පුත්‍රයා සංචාරයට එක්කර ගැනීම ගැන ජනාධිපතිට චෝදනා

0
199

දහම් සිරිසේනජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක් කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

ජනාධිපතිවරයා පෙරේදා සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ සමඟ දහම් සිරිසේන ජනාධිපතිවරයා අසළින්ම හිඳ ගෙන සිටින ආකාරය එමගින් පෙන්නුම් කෙරෙයි.

දහම් සිරිසේන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් කරනු ලැබුණේ කවර පදනමකින්ද යන්න බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රශ්න කරනු ලබා තිබේ.

වෙනසක් නැහැ :

ඉහත කී ඡායාරූප පළ කෙරුණ සැණින් එක් අන්තර්ජාල පාඨකයෙක් කියා සිටියේ ‘අලුත් ක්‍රමයත් පරණ ක්‍රමයෙන් වෙනසක් නැහැ’ යනුවෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි අට වෙනි දින ඡන්ද විමසීමට පෙර කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කිරීමේදී භාවිතා කළ එක් දේශපාලන සටන් පාඨයක් වුණේ ‘ඥාති සංග්‍රහයයි’.

එම ඥාති සංග්‍රහයට තිත තබන බව ඔහුගේ ප්‍රතිඥාව විය.

‘මේක නරක ගමනක්. මට තේරෙනවා පියෙක් පුතාට හැම අවස්ථාවක් ම ලබා දීමට මනාප බව. ඒත් ඒකට එක්සත් ජාතීන්ගේ සමුළුව යොදා ගත යුතුද? ඔඩු දුවා ඇති ති සංග්‍රහ දේශපාලනය අවසන් කිරීම අමාරු නමුත් ජනාධිපතිවරයා එය සිදු කළ යුතුයි’ තවත් සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාරයකින් පවසා ඇත.

මෙය ද යහපාලනය :

‘ශ්‍රී ලංකාවේ පවුල් දේශපාලනය කියන්නේ යහපාලනයටද?’ සමාජ මාධ්‍ය ජාලයේ තවත් ප්‍රශ්නයකි

සිරිසේන ජනාධිපතිතුමනි! හරිම කනගාටුයි! ඔබත් හදාන්නේ මහින්ද රාජපක්ෂ ගිය පාරේ යන්නද?’ තවත් ප්‍රශ්නයකි.

‘මෙය පෞද්ගලික මුදලින් ගිය ගමනක් කියල කියන්න පුළුවන්. එත් එහෙම ගියත් ඔහු ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ අසුන් ගන්නේ කොහොමද?’ තවත් ශ්‍රී ලාංකිකයෙක් ප්‍රශ්න කරයි.

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙවැනි ප්‍රකාශන දස දහස් ගණනින් හුවමාරු වෙමින් පවති.

බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ සිදු කළ සංචාරයටත් සිය පුතු දහම් සිරිසේන සහභාගී කර ගත්තේය.

පෞද්ගලික කාර්ය මණ්ඩලයට :

දහම් සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ වෙමින් පවතින මත සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යම් ප්‍රතිචාරයක් පළ කරනු ලැබ ඇද්දැයි දැන ගැනීමට නිව්යෝර්ක් නගරයේ සිටින ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ධර්ම ශ්‍රී ඒකනායක ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැනි ප්‍රතිචාරයක් පළ කරනු ලැබ නොමැති බවයි.

‘ජනාධිපතිවරයාගේ පුත්‍රයා සමුළුව තුළ හිඳ සිටින ආකාරය කවුරුත් දැක්කා. එය සැඟවීමේ උවමනාවක් නැහැ’ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ධර්ම ශ්‍රී ඒකනායක පවසයි.

දහම් සිරිසේන මේ සංචාරයට හවුල් වෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකු හැටියට බවත් ඔහු පවසයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ වෙනත් පවුලේ කිසිවකු මේ සංචාරයට එක් වී නැති අතර ඇමතිවරුන්, මාධ්‍යවේදීන් ද ඇතුළුව සමස්ත කණ්ඩායම තිස් දෙනකුට පමණ සීමා වෙන බවයි.

(බීබීසී සංදේශය)