නින්දිත පොලිස් පහරදිමට එරෙහිව අලුත් පරපුරේ විරෝධය …..

0
74

පොලිස් ඇටැක්මේ මාධ්‍ය නිවේදනයනිකුත් කරන අලුත් පරපුර සංවිධානය යනු පසු ගිය ජනාධිපතිවරනයේ දී පැවතුණු රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සිය ශ්‍රමය කැප කල සංවිධානයකි. අප මෙම නිවේදනය නිකුත්කරනු ලබන්නේ පසුගිය දා (ඔක් 29) HNDA සිසුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප සංවිධානය විසින් කොන්දේසි විරහිතව හෙලා දකින බව ප්‍රකාශයට පත් කිරීමට ය.

ස්වාධීන කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සැදුම් ලත් අප සංවිධානය ජනවාරි 8 වනදා දේශපාලන වෙනස වෙනුවෙන් වෙහෙස වූයේ පැවතුනු ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීතියේ ආධිපත්‍යය ගරු නොකරන, විනාශකාරී පාලනය වෙනස් කිරීම ඒ මොහොතේ මේ රටේ අනිවාර්ය අවශ්‍යතාවවූ බැවිනි. කුමන හෝ හේතුවක් නිසා ජනවාරි 8 වන දා රාජපක්ෂ රෙජීමය පරාජය නොවුනා නම් සමාජයක් ලෙස සේම රටක් ලෙස අප ඇදවැටීමට නියමිත ව තිබුනේ මේ මොහොතේ පවා අපට වටහා ගතනොහැකි තරම් ආගාධයකට ය. ඒ නිසා අප ඒ මොහොතේ සිදු කලේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය තුල වඩාත්ම නිවැරදි දේ බවට අපට දෙගිඩියාවක් නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අත්‍යන්ත ගැටලුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයන් බිහි විය හැකි වීම ය. එය සීමා කල හැකි වන්නේ සිවිල් සමාජ‍යේ සහ පුරවැසියන්ගේ සක්‍රිය දේශපාලන මැදිහත් වීම් වලින් පමණ ය.

වර්තමාන ආන්ඩුව බලයට පත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රියව පරාජය කරමිනි. ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුලිනි. එසේ බලයට පත්වූ මෙම ආන්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරය විසින් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත්වූ තත්වයන් පිලිබද වන මතකය ගිලිහෙමින් තිබෙන බව ය. එසේනම් එම මතකය අවදි කිරීම සිවිල් සමාජයේ වගකීම කි. මීට වසරකට පමණපෙර ලාංකීය දේශපාලන කතිකාව තුල මෛත්‍රීපාල සිරිසේන යනු ජනාධිපති අපේක්ෂකයා වීමේ විකල්පයක් නොවේ. නමුත් දැන් ඔහු ලංකාවේ ජනාධිපතිවරයා ය. දේශපාලනයේ හැටි එහෙම ය. එය අතීරණාත්මක ය. දේශපාලනයේ ඇති සෞන්දර්යය ද එයයි. රාජපක්ෂට තවමත් යම් දේශපාලන හැකියාවක් පවතින නිසා මේ ආන්ඩුව සිදු කරන ඕනෑමදෙයකට සිවිල් සමාජය බරපතල විරෝධයක් නොදක්වා සිටී යැයි ආන්ඩුව සිතන්නේ නම් එය ඔවුන්ට සිදුවන බරපතල අත්වැරැද්දකි. ඒ අත්වැරැද්ද විසින් නුදුරු දිනෙක මේ ආන්ඩුව පරාජයට පත් කරන්නට ඉඩ ඇත.

29 වන දා ශිෂ්‍ය වි‍රෝධතාවයටපොලීසිය විසින් එල්ල කල නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වහාම වග කිව යුතු සියල්ලන්ට නිසි දඩුවම් පැමිණ වීම සිදු කල යුතුව ඇත. මේ සදහා අභිනවයෙන් පත් වූ ස්වාධීන පොලිස් කොමිසමට ද විශාල වගකීමක් ඇත. එහි සභාපතිවරයා මහාචාර්ය සිරි හෙට්ටිගේ වීම නිසා වගකීම වඩා තීව්‍ර වෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය යනු දේශපාලනිකව ඉතා සක්‍රිය එකක් වන අතර ශිෂ්‍ය අරගල යනු ලාංකීය සමාජයට නුහුරු දේ නොවේ. නිදහස් අධ්‍යාපන මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යාමට ඓතිහාසිකව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සිදු කර ඇති දායකත්වය අතිවිශාලය. ඒ ගැන ජනතා ගෞරවයක් ශිෂ්‍ය ව්‍යාපාරයට හිමි විය යුතු ය.

වර්තමාන ආන්ඩුව දැන ගතයුතු වන්නේ යහපාලනය යන වචනය වැඩි වාර ගනනක් ප්‍රකාශයට පත් කිරීමෙන් යහපාලනයක් ඇතිවන්නේ නැති බව ය. යහපාලනය යන්නට අර්ථයක් ලැබෙන්නේ  එය ප්‍රජාතාන්ත්‍රික දේශාපාලන රාමුවක් තුල භාවිතයක් බවට පත් කිරීමෙන් පමණ ය. දැන් දැන් යහපාලනය යන වචනය පොදු ජනයා අතර ජනප්‍රිය වෙමින් පවත්නා විහිලුවක් බවට පත් වී තිබීම අපට දනවන්නේ දේශපාලන අනතුරක සේයාවක් මිස කුරිරු සතුටක් නොවේ. මෙවැනි නින්දිත පහර දීම් වලින් සිදු ‍වන්නේ දේශපාලන අනතුරක සේයාව පැහැදිලි දේශපාලන අනතුරක් බවට පත් වීම ය.

– අලුත් පරපුර –