මාධ්‍යකරුවන් විදියට අපිත් මේ පවට තමයි දායක වෙලා තියෙන්නේ |දිවයින කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ගාමිණී සුමනසේකර

0
145

සිංහල විශ්ව කෝෂයෙනුත් මාව තෝරාගෙන තිබුණා. එදාම ලියුමක් ලැබුණා ලේක්හවුස් එකෙනුත් තෝරගත්තා කියලා. දෙකේම පඩිය රුපියල් හාරසිය ගණනක්. ඉතින් මං ලේක්හවුස් එකට ගියා. ඒ කාලේ ලේක්හවුස් එකට මාධ්‍යවේදීන් බඳවාගත්තේ විභාගයකින්. පේරාදෙණියෙන් සිංහල ගෞරව උපාධියක් තිබුණු මාත් ඒකට ලිව්වා 70 අගදි. ඒ අතරේ මම සිංහල විශ්වකෝෂයට බැඳෙන්නත් අයදුම් පත‍්‍රයක් දාලායි තිබුණේ.

ඒකද පළමුවැනි රස්සාව?

නැහැ. විශ්වවිද්‍යාලෙන් පිටවෙනකොට අපිට මේ කාලෙට වඩා රැකියා අවස්ථා තිබුණා. එළියට ඇවිත් මං රස්සා කීපයක්ම කළා. ගුරුවරයෙක් වෙලා හිටියා. බැංකුවල වැඩ කළා.

ලේක්හවුස් ඒ කාලේ දැවැන්තයො හිටපු තැනක් වෙන්නැති

අපි යන කාලේ ලේක්හවුස් එක ඉතාම කීර්තිමත් ආයතනයක්. බෙනඩික්ට් දොඩම්පෙගම, විජේසෝම, දයාසේන ගුණසිංහ, එඞ්මන්ඞ් රණසිංහ වැනි දැවැන්ත චරිත හිටියේ. සාමාන්‍ය පුවත්පත් කලාවේදියොයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් ආ අයයි කියන දෙකොටසම පත්තරවල හිටියා. පොඩි පොඩි වෙනස්කම් තිබුණාට අපි සහයෝගෙන් වැඩ කළා. මුලින්ම මම දිනමිණේ හිටියේ. එතකොට කර්තෘ ධර්මපාල වෙත්තසිංහ. ටික කාලෙකින් සිළුමිණට දැම්මා. එතකොට කර්තෘ සුබසිංහ මහත්තයා. ඊට පස්සේ එඞ්මන්ඞ් රණසිංහ. මුල් කාලේ කළේ පොත්පත් විවේචන, සිනමා විවේචන වගේ දේවල්. හැබැයි එඞ්මන්ඞ් රණසිංහයි, දයාසේන ගුණසිංහයි අපිට සෑහෙන්න උදව් කළා පත්තර කලාව ඉගෙනගන්න. අපි ඉතින් මුලින්ම ලිව්වේ ටියුටෝරියල් වගේ ලිපි. ඉතින් මට කිව්වා, දැනුම විතරක් ප‍්‍රදර්ශනය කරලා මදි, සියලූ පාඨකයන්ට තේරෙන්න ලියන්න ඕනෑ කියලා.

පත්තරකාරයෙකුට ඉස්සෙල්ලාම තමන්ගේ නම (බයිලයින් ) ලිපියක පළවීම සතුටුදායක අවස්ථාවක්නේ. කොහොමද ඒ අත්දැකීම?

මුල ඉඳලාම බයිලයින් දුන්නා. හැබැයි ඒ කාලයේ ලේක්හවුස් එකේ එක එක්කෙනාගේ තත්ත්වය අනුව තමයි බයිලයින් එක දෙන්නේ. ස්ටාෆ් එකේ ඉන්න හොඳම අයට බයිලයින් දෙන්නේ පොයින්ට් දහ අටෙන්. (පත්තර භාෂාවෙන් අකුරු ප‍්‍රමාණය මනින මිම්ම) අපිට දෙන්නේ දොළහෙන් හරි දාහතරෙන් හරි. හැබැයි සමහර කට්ටියට වුවමනා විදියට බයිලයින් එක කැපිලා ගිය අවස්ථාත් තිබුණා.

ඒ කාලෙ පේරාදෙණියත් දැවැන්තයන්ගේ බිමක් නේද?

ඔව්. සිංහල අංශයේ හිටියේ දැනුමෙන් ඉතාමත් ආඪ්‍යවුණු ගුරුවරු. සරච්චන්ද්‍ර, ඞීඊ හෙට්ටිආරච්චි, ආනන්ද කුලසූරිය, සිරි ගුණසිංහ, සුගතපාල ද සිල්වා, ඇම්එච් පීටර් සිල්වා, රම්මණ්ඩල වගේ අය. අපි සිංහල ප‍්‍රශ්න පත්තර නවයකටම උත්තර ලියන්න ඕනෑ. සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය ආදි වශයෙන්. අද වුණත් ඉතින් පැරණි සිංහල සාහිත්‍යය පිළිබඳ අපේ දැනීම සෑහෙන මට්ටමක තියෙන්නේ ඒ නිසා.

හැත්තෑව කියන්නේ ජේවීපී කැරැල්ලට මුල පිරෙන කාලේ. ඒ උණුසුම දැනෙන්න ඇති.

නෑ. මම හිටියේ කොමියුනිස්ට් පක්‍ෂයේ ජනතා තරුණයෝ කියන සංවිධානයේ. මැල්කම් විජිතපාල, කරුණාජීව වගේ ශිෂ්‍ය නායකයො එක්ක තමයි අපි හිටියේ. ඔය කාලේ ජේවීපී එකේ වෙනම රැුඩිකල් ප‍්‍රවණතාවක් ආවා. අපේ නායකයන්ට විකල්පව අලූත් කණ්ඩායමක් නැගලා ආවා. ඒ අය මාකස් හෝල් එකේ එහෙම බලය පතුරවාගෙන හිටියේ. අපි අන්තිම කාලේ මාකස් හෝල් එකට ගියේවත් නැහැ. කීරවැල්ල, උයන්ගොඩ, නයනානන්ද විජේකුලතිලක, කුමානායක, බෝපගේ වගේ අපේ සමකාලීනව එකට හිටි අය ජේවීපියට ගියා. ඇත්තටම අපේ අවසාන කාලේ වෙනකොට ජනතා තරුණයෝ දියවීගෙන යන තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. ඒත් සමසමාජ, කොමියුනිස්ට් ශ‍්‍රී ලංකා තුනම එකතු වෙලා කොහොම හරි ශිෂ්‍ය සංගම්වල බලය නම් තියාගත්තා.

කැරැල්ල ගැන මොකද හිතන්නේ?

ජේවීපී එකේ අය අපිට වඩා තමන්ගේ පක්‍ෂය, දේශපාලන දර්ශනය වෙනුවෙන් කැපවුණා. 71 කැරැුල්ලට තිබුණු ඓතිහාසික හේතු මොනවාද කියලා අපි දන්නේ නැහැ. ඒත් කැරැුල්ල එනකොට අලූත් ආණ්ඩුවක් පත්වුණා විතරයි. තත්ත්වය මෝරලා තිබුණේ නැහැ. විජේවීර ඒක නොතකා තමයි ක‍්‍රියාකළේ. මේ හින්දා කැරැුල්ලට අපි කිසිම සහයෝගයක් දුන්නේත් නැහැ. අපිත් එක්ක හිටිය සගයොත් හමුදාවට අහුවුණා. මැරුණා. හිරගෙවල්වල ඉඳලා පස්සේ එළියට ආවා. ඒත් කැරැුල්ල ගැන විභාග කරලා එළියට එනකොට මුල් අය කවුරුත් හිටියේ නැහැ. 71දී ආකර්ෂණයක් එක්ක එළියට ආවා මිසක් ගැඹුරු දේශපාලනයක් තිබුණේ නැහැ.
ඒ කාලේ පේ‍්‍රමය එහෙමත් දලූදාන්න ඇති.

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ පේ‍්‍රමයක් තිබුණා. සමාජ ආර්ථික හේතු නිසා වෙන්න පුළුවන්, ඒක සාර්ථක වුණේ නැහැ. එතැනින් එළියට එනකොටම එයාත් ලංකාව අතහැරලා ගියා. දෙවැනි පේ‍්‍රමය තමයි විවාහය දක්වා යන්නේ. එයාත් කටුබැද්ද විශ්වවිද්‍යාලෙ හිටිය එක්කෙනෙක්.

ගේහසිත ජීවිතේ කොහොමද දැනෙන්නේ?

ජනමාධ්‍යත් එක්ක අපි ජීවත් වෙන නිසා ගෙදර ජීවිතේ හුඟාක් අපිට මඟහැරෙනවා. මගේ පුතා උපදින වෙලාවෙත් මම මෙහේ වැඩ. ගෙදරින් ගෙනා සුප් බෝතලේ මෙහේ තියාගෙන වැඩ කරලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යනකොට පුතා හම්බවෙලා. විශාල වශයෙන් නැතත් අගහිඟකම් එක්ක, කටුක අත්දැකීම් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ. ගමන්බිමන් ගියේ වුණත් අඩුවෙන්. රටේ තොටේ ඇවිදින්න අවස්ථාව ලැබුණා අඩුයි. භෞතිකව අපි ජීවිතය විඳලා තියෙන්නේ හරි අඩුවෙන්.

මාධ්‍යවේදියකු හැටියට ඉඳලා කර්තෘ කෙනෙක් වෙන්නේ කොහොමද?

ලේක්හවුස් එකේ හිටියේත් දිවයිනට ආවේත් මාණ්ඩලික වාර්තාකරුවෙක් හැටියට. දිවයින දිනපතා, සතිඅන්ත පත්තර දෙකේම කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ. ඒත් දයාසේන ගුණසිංහ ස්වාධීනව ඉරිදා සංග‍්‍රහය කළා. මම, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, කරුණාදාස සූරියාරච්චි, ජයනාත් ගුණවර්ධන වගේ අට දෙනකුගේ කණ්ඩායමක් ඉරිදා සංග‍්‍රහයේ මුලින් හිටියා. අවුරුදු තුනකින් විතර මාව ප‍්‍රධාන උපකර්තෘ කළා. ඊට පස්සේ නියෝජ්‍ය කර්තෘ. ඊට පස්සේ කලක් ගිහින් සමකර්තෘ. දයාසේන ගුණසිංහ ගියාට පස්සේ ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කර්තෘ වුණා. උපාලි තෙන්නකෝන් දිනපතා දිවයිනේ ප‍්‍රධාන කර්තෘ වුණා. දයාසේන ගුණසිංහ තමයි ඉතිං මගේ ආභාසය.

මොනවාද ඔහුගෙන් පත්තරකාර ජීවිතයට උරාගත්තේ?

ඔහු සුන්දර පත‍්‍රකලාවේදියෙක්. මම ඔහුගේ දෙවැනියා හැටියට දිගටම හිටියා. ඔහුගේ ශෛලිය තමයි මම දිගටම අරගෙන ගියේ. දයාසේන ගුණසිංහ, බීඒ සිරිවර්ධන, ජීඑච් පෙරේරා හොඳ කියවීමක් තිබුණු සමකාලීන බුද්ධිමත්තු. ගුණසිංහ කිසිම දවසක දේශපාලනඥයන් මායිම් කළේ නැහැ. කිසිම දවසක දේශපාලන ඥයකුගේ පාටියකට ගිහින් නැහැ. ඕනෑම කෙනෙකුට විරුද්ධව පෑන මෙහෙයවූවා. මිත‍්‍රයෝ ගොඩාක් ඔහු සමග තරහත් වුණා උකුස්සා කොලම නිසා. අදීන පුවත්පත් කලාවේදියෙක්. කවියෙක්. කෙටිකතාකරුවෙක්. ඒත් අද ඔහු හිටියා නම් මේ යුගයේදී පත්තරයක් කරන්න අමාරු වේවි. මාධ්‍යය හඬක් නැති මිනිසාගේ හඬ විය යුතුයි කියන අදහසෙයි ගුණසිංහ හිටියේ. හරකෙක් ලණුවකින් කණුවක බැන්දාම, ලණුවේ සීමාවට එපිටිනුත් තණකොළ කන්න උත්සාහ කරනවා, මාධ්‍ය හැටියට අපිත් කළ යුත්තේ ඒකයි කියලා ගුණසිංහ අපිට කිව්වා. බෙල්ල දික්කරලා, දිග මදි නම් දිවත් දික්කරලා ඉතිරි ටික කන්න කියලා තමයි ඔහු කිව්වේ.

ඔහු ඉතාම ලස්සණ භාෂාවක් භාවිත කළා. විශාල මානව දයාවක් ඔහුට තිබුණා. දෙමළ කෙනෙක් සිංහල කෙනකුට වකුගඩුවක් දීලා තිබුණු වෙලාවේ ගුණසිංහ ලිව්වා, ජාතිවාදී ගොහොරුව තුළ සුපිපුණ සුදු නෙළුම කියලා.

ඒ වුණාට එඞ්මන්ඞ් රණසිංහ ලොක්කා සිංහල බෞද්ධ ලයින් එකේ නේද හිටියේ..

ඔව්. රණසිංහ මහත්තයා සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනීහිටියා. ඒත් කිසිම වෙලාවක අනෙක් ආගම් ජාතිවලට විරුද්ධ වුණේ නැහැ. 83 ජුලි කලබල වෙලාවේ මේ ඉස්සරහ පේමන්ට් එකේ ටීවී රුපියල් එක්දාස් පන්සීයට පවා දාලා තිබුණා. අපිට ආර්ථිකයත් අමාරුයි, ගන්නත් ඕනෑකම තිබුණා. ඒත් රණසිංහ මහත්තයා කිව්වා, කිසිම කෙනෙක් දෙමළ මිනිස්සුන්ගෙන් පැහැරගත්තු බඩු ගේන්න එපා කියලා. ඒත් කර්තෘ මණ්ඩලේ කෙනෙක් ගිහින් තාච්චියක් අරගෙන ඇවිත් තිබුණා. රණසිංහ මහත්තයා බැන්නා, විසිකරනවා ඕවා මෙහේට ගේන්න එපා කියලා.

මේ ඔක්කොම පැණිබීම එහෙමත් යහමින් පාවිච්චි කළ කට්ටිය නේද?

ඒකත් ෆැෂන් එකක්. ලේක්හවුස් ජනමාධ්‍ය සංස්කෘතියේ එක අංගයක් තමයි බීම. එකොළහමාර වෙනකොට දොඩම්පෙගම, දයාසේන ගුණසිංහ ඇතුළු කට්ටිය යනවා බොන්න එළියට. එන්නේ දෙකට. ආයතනයෙනුත් ඒකට බාධාවක් තිබුණේ නැහැ. දෙකට ඇවිත් වැඩ කළා හය වෙනකං. ආයේ හයට ගිහිල්ලාත් බොනවා. රෑ වෙනකං බීලා රුපියල් දෙකයි පනහක් ටැක්සියට දීලා ගෙදර යනවා. හැබැයි, කලාතුරකින් ඔය සුනිල් මාධව එහෙම මතවාදී ගැටුමක් ඇතිකරගත්තා මිසක කවුරුවත් බීලා ඇවිල්ලා ගෝරි දාගන්නේත් නෑ. හරිම සුන්දරයි ඒ මිනිස්සු බිව්වාම.

සුනිල් මාධව ලියලා තියෙනවා, උපාලි එක මායිමේ බොන්න සෙට්වෙන තැන් ගැන..

ඔව්. මෙහේදිත් සුනිල් මාධව, ස්ටැන්ලි පේ‍්‍රමරත්න, අජිත් සමරනායක තුන්දෙනාම දවල්ට බොන්න යනවා. හැබැයි ඇවිල්ලා වැඬේ හරියට කරනවා. පස්සේ පස්සේ පාලකයො නීති දැම්මා බීලා එන්න බැහැ කියලා. එතකොට සුනිල්ලා හිටියේ නැහැ. දැන් කට්ටිය ඉතිං නොතේරෙන්න අඩියක් ගහලා එනවා ඇති. අනික ඒ පරම්පරාව දැන් නැහැනේ. ඒකෙන් මෙතැන ඉන්නේ මමයි චන්ද්‍රසිරි දොඩන්ගොඩයි තව කීපදෙනායි.

අර කට්ටියේ ගාමිණී සුමනසේකර හිටියේ නැද්ද?

මම බොන්නේ නෑනේ. හැබැයි ඒ අපායට බයෙන්වත් ප‍්‍රතිපත්තිමය කාරණයක් උඩවත් නෙවෙයි. මගේ ඇඟට ඇල්කොහොල් සහ මස් ඇලජික්. බිව්වොත් පලූ දානවා. විශ්වවිද්‍යාලේදී මට බලෙන් පෙව්ව වෙලාවෙත් ඒක නතර වුණේ ඉස්පිරිතාලේ අරන් ගිහින්.

බොන එකට විරුද්ධද?

අපෝ නැහැ. මගේ ගෙදරට එන ඕනෑම බොන කෙනකුට මම ඒවායින් සංග‍්‍රහ කරනවා. සාදවලදී මත්පැන් දෙනවා. බොන අය තීරණය කරන්න ඕනෑ ප‍්‍රමාණය මොකක්ද කියලා. හැබැයි ගුණසිංහ, අජිත් සමරනායක වගේ දැවැන්ත චරිත විනාස වුණේ බීම හින්දා. අජිත් ලේක්හවුස් හිටි මුල් කාලේ බිව්වේම නැහැ. පස්සේ මට ඇවිත් කියනවා ගාමිණී යං බියර් එකක් ගහන්න කියලා. මම මගේ ලෙඬේ කියලා බේරෙනවා. එහෙම පටන්ගත්තු අජිත්ගේ ජීවිතේ අකාලේ විනාස වුණේ බීම හින්දා. හොඳට සිංහල ඉංග‍්‍රීසි භාෂාවලින් ලියන්න පුළුවන් ඒ ඔක්කොටම වඩා හොඳටම කියවපු කෙනෙක්.

චිත‍්‍රපටියක් කියන්නේ අධ්‍යක්‍ෂගේ කලාව වගේ පත්තරේ කර්තෘගේ කලාවක් කියලාද ඔබ හිතන්නේ?

කර්තෘගේ අභිමතයටනේ පත්තරේ මෙහෙයවන්නේ. ඉතිං කර්තෘගේ පෞරුෂය පත්තරය කෙරේත් බලපානවා. කර්තෘ අපරාධ හා ලිංගික කාරණා ගැන කැමැත්ත දක්වන කෙනෙක් නම්, ඔහුගේ කාලයේ පත්තරේ ඒවා වැඩිවෙනවා. දයාසේන ගුණසිංහ, මම ඉන්න කාලේ අපි සාහිත්‍යයට ටිකක් බර දුන්නා. ඒ අපි ශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනයක් ලැබූ නිසා. අද හැබැයි පත්තරේක ගොඩාක් අංශ බෙදෙනවා. ප‍්‍රවෘත්ති අංශය වෙනම. විශේෂාංග අංශය වෙනම. එතකොට කර්තෘගේ ආධිපත්‍යය ටිකක් ගිලිහෙනවා. අර අංශ වෙනම යනවා. අපේ කාලයේ හැම පිටුවක්ම කර්තෘ බලනවා. දැන් එහෙම නැතිවෙන්න පුළුවන්. එක තැනකින් කෙරෙන පාලනය ලිහිල් වෙලා තියෙනවා.

කර්තෘගේ පෞරුෂය සීමා වෙන අවස්ථාවලූත් තියෙනවා නේද?

ඒක විශාල ප‍්‍රශ්නයක්. අද පුවත්පත ව්‍යාපාරයක්නේ. පරිපාලනය කියනවා, අපි පඩි ගෙවන්න ඕනෑ. මේ ආයතනය නඩත්තු කරගෙන යන්න ඕනෑ කියලා. වෙළෙඳ සමාජයේ ආධිපත්‍යය පුවත්පත් යටකරගෙන යනවා. බහුජාතික සමාගමකට පුළුවන් පත්තරයක් අරගෙන උඩින් තව දැන්වීමක කොළයක් දාන්න. ඒකට මිලියන විස්සක් විතර දෙනවා. අපිට ඒකට විරුද්ධ වෙන්න බෑනේ. එහෙනම් අපි කියන්න ඕනෑ, හරි, ඕක නවත්තන්න. ඒ මිලියන විස්ස මේ ඉරිදා පත්තරෙන් මම හොයලා දෙනවා කියලා. එහෙම කේවල් කරන්න පුළුවන් කර්තෘ කෙනෙක් හිටියොත් හරි. නැත්නම්? මතකයිනේ, දිවයිනටම, ලක්බිමටම, මව්බිමටම කියලා ටයිටල් දාලා දැන්වීම් ගිය හැටි. ඒවා කවදාවත් වෙච්ච දේවල් නෙවෙයිනේ. ඒකට ඉතිං තනි තනියෙන් මුහුණ දෙන්නත් බෑ. සාමූහිකවයි මුහුණ දෙන්න ඕනෑ.

පත්තරකාර ජීවිතේ මොකක්ද කරලා තියෙන ලොකුම වරද?

ආණ්ඩුවේ නිලතල ගැනීම. හැබැයි ඒ තැන්වල හිඳීම නිසා අපිට වෙන හානියට වඩා සේවයක් අපි එතැන ඉඳීමෙන් කරලාත් තියෙනවා. මාධ්‍යකරුවන් ආණ්ඩුවේ තනතුරක් ගත්තාම ඒ දිහා වපරැහින් බලනවා. මම ඒක හොඳට දැක්කා රැඟුම් පාලක මණ්ඩලයේ ඉඳිද්දී.

අපි කළ සමහර දේවල් ගැන සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය පවා අපිට ප‍්‍රශංසා කරලා තියෙනවා. පියාඹන මාළුවෝ චිත‍්‍රපටියට අපි ඉඩ දුන්නා. ඒ වෙලාවේ සීඅයිඞීයෙන් ඇවිත් අපෙන් ප‍්‍රශ්න කළා ඇයි අවසර දුන්නේ කියලා.

කොස්තාපල් පුඤ්ඤසෝම තහනම් කරන්න කියලා අපිට විශාල බලපෑමක් තිබුණා. අපි කළේම නැහැ. ඒ කාලේ තිබුණු වාතාවරණය ගැන හිතලා උදයකාන්ත වර්ණසූරියත් සමහර කෑලි කපන්න කැමති වුණා. මම පෞද්ගලිකවම එයාට, ඒක කරන්න එපා කිව්වා. ඔබ නැතුව ඔබ එක්ක චිත‍්‍රපටිය කපන්න කිව්වේත් අපි නෙවෙයි. හමුදාව තමයි කිව්වේ ඒ කොටස් ගැන. ආරක්‍ෂක මණ්ඩලේ තුන්දෙනෙක් පත්කරලා අපට නීතියක් පැනෙව්වා, පොලිසිය හා හමුදාව සම්බන්ධ තේමාවෙන් යුක්ත ඒවා ඒගොල්ලෝ අනුමත කරන්න ඕනෑ කියලා. අපි අනුමත කළත් ඒගොල්ලෝ අකමැති නම් ඒක පිළිගන්න ඕනෑ. ඒක තමයි නීතිය. අපි ප‍්‍රසන්නට කිව්වේ හමුදාව කියපු දේ. ප‍්‍රසන්න ඒකට උත්තරයක් එව්වේ නැහැ. හැබැයි එතකොටම රැඟුම් පාලක මණ්ඩලේ විසුරුවා හැරියා.

පත්තර ජීවිතේ කළ ලොකුම වරද..

පත්තර ජීවිතේ නම් තදබල වරදක් වුණා කියලා කියන්න දෙයක් නැහැ. ඒත් ජාතිකත්වය වෙනුවෙන් මම ලියූ සමහර දේවල් ජාතිවාදීන් විසින් පාවිච්චි කළාද කියලා සමහරවිට මට පීඩනයක් තියෙනවා. සුචරිත ගම්ලත් කියනවා වගේ නිශ්චිත දේශපාලන දර්ශනයක් නැතිව ලියන දේවල් ඕනෑම දෙයකට පාවිච්චි වෙන්න පුළුවන්.

පත්තරකාර ජීවිතය දිහා ආපහු හැරිලා බැලූවොත් මොකද හිතෙන්නේ?

මට අවුරුදු හැටහතයි. අපි පිළිගන්න ඕනෑ, මාධ්‍යකරුවන් විදියට අපිත් මේ පවට තමයි දායක වෙලා තියෙන්නේ. නමුත් මගේ ලේඛනයක කවදාවත් මම ජාතිවාදයට උඩගෙඩි දීලා නැහැ. දැනුවත්ව වරදක් තහවුරු කරලා නැහැ. මිනිස්සු වෙනුවෙන් පෙනීහිටලා තියෙනවා.

මාධ්‍යවේදීන් වුණත් ලේබල් ගහනවා. අරයා එන්ජී ඕකාරයෙක්, මෙයා මෙහෙමයි කියලා. මම හිතන්නේ ඒවායින් දැන් මිදෙන්න කාලේ හරි. ජනමාධ්‍යකරුවෝ ඊට වඩා ස්වාධීන තැනකට එන්න ඕනෑ.


www.ravaya.lk