සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

0
452

Nalaka

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.
මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log)යන වදන් දෙක එකතුවීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.
වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැනසිටීම ඕනෑ වුණා.
මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබාදෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003) වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදුHTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡුාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.
ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහරවිට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කරගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com)සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළවනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමුවනවා.

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.
ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහිවන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල්වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහිවූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රියව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමති අයට එතැනින් ක්ලික් කොට මුළු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස (http://blogs.sathutu.com), ලාංකීය සිතුවිලි(http://syndi.lankeeya.lk) ටොප් සිංහල බ්ලොග් (http://
topsinhalablog.com) වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැනගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් (www.boondi.lk) කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් (www.vikalpa.org) කැපී පෙනෙන උදාහරණයි.

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka (www.w3lanka.com) නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.
ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණකාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරිවන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් (Arianna Huffington) නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡුාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනෙකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයිෟ
‘සතර දිගන්තය’ (http://satharadigan thaya.blogspot.com) නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!
බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවීගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිර කිරීම් මින් මතු සිදුවන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.
බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් (http://maathalan.blogspot.com).

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතළ සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්.(http://iamdasaya.blogspot.com)

බ්ලොග්වල හමුවන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.
නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘? පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. (http://bassigenawathana.blogspot.com)

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

www.ravaya.lk