‘ ප්‍රගීත් නැතිවෙලා අවුරුදු හයක් ගෙවෙන මොහොතකයි අපි ඉන්නේ ‘ – සන්ධ්‍යා එක්නැලිගොඩ

0
63

Sandya-Eknaligoda-Prageeth-Eknaligodaනිදහස් සමාජ දේශපාලන විචාරකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස විවිධ මාධ්‍යවලට සම්බන්ධව කටයුතු කරමින් සිටී ප්‍රගීත් එක්නැලිගොඩ, පැවති රාජපක්ෂ රජය සමයේ දී එනම් 2010 ජනවාරි 24 වැනි දින අතුරුදහන් කෙරුණි. වඩා යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කළ මේ සොඳුරු මිනිසා අද වන තෙක් නැවත පැමිණියේ නැත. ගත වූ වසර හය පුරා සිය දරු දෙනො ද සමඟ ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන ඔහුගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සිය නො නවතින සටනේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරවා ගැනීමට සමත් වූවාය. ප්‍රගීත් අතුරුදන් කොට මේ ජනවාරියට වසර හයක් ගතවෙද් දී පසුගිය ජනවාරි 26 වැනිදා ඔහුගේ දේශපාලනික ලිපි ඇතුළත් ‘ඉබි තටුවෙන් පියාඹන්න’ ග්‍රන්ථය එළිදැක්වීම , ප්‍රගීත් ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට තිබිණි. මේ, එම වැඩසටහනින් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සම්බන්ධ විමර්ශන කටයුතු පිළිබඳව බූන්දියට අදහස් දැක්වූ අයුරුයි.
 සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් බූන්දි වෙබ් අඩවියට ලබාදුන්  සාකච්ඡාවකි.

 නඩුවේ දැන් තත්ත්වය කොහොමද , ඒ පිළිබඳව කෙරෙන විමර්ශන සහ පරීක්ෂණ මොන තත්ත්වයෙද තියෙන්නෙ?

මේ වෙනකොට අපි දන්නවා පරීක්ෂණ කෙරීගෙනයි යන්නෙ. හෝමාගම පොලීසියෙ බී රිපෝර්ට් එකට තමයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒගොල්ලන් සතුව තියෙන පරීක්ෂණ වාර්තා ගොනු කරන්නෙ. ඊයෙ තමයි නඩුව අන්තිමට කතා කළේ. රක්ෂිත බන්ධනාගාරයෙ ඉන්නවා හමුදා නිළධාරීන් හය දෙනෙක්. ඒ අයව ඊයෙ උසාවියට ගෙනාවා. ඊට පස්සෙ උසාවියෙදි ඒ අය සම්බන්ධ පරීක්ෂණ වාර්තා සම්බන්ධව කරුණු ගොනු කළා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්. ඒකෙදි දැනට ඒගොල්ලන් හොයාගත් සහ සමහර හමුදාවෙන් ලැබුණු වාර්තා තොරතුරු ගොනු කළා. ඒකෙදි දිගටම හමුදාව ඒගොල්ලන් ඉල්ලපු වාර්තා නොදී හිටියා. ඒත් දැන් සමහර වාර්තා ඒගොල්ලන්ට (අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ට) ලබාදුන්නා කියන එක ඒ අය උසාවියට කිව්වා. ඒකෙදි රීති ප්‍රශ්නයක් මතුවුනා. “ප්‍රගීත්ගෙ බොඩි එකක් දැකපු කෙනෙක් නැතුව කොහොමද මේක අපරාධයක් වෙන්නෙ.. මේක මිනීමැරුමක් කියල කොහොමද කියන්නෙ” කියලා. එතනදි ඒ පැත්තෙ ඉන්න නීතිඥ මහත්තයෙක් කිව්වා “මේ සන්ධ්‍යා එක්නැලිගොඩ කියන විදිහට එයා හිත්නනෙ නැහැ ප්‍රගීත් ජීවතුන් අතර නැහැ කියලා , ඒ නිසා ප්‍රගීත් ජීවතුන් අතර නැහැ කියල කියන ඒක අනුමාන කරන්න බැහැ” කියලා ඒත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා කරුණු ගොනු කළා ගරු අධිකරණයට. ප්‍රගීත් අතුරුදහන් වෙන්නෙ 2010. 2010 ඉඳන් 2015 වෙනකම් පොලිසිය හෝ රජයේ කිසිම ආයතනයක් කිසිම පරීක්ෂණයක් කරන්නෙ නෑ. ඒ වගේම හෝමාගම පොලීසිය පරීක්ෂණයක් කරන්නෙත් නෑ- මේ නඩුව බාර දෙනව හෝමාගම පොලිස් කොට්ඨාසයට. ඒකෙදි යම් විමර්ශන පියවරක් ගනිමින් තියෙද්දි ඒක නවත්තලා පොලිස්පතිගේ නියෝගයක් මත භාරදෙනවා කොළඹ අපරාධ කොට්ඨාසයට. එතනින් කිසිම පරීක්ෂණයක් කරල නෑ. එහෙම මොනව හරි තිබුණ නම් ඒ අයට ඒ සම්බන්ධව අධිකරණයට වාර්තා කරන්න තිබුනා. මම 2010 තමා හබයාස්කෝපස් පෙත්සමක් ගොනු කරන්නෙ. ඒ පෙත්සම වෙනුවෙන් කිසිම සාධනීයය වාර්තාවක් ඉදිරිපත් කරල නෑ අධිකරණයට. ප්‍රගීත් පැහැරගෙන ගිහිල්ලා ගිරිතලේ හමුදා කඳවුරට භාරදීලා නැවතත් මේ නිළධාරීන්ට තමා ආපහු බාරදෙන්නෙ. මේ බාරදීමෙන් පස්සෙ මේ අය සමග ප්‍රගීත් ඉන්නව අවසාන වතාවට දැක්ක පුද්ගලයින් ඉන්නවා. ඒත් මේ අය (හමුදා නිළධාරීන්) හරියට කරුණු කියන්නෙ නෑ. ඉතිං මේ අය එක්ක අවසානයේ හිටිය නං ඒ අය ඒ වාර්තා අධිකරණයට හෝ පරීක්ෂණවලට ලබා නොදෙන තත්ත්වය මත නීතිය උපකල්පනය කරනවා ප්‍රගීත් නැහැ කියන එක. ඉතිං නඩුව අවසානයෙදි මහේස්ත්‍රාත් තුමා මේ අය රක්ෂිත බන්ධනාගාර ගත කරන කාලය තව දින දහයක් දික්කරලා පෙබරවාරි නමය දිනට නඩුව කල් තිබ්බා. ඒක තමයි ගත්ත පියවර වුනේ.

ඊයේ හෝමාගම උසාවි සංකීර්ණයේදි සිද්ධියක් ඇති වුනා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

Galagodaaththe_Ghanasara_Arrested-Homagama
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව හෝමාගම පොලිසියට බාර වෙමින්

ඔව් හෝමාගම උසාවියෙදි – එවැනි අය මීට ඉස්සෙල්ලත් ආවා. මොකද මීට පෙර හමුදා නිළධාරීන් උසාවියට ගෙනෙන අවස්ථාවලදි ‘රාවණා බලය’ කියන සංවිධානය මෙහෙයවලා පිකට් කළා මේකට (නඩුවට) විරුද්ධවව. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු- විශේෂයෙන් නාමල් රාජපක්ෂ , කෙහෙළිය රඹුක්වැල්ල වගේ මන්ත්‍රීවරු කීපදෙනක්ම මේ නඩුව යන වෙලාවල්වල ඒ අයට සහයෝගය දෙන්න උසාවියට ඇවිල්ලා හිටියා. අවසාන වශයෙන් ඊයෙ දවසෙදි ගලගොඩඅත්තේ ඥාණසාර සහ රාවණා බලයේ හාමුදුරුවරු මම හිතන්නෙ පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක් මේ නඩුව විභාග වෙන අවස්ථාවේදී අධිකරණයට ඇවිල්ලා හිටියා. ඒ අය අධිකරණයේ නඩුව විමර්ශනය වන ශාලාව ඇතුළේ හිටියා. නඩුව කල් තිබ්බට පස්සෙ අපි අධිකරණ ශාලාවෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා ඉන්න කොට – ඒ වෙන කොට අපේ නඩුව කල් තියලා ඊළඟ නඩුවත් කතා කරලා. – අපිට ශබ්දයක් ඇහුණා උස් හඬින් කවුරු හරි කතා කරනවා. එතකොට අපි නැවතත් ඇතුළට ආවා මොකක්ද කියල බලන්න. ඒ වෙනකොට ඥානසාර හාමුදුරුවෝ අධිකරණයේ කටයුතුවලට බාධා කරමින් ඉතාම අශෝභන ආකාරයෙන් රජයේ නිළධාරීන්ට බැණ වදිමින් කතා කරමින් හිටියා. ඊට පස්සෙ කතා කරමින් ඉඳලා ඔහු එතනින් එළියට එන්න ආවා. එනකොට මම හිටියෙ අධිකරණ ශාලාව ඇතුළෙ. ඉතිං මං ගාවට ඇවිල්ලා එයා කිව්වා “තෝ දැනගනින් තොගෙ මිනිහ එල් ටී ටී ඊ කාරයෙක්, තෝ ගිහිල්ල හිඟා කාපං” ඒ විදිහට ඉතා උස් හඬින් සියලු දෙනා බලා ඉන්දැද්දි මට බැණ වදිමින් යන්න ගියා. ඒ අවස්ථාවේදි ඒ එතන හිටපු අනිත් නීතිඥ මහත්වරුත් සියලුම නීතිඥ මහත්වරුත් ඒකමතිකව මහේස්ත්‍රාත් තුමාට කියා හිටියා “මෙහෙම මේ විදිහට හැසිරීම මේ අධිකරණයට විතරක් නෙවෙයි අධිකරණ පද්ධතියට ම කරපු අපහාසයක් – අධිකරණයේ කටයුතු කඩාකප්පල් කිරීමක්. ඉතිං ඒක නිසා මේකට විරුද්ධව පියවරක් ගන්න” කියලා ඒ අනුව තමයි අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන සියල දේ සලකා බලා මහේස්ත්‍රාත් තුමා හෝමාගම පොලිස් ස්ථානාධිපතිට නියෝගයක් නිකුත් කළා මෙයාව අත් අඩංගුවට ගන්න කියලා . මම උසාවි ශාලාවෙන් පිටවෙලා ගිහිල්ලා මට බැණ වැදීම, අපහාස කිරීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලීසියෙ පැමිණිල්ලක් කළා.

 

නව රජය පත්වුනාට පස්සෙ මේ කටයුකු ඉක්මන් වෙයි යම් කිසි සාධාරණයක් වෙයි කියල කවුරුත් බලාපොරොත්තු වුනා.. ?

බලාපොරොත්තු සහිතව තමයි මේ ආණ්ඩුව පත්කලේ. හැබැයි ඉතිං එක යහපතක් වුනා. මේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ බාර දීම නිසා තමයි මෙතෙක් ප්‍රගත්ට මොකද වුනේ කියල දන්නෙ නැතිව සිටිය සමාජයට ‘ප්‍රගීත් මේ හමුදා නිළධාරීන් විසින් පැහැරගෙන ගියාය; ඒක සැලසුම් කරපු අපරාධයක්ය’ කියන එක එළිවුනේ- සමාජගත වුනේ. ඒක ගැන අපි කෘතඥ වෙන්න ඕනෙ. ඒත් ඉතිං මේ වෙනකොට මහින්ද රාජපක්ෂ විසින් විවිධ පුද්ගලයින් ලවා සහ එයා ඍජුවම මැදිහත් වෙලා මේ කරන පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඉතා සූක්ෂම වැඩපිළිවෙලක් ගෙනියනවා. මොකද මහින්ද රාජපක්ෂ දන්නවා තමන් තමයි මේ දේ කළේ කියන එක. ඒ නිසා මේ නඩුවට සම්බන්ධ රජයේ නිළධාරීන් අපකීර්තියට පත්කරන්න, ඒ වගේම ඒ අයට දෝෂාරෝපණය කරන්න ඥාණසාර වගේ හාමුදුරුගොල්ලො ලවා සියලුම දෙනාට අපහාස කරවන්න, තර්ජනය කරවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලවා විවිධ ප්‍රකාශ කරවන්න- ඒ තත්වයට පත්වෙලා තියෙනවා. ඉතිං ඒකෙදි මම දන්නෙ නෑ ජනාධිපති මොනවගේ තීරණයක් ගනියිද කොයිවගේ ක්‍රියා කරයිද කියලා. ඒත් එවැනි අය ගැන මොකක්ද කරන්නේ කියන එක ගැන ප්‍රගීත්ගේ බිරිඳ විදිහට මම බලාගෙන ඉන්නවා. මේ යහපාලනය ඇතිකිරීම සඳහා කැපවෙලා වැඩ කරපු කෙනෙක් හිටියට මං බලාගෙන ඉන්නවා කවදද ප්‍රගීත් වෙනුවෙන් මට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ කියලා.

Image Courtesy- Colombo Gazette, Mawbima