“දයා අල්විස්ගේ ගී තනු අසා සරච්චන්ද්‍රයන් පවා මවිත වුණා”
– ජයලත් මනෝරත්න
“අප්පුහාමි…… ස්විට් ඩී්‍රම්ස් අප්පුහාමි……..”
යනුවෙන් පවසන ගීතා කුමාරසිංහ (රඟ පෑ චරිතයේ නම මතකයට නොනැගේ) පියගැට පෙළ නැග යනවිට නිවසේ මෙහෙකරු වූ අප්පුහාමි ලෙස රඟපෑ දයා අල්විස් පියගැටපෙළ අසලට වී නිසොල්මනේ බලා සිටින රූපරාමුව ගැබ්වී
තිබුණේ තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර චිත්‍රපටයේය. එම දර්ශනය කවර හේතුවක් නිසා මාගේ මතකයේ රැඳුණාදැයි නිශ්චය කරගත නොහැකි වුවද ඉතා නිහඬ මෙන්ම මුග්ධ චරිතයක් වූ අප්පුහාමිගේ චරිතය මගේ මතකයට නැගුණේ දයා අල්විස් කලාකරුවා අද නිහඬ වී නිසලව සිටින ආරංචිය ලැබූ සැණිනි.
චිත්‍රපටවල රඟපෑවද අද බොහෝ දෙනකු දයා අල්විස් හඳුනන්නේ ටෙලි නාට්‍ය නළුවකු ලෙස නිරතුරුවම ප්‍රේක්ෂකයන්ට හමු වූ නිසාය. ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ දෙවැනි ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වූ ලාහිරු දහසක් හි මහත්මා ගතිගුණවලින් පිරුණු වඩු බාස් කෙනෙකුගේ චරිතයට පණ පෙවීමට තරම් දයා අල්විස් වාසනාවන්ත විය. ඒ හැර බෝඩිම, හිරුට මුවාවෙන්, ගංගා සහ නිශ්ශංක වැනි ටෙලිනාට්‍ය ගණනාවකින් එදා මෙදා තුර නිවසේ ආලින්දයට ගොඩ වැදුණු නමුදු දයා අල්විස් කලා ලොවට පිවිසෙන්නේ වේදිකාවෙනි. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායති සෝකෝ” වේදිකා නාට්‍යයේ සූත්‍රධර චරිතයෙනි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇදුරාණන්ගේ ගෝලයකු වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න සමග දයා අල්විස් කලාකරුවා ගැන කතාබහක යෙදුණේ පසුගිය 27 වැනි සඳු දින අප අතරින් වියෝවූ දයා අල්විස් කලාකරුවාට කෙරෙන ගෞරවයක් වශයෙනි.
දයා අල්විස් කලාකරුවාගේ ප්‍රථම හමුවීම ඔබට මතකද?
ඔව්. මට මතකයි. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන කාලයේ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇදුරුතුමා පේමතෝ ජායති සෝකෝ වේදිකා නාට්‍ය කළේ. ඒ වේදිකා නාට්‍යයට සම්බන්ධ වී සිටි සියලු දෙනාම විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්. ඒත් සූත්‍රධර චරිතයට පිටින් කෙනෙකු ආවා. අපිත් ඉතින් කවුද මේ පිටින් එන කෙනා කියලා හොයලා බැලුවා. එයා තමයි දයා අල්විස්.
දයා අල්විස් කලාකරුවා එදා සරසවි සිසු සිසුවියන් සමග මිතුරු වී සහයෝගයෙන් කටයුතු කළාද?
අපොයි ඔව්. ඇත්තටම ඔහු අපි එක්ක ගොඩාක් සමීප වුණා. පස්සෙ කාලේ අපි එක්ක ඔහු කොයි තරම් මිතුරු වුණාද කිව්වොත් අපි එක්ක අපේ ශිෂ්‍ය නේවාසිකාගාර ඇතුළු සරසවියේ විවිධ ස්ථානවල ඇවිදලා බලලා රාත්‍රි ජාමය වනතුරු සින්දු කිය කියා විනෝද වුණා. ඇත්තටම ඔහු ඉතා හොඳ රසවතෙක්. ඔහුට හොඳ පරිකල්පන ශක්තියක්, හොඳ නිර්මාණ ශක්තියක් තිබුණා. ඔහු මගතොටේ දුටු පුංචි සිදුවීම පවා පණ පොවලා රසවත් විදිහට ඉදිරිපත් කිරීමේ අපූරු හැකියාවක් තිබුණා.
සූත්‍රධර චරිතය රඟපෑමේදී රංගනයටත් වඩා ගායනයේ හැකියාවක් තිබිය යුතුයි නේද?
ඔව්. දයා අල්විස් කියන්නෙ සංගීත ගුරුවරයෙක්. ඔහු ඒ කාලේ තෝලගංමුව මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා. ඔහු දිනපතාම පුහුණුවීම්වලට පේරාදෙණියට ආවේ තෝලංගමුවේ ඉඳලා. ඔහු භාත්ඛණ්ඩෙන් සංගීතය ඉගෙනගෙන සුනිල් සාන්තගේ අඩිපාරේ යමින් සිටි සංගිතඥයෙක්.
ඔහු කලා නිර්මාණවලට සංගීත නිර්මාණයෙන් දායක වුණේ නැතිද?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “ඈ නුවන් ලැබුවා” කියලා ගුවන් විදුලි නාට්‍යයක් කරලා තිබුණා. ඒ නාට්‍ය වේදිකාවට ගෙනෙන්න එතුමාට අවශ්‍ය වුණා. ඒ වේදිකා නාට්‍යයේ සංගීත තනු නිර්මාණය කිරීම භාරදුන්නේ දයා අල්විස්ට. දයා අල්විස් හරිම අපූරු තනු නිර්මාණය කරලා තිබුණා. එදිරිවීර සරච්චන්ද්‍ර ඇදුරුතුමාව කෙනෙකුට ලේසියෙන් සතුටු කරන්න බැහැ. ඒත් දයා අල්විස්ගේ මධුර,මනෝහර තනුවලට සරච්චන්ද්‍ර තුමාත් වශී වුණා. දයා අල්විස්ගේ තනු නිර්මාණ හැකියාව එයින්ම පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි. ඔහුට හොඳ ගායන හැකියාවකුත් තිබුණා.
එහෙත් ඔහු ඉස්මතු වුණේ රංගන ශිල්පියෙකු ලෙස නේද?
මම හිතන්නේ දයා අල්විස්් ප්‍රමුඛත්වය දුන්නේ රංගනයට. මම විශ්වවිද්‍යාලයෙන් පිටවී නුවරඑළියේ ගුරුවරයකු ලෙස සේවය කරන විට නිශ්ශංක දිද්දෙණිය මාව කොළඹට ගෙන්වා ගත්තා. ඒ වගේම දයා අල්විසුත් කොළඹට ඇවිත් තිබුණේ අපි වගේම නාට්‍ය කලාවට තිබුණු ඇල්ම නිසයි. පසු කාලෙක ඔහු ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණය හැදෑරුවා. ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල ඔහුගේ සමකාලීනයන් නාට්‍යවල රඟපෑමට යොමුවෙන විට සංගීතය ඔහුගෙන් ඉබේටම ඈත් වෙන්න ඇති.
දයා අල්විස් සමග ඔබ කටයුතු කළ සෙසු කලා නිර්මාණ මතකයට නගා ගත හැකිද?
හෙන්රි ජයසේනගේ මකරා වේදිකා නාට්‍යයේ මමයි දයායි එකට වැඩ කළා. මකරා වේදිකා නාට්‍යයේ පුරපතිගේ චරිතය රඟපෑවේ දයා අල්විස්. ඊට පස්සේ රංජිත් ධර්මකීර්තිගේ අන්ගාරා ගඟ ගලා බසී, මෝදර මෝල යන වේදිකා නාට්‍යවල රඟපෑවා. ඊට පසුව බෝඩිම ටෙලි නාට්‍යයේ රඟපෑවා. බෝඩිම ටෙලි නාට්‍යයේ පිටපතත් දයාගෙමයි. ඔහු හොඳ තිර රචකයෙක්.
කලා නිර්මාණවලදී එකට එකතුවී සිටින අවස්ථාවලදී සිදු වූ දයා අල්විස් පිළිබඳ රසබර මතකයන් ඇති නේද?
ඔහු එක්ක ගත කරන සෑම විනාඩියක්ම ඉතා රසවත්. ඔහු සෑම කෙනෙකුම ළඟින් ඇසුරු කළා.
ඇත්තටම ඔහු හෘදයාංගම, ලෙන්ගතු සොඳුරු මිනිසෙක්. ඔහුට කිසිම තරහකාරයෙක් හිටියේ නැහැ.
කිසිම කෙනෙකු එක්ක පුංචිම පුංචි අමනාපයක්වත් තිබුණේ නැහැ.
දයා අල්විස් යනු වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර කීපයම අතික්‍රමණය කළ කලාකරුවෙක්.
ඔහුගේ රංගන කුසලතාව ඔබ දකින්නේ මොන ආකාරයටද?
ඔහු ඉතා විශිෂ්ට ගණයේ නළුවෙක්. ඔහුගේ තාත්වික රංගනය ඉතා ඉහළ මට්ටමක තිබුණා.
ඒ වගේම පිටපත් රචනයට, ගායනයට, සංගීතයට, පුදුම දක්ෂකමක් තිබුණා. ලංකාවේ එහෙම අය හරිම අඩුයි.
ඒ වගේම මම මේ අවස්ථාවේ තවත් කාරණාවක් කියන්නම ඕනෑ.
රූපවාහිනිය, වේදිකාව, සිනමාව වැනි විවිධ මාධ්‍ය පිළිබඳව පුදුම දැනුමක් තිබුණා. ඇත්තම කිව්වොත් ඔහු දැනුම පිපාසයෙන් පෙළුණා.
ඒ නිසාම ලෝක සිනමාව ගැන පවා ඔහුට හොඳ දැනුමක් තිබුණා.
දයා අල්විස් කලාකරුවාගේ හදිසි අභාවය ගැන ඔබට හිතෙන්නේ මොනවාද?
දයා අල්විස් කියන්නෙ මනුස්සකමින් පිරුණු විශිෂ්ට කලාකරුවෙක්. එවැනි කලාකරුවෙක් අපෙන් වෙන්වී යෑම දරන්න බැරි, පුරවන්න බැරි පාඩුවක්.
හර්ෂා සුගතදාස
උපුටා ගැනිම- ලක්බිම පුවත්පත