මාධ්‍යවේදීන් සිහිපත්කර පහන් දල්වයි

0
166

journalistsමෙහිදී ඝාතනයට සහ අතුරුදහන්විමට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, සිවරාම් සහ අනෙකුත් මාධ්‍ය වේදීන් සිහිපත් කරන ලදී. විනාඩියක නිශ්සබ්දතාවයක් පැවැත්වීමෙන් මේ වැඩසටහන ආරම්භ විය. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් පහන් දැල්වීම ආරම්භ කළාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මගින් මේ වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම ‍ ජේෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත මහතා-

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ගොස් ඝාතනය වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදින් අප අද සිහිපත් කරනවා. ඒ වගේම මාධ්‍යවේදීන් ඝාතනයට ලක් කළ හා අතුරුදහන් කරවූ පුද්ගලයින්ට නිදහසේ හැසිරෙන්න ඉඩනොදිය යුතුයි කියා අප ඉල්ලා සිටිනවා. යළිත් මේ රටේ එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි. මාධ්‍යවේදින්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි. එය සමාජයේ යහපත් ඉදිරි ගමනට අවශ්‍ය දෙයක්. එසේ ක්‍රියා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඉදිරියේදී ඇතිවිය යුතුයි. කළු ජනවාරියක් යළි එපා කියන එකෙන් අදහස් කරන්නෙ එවැනි වටපිටාවක් යළි නිර්මාණය නොවිය යුතු බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මිය-

අප මේ අධිෂ්ඨාන පූජාව සහ පහන් දැල්වීම සංවිධානය කළේ ඉතිහාසයේදී ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන්නයි. පසුගිය කාලයේ සමහර මාධ්‍ය ආයතන විනාශයට ලක් වුණා. ජනවාරි මාසයේදී ප්‍රධාන මාධ්‍යවේදීන්න් ගණනාවක් ඝාතනයට ලක් වුණා. ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය-

අතුරුදන් වූ සහ ඝාතනයට ලක්වූ මාධ්‍ය වේදීන් අප අද සිහිපත් කරනවා. යම් පුද්ගලයෙක් මරා දැමුවනම්, අතුරුදහන් කළානම් එම පවුල දුක්ඛිත තත්ත්වයට පත්වෙනවා. අදාළ පුද්ගලයන්ගේ දරුවන්ට එම කම්පනයෙන් මිදෙන්න අමාරුයි. ඒ නිසා මම ඉල්ලන්නෙ මාධ්‍යවේදීන් මරා දමන්න එපා, අතුරුදන් කරන්න එපා කියලයි. මාධ්‍යවේදීන්ට නිදහසේ ලියන්න ඉඩ දෙන්න. කළු ජනවාරියක් යළි ඇති කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.

ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා-

මේ වැඩ සටහනට අප සහභාගි වන්නෙ නැවත කළු ජනවාරියක් ඇතිවෙන් එපා කියලයි. අප දන්නවා අතීතයේ විවිධ මාධ්‍ය වේදින්ට ඇතිවූ ගැටළු සහගත තත්ත්වයන්. ඒ නිසාපසුගිය කාලයේ ඇතැම් මාධ්‍යවේදීන් විදෙස් ගත වුණා. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ඝාතකයින් කවුරුන්දැයි සොයා බැලිය යුතුයි. මේ කටයුතු විනිවිද භාවයකින් සිදුවිය යුතුයි. නැවත කළු ජනවාරියක් ඇති වීමට මේ රජය ඉඩ නොතැබිය යුතුයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා-

පසුගිය ආණ්ඩුව පැවැති සමයේ මාධ්‍යවේදීන්ට විවිධ හිරිහැර සිදුවුණා. අධි ආරක්ෂක කලාප තුලදී මාධ්‍යවේදීන් ඝාතනය වුණා. මේවා පිළිබඳව නිතිය ක්‍රියාත්මක කිරීම ඉතාම මන්ගාමිව සිදුවන බවක් දක්නට ලැබෙනවා. ජනතාව මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කරන්නෙ නැහැ. ශ්‍රීලනිප, එජාප ආණ්ඩුවක් ඒකාබද්ධව ක්‍රියා කරන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවාද කියලත් අපට සිතෙනවා.

මෙම අවස්ථාව සඳහා ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ මාධ්‍යෙවේදින්ගේ පවුල්වල සාමාජිකයින්, මාධ්‍යවේදී සහ සිවිල් සංවිධානවල නියොජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.
www.dinamina.lk