”මේ ඔබේ නිවසයි” : රෝමයේ ‘ගෙදරක් නැති’ ප්‍රජාවට පාප්වහන්සේ කියයි

0
106
පාප්වහන්සේ 'ගෙදරක් නැති ජේසු ගේ ප්‍රතිමාව ආශිර්වාද කරයි

 

පාප්වහන්සේ 'ගෙදරක් නැති ජේසු ගේ ප්‍රතිමාව ආශිර්වාද කරයි
පාප්වහන්සේ ‘ගෙදරක් නැති ජේසු ගේ ප්‍රතිමාව ආශිර්වාද කරයි

රෝමයේ ගෙදරක් නැති ප්‍රජාව….! ප්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ඔවුනට බොහෝ සැලකිලි ලැබුනා. වරක් සීත කාලයට නිදන්න නිදන මලු  (Sleeping bags) ලැබුනා.ඔවුනට නිදහසේ වතුර ටිකක් නා ගන්න උණු වතුර සහිත  ස්නානාගාරයක් වතිකාන චතුරශ්‍රය තුල ඉදිකෙරුණා.අවශ්‍ය නම් නොමිලේ රැවුල බාගෙන කොණ්ඩය කපාගන්න අවශ්‍ය පහසුකමුත් මේ පරිශ්‍රය තුළ තිබෙනවා. ඉකුත් දෙසැම්බරයේ කාටත් හොරා මෙලොව හැරගිය, කාගේත් සිත් දිනාගෙන සිටි බැතිමත් “ගෙදරක් නැති” මිනිසාගේ දේහය පෙබරවාරි මාසයේ හඳුනා ගත් පසු,  ඔහු ගේ දේහය වතිකානයේ ප්‍රභූන්ට වෙන්වූ  සොහොන් බිමක භූමදාන කෙරුනා. ඒ අතර, සිය දේශනා වලට සවන් දීමට වතිකාන චතුරශ්‍රයට රැස්වන ජනතාව අතර නොමිලේ බෙදා හැරෙන පත පොත බෙදා දෙන්නට එක වන්නැයි පාප් වහන්සේ දෙවතාවක් මේ ප්‍රජාවේ ජනතාවට ආරාධනා කළා. මේ ලේඛනය තවමත් අවසන් නැහැ. දැන් තවත් තෑග්ගක්.

ප්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ඔවුනට ලැබී තිබෙන අලුත්ම තෑග්ග අතිශය ඓතිහාසික, පුජනීය වස්තු ඇතුලත් වතිකාන කෞතුකාගාරයේ නොමිලේ සන්ධ්‍යා සවාරියක් සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්.

( ඔබ මේ අය  ගැන ප්‍රථම වරට කියවනවානම්, Homeless හෙවත් ‘ගෙදරක් නැති’ ප්‍රජාව යුරෝපයේත් උතුරු ඇමෙරිකාවෙත් ප්‍රධාන නගර වල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. සමහරුන්ට මවක්, පියෙක්, නෑ සියෙක් නොමැති නිසා හෝ රැකියාවක් නොමැති නිසා මේ තත්වයට පත් වී ඇති අතර තවත් අය මේ තත්වයට පත්වන්නේ විවිධ මානසික ආබාධ නිසයි. නැතහොත් සමාජයට එරෙහි විවිධ වෛර සහගත සිතිවිලි සිත් තබා ගෙන සිටින නිසයි. මේ ප්‍රජාව තමන් සතු ඇඳුම් කැඩුම් වැනි සියල්ල මලු වල හොවා කරත්තයක දමාගෙන හෝ ගමන් මල්ලක ලා කරේ එල්ලා  ගෙන හෝ තැනින් තැන යන අයුරු මේ නගරවල  දක්නට පුළුවන්. ආවරන සහිත  බස් නැවතුම් පොළවල හෝ සීත කාලයට විවිධ දයා සේවා ආයතන පවත්වාගෙන යන ‘රක්ෂස්ථාන’ (Shelters ) වල ඔවුන් නිදා ගන්නවා. ඔවුන් තුළ බොහෝ දුරට ඇත්තේ අසුබවාදී, ඍණාත්මක සිතිවිලි යි.

ඉතින්  මේ අයුරින් ‘ගෙදරක් නැති’ ප්‍රජාවට සිය ජීවිතය ගෙනයාම සඳහා ඇත දෙන ගමන්  පුංචි ප්‍රජා සේවාවකට යොදා ගැනීමෙන් ප්‍රැන්සිස් සසුන් පියාණන් බලාපොරොත්තු  වන දේ  පැහැදිලියි: ඍණාත්මක අඳුරු වළා  ඔවුන්ගේ මනසින් පහ කර “මම වටිනා පුද්ගලයෙක්. මාව සමාජයට වටිනවා” යන අදහස ඔවුන් තුළ වර්ධනය කරවීමයි, ඒ බලාපොරොත්තුව. ඒ මගින් ආත්ම විශ්වාසය ජනිත වී කිසියම් ප්‍රයෝජනවත් සේවාවක නිරත වුවහොත් ඔවුන් සමාජයට බරක් නොව ඵලදායී  පිරිසක් බවට පත්වනු ඇති. මේ ගැන ඔවුන්ට දේශනයක් දෙනවාට වඩා අත්දැකීමෙන් විඳගන්නට හැරීම කෙතරම් ප්‍රායෝගික ද? ඒ වගේම මනෝ විද්‍යාත්මක ද?)

මේ චාරිකාව සංවිධාන කර තුබුණේ පාප්වහන්සේ ගේ දයා සේවා කාර්යාලයේ ප්‍රධානී, එතුමන් ගේ “දානකරුවා” (Almoner) ලෙස හඳුන්වන කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු හිමිපාණන් විසින්. ‘ගෙදරක් නැති’ පුද්ගලයන් 150 දෙනකු ඊට ඇරයුම් ලබා සිටියා.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති  මෙම චාරිකාවේදී පාප්වහන්සේ ගේ ‘අමුත්තන්ට’ වතිකාන රාජ්‍යයේ සංචාරයක් ලැබුනා.ප්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන සාන්ත මාර්තා ‘ගෙස්ට් හවුසිය’ පසුකරගෙන ගිය ඔවුන් වතිකාන කෞතුකාගාරයේ වැදගත්ම  ප්‍රදර්ශන ශාලා  නැරඹුවා. ඔවුන් ගේ චාරිකාව පරිසමාප්තියට පත්වුණේ පාප්වහන්සේලා තෝරාරාපත්කරගැනීමට කාදිනල් හිමිවරුන් රැස්වන ශාලාව වන සිස්ටයින් පල්ලියෙන් (Sistine Chapel).  එම පල්ලියේ සිතුවම් කර ඇති පුනරුදය සමයේ ජීවත්වූ ච්ත්‍ර ශිල්පී මයිකලෑන්ජෙලෝ  ශිල්පියාගේ මහා බිතු සිතුවම් දෙකක්  ඔවුන් එහිදී රසවින්දා . මිනිසා මැවීම සහ අන්තිම විනිශ්චය එම නිර්මාණ දෙකයි.චාරිකාව අවසානයේ වතිකාන ආපාන ශාලාවට කැඳවාගෙන ගිය ඔවුනට රාත්‍රී කෑම වේලක් ලැබුණා.

මේ සංචාරය සිදුවන අවස්ථාවේ සාමාන්‍ය වන්දනාකරුවනට සහ සංචාරකයන්ට එම ප්‍රදේශය වසා දමනු ලැබුනා. චායාරුප ශිල්පීන්ට හෝ වාර්තාකරුවන්ටත්  ඊට එක්  වීමට අවසර ලැබුනේ නැහැ.කෙසේ නමුත් මෙම සංචාරය තුළ  විනාඩි විස්සක් පමණ පාප්වහන්සේ ‘ගෙදරක් නැති” ප්‍රජාව සමග ගත කල බව වතිකාන තොරතුරු කාර්යාලය පවසනවා. ඒ සෑම කෙනකුටම උන්වහන්සේ අතට අතදී කතා කල බවද එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
” ඔබව ආදරයෙන් පිලිගන්නවා. මේ සෑම කෙනකුගේ ම නිවසයි. මේ ඔබගේත් ගෙදරයි.මේ ගෙදර දොරවල් සැම විටම සියල්ලන්ටම විවෘතයි” යැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය ‘අමුත්තන්’ ආදරයෙන් පිළිගනිමින් කියා සිටියා.

මෙම චාරිකාව සංවිධාන කිරීම ගැන පාප්වහන්සේ ක්‍රජෙව්ස්කි අගරදගුරුතුමන්ට ස්තුති කළා.ඉන්පසු යලි සිය විශේෂ  අමුත්තන් ඇමතු උන්වහන්සේ ” මා වෙනුවෙන් යාච්ඥා කරන්න. ඔබ වැනි ජනතාවගේ යැදුම් මට බොහෝ අවශ්‍යයි. ” යයි කියා සිටියා.
“ස්වාමීන්වහන්සේ ඔබ ආරක්ෂා කර ජීවනයේ මාර්ගයේ ගමන් කිරීමට ඔබට උදව් කරන සේක්වා! උන්වහන්සේ සිය මෘදු පිතෘක ප්‍රේමය ඔබට දැනෙන්නට සලස්වන සේක්වා !” යි උන්වහන්සේ ඔවුනට ප්‍රාර්ථනා කළා.

පාප්වහන්සේ මෑතක දී ජේසු සමිඳුන් වදාළ ලාසරස් සහ ධනවතා ගේ උපමාව  ගැන රසවත් විග්‍රහයක් කළා. එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ අපේ එළිපත්තේ සිටින ‘ලාසරස්ලා’ ගැන අපට හැඟීමක් නොමැති වීම ගැන ජේසු සමිඳුන් මෙම උපමාවෙන් උගැන්වූ බවයි. එසේ නම්, බොහෝ ගැඹුරු පණිවිඩ සාකේත, සංඥා මගින් දීමටත් වචනයෙන් කියනවාට වඩා ආදර්ශයෙන් පෙන්වීමටත් සමත් ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ සංකේතයෙන් කියා දෙන්නට උත්සාහ කරන පණිවිඩය තේරුම් ගත හැකිද?

අපේ ගෙදර එළිපත්තේ, ගේට්ටුව ළඟ, අසල්වාසියේ, ගමේ, පල්ලිය ළඟ, මීසම් ගෘහය අසල, මීසම් ප්‍රජාව තුළ ජීවත්වන ‘ලාසරස්ලා’ කෙරෙහි අපේ අවධානය යොමු වී තිබේද? අපේ පාසලේ, වැඩපොළේ සිටින ‘ලාසරස්ලා’ ගේ මුවින් දෙඩිය නොහැකි දුක අපට දැනී  තිබේ ද?

දෙවිඳුනට වඩා ප්‍රසන්න වන්නේ දැවැන්ත ප්‍රදර්ශනාත්මක “භක්ති ප්‍රදර්ශනද?”  දේවස්ථාන අලංකාර කරමින් කරන ප්‍රතිසංස්කරණ ද?නැතිනම් පිළිසරණක් නොමැති ‘ලාසරස් ‘ කෙනකු ගේ දුක නිවීම ද?
http://www.vathikanasulaga.com