදල් කාරක සභා අවස්ථාවේදී 2011 මීගමුව පදික වේදිකා , නත්තල් පොල සදහා බදු දීම, ඇතුළු 2012 වසරට සදහා මීගමුව ප්‍රදේශයේ අනෙකුත් පොලවල් බදු දීම් වලට අදාලව ටෙන්ඩර් සදහා මහා සභාවේ අනුමැතිය ලබා ගැනීමය.

මෙහිදී 30-40 ක පමන පොලිස් නිලධාරීන් පිරිසක්ද ඇතුළු තවත් විශාල පිරිසක්ද  නගර සභාව තුල එලිමහනේ රැදී සිටිනු දක්නට ලැබිණි. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වී තිබුනේ මේ වසරේ නත්තල් පොල සදහා  මීගමුව නගරයේ පදික වේදිකා බදු දීමේ ටෙන්ඩර් පත සම්බන්ධවයි. මෙහිදී ඒ සදහා ඉදිරිපත්ව තිබූ ටෙන්ඩර් පත් 02 ක අතරින් වැඩිම මුදලක් සදහන් කල ටෙන්ඩර් කරුට අනුමැතිය ලබා දීම  සිදු කල යුතුව තිබිණි. ඒ අනුව එදින රැස්වීම පැවැත්වීම ආරම්භ කිරිමේ වේලාව ලෙස සදහන් වී තිබුනේ පෙරවරු 10.00 ටය. එම වේලාවටම පැමිණ රැස්වීම ආරම්භ කිරීමට මෙහිදී නගරාධිපතිවරයා කටයුතු කර තිබිණි.

මෙම විශේෂ මහා සභා රැස්වීම පිලිබදව විපක්ෂනායක රොයිස් ප්‍රනාන්දු මහතාගෙන් අප කල වීමසීමේදී ඔහු ප්‍රකාශ කලේ පොලිස් නිලධාරීන් පිරිසක්ද ඒ අවස්ථාවේ රැස්වීම් ශාලාව ආශ්‍රිතිව සිටි බව තමා දුටු බවයි.

විශේෂයෙන්ම සභා රැස්වීම් පැවැත්වීමට නගරාධිපතිවරයා රැස්වීම් ශාලාවට ඇතුළු වන (නගරාධිපතිවරයා අසුන් ගන්නා විශේෂිත ආසනය) විශේෂ දොරටුව සමිපයේ අවි ගත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටි බවද විපක්ෂ නායක වරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය. නගරාධිපතිවරයා මෙන්ම උපනගරාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මංත්‍රිවරුන් ද , එලෙසම නගර සභාවේ අංශ ප්‍රධාන නිලධාරීන් ද තවද නගර සභාවේ කටයුතු කරන නිලධාරීන් හැර මෙම රැස්වීම් ශාලාව හා තුල සිටිනු දැකිය හැකි වන්නේ මාධ්‍යවේදීන්  පමනී. එහෙත් අවි ආයුධ ගත් පොලිස් නිලධාරීන් මෙම රැස්වීම් ශාලාව සමිපයේ ගැවසීම මින් පෙර දැක නැත. එහෙත් ඒ සම්ප්‍රදායන් පසෙකලා පොලිස් නිලධාරීන්ද එමෙන්ම තවත් විශාල පිරිසක්ද රැස්වීම් ශාලාව ආශ්‍රිතව රැදී සිට ඇති බවද වාර්තා වේ. පෙරවරු 10.00 ටම රැස්වීම ආරම්භ කල නගරාධිපතිවරයා 10.10 පමන වන විට රැස්වීම අවසන් කර ඇති බවද වාර්තා වේ. එදින මහා නගර සභා ගොඩනැගිල්ලේ තෙවන මහලේ ස්ථාපිත කර ඇති මහජන ගැලරියද වසා දමා තිබිණු බවද වාර්තා වේ. මෙහිදී  ඝනකාධිකාරී අංශයෙන් තොරා ගැනුනු ටෙන්ඩර් කරුට නත්තල් පොල ලබා නොදී මහා නගර සභාව මගින් ම මෙවර නත්තල් පොල වෙළෙදුන්ට බදු දීම සිදු කරන බවට ප්‍රකාශ කල නගරාධිපතිවරයා , සෙසු ටෙන්ඩර් වලට අදාලව එම ටෙන්ඩර් මේ වන විට ලබා ගෙන ඇති අයටම කලින් ටෙන්ඩර් මුදලට  10% ක් වැඩි කර ලබා දීමේ යෝජනාව මහා සභාවේ අනුමැතියට ඉදිරිපත් කලේය. ඉන් පසුව  එක් ආන්ඩු පක්ෂ මංත්‍රිවරයෙකු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එහෙත් විපක්ෂයේ කිසිදු මංත්‍රිවරයෙකු නගරාධිපතිවරයා ගෙන ආ යෝජනාවට අකමැත්තක් ප්‍රකාශ කලේ නැති අතර ඒ අනුව විනාඩි 10 ක පමන ඉතා කෙටි කාලයක් ඇතුලත එම විශේෂ මහා සභා රැස්වීම එලෙස අවසන් වී තිබූණි.