මසකට තරුණයන් පන්දහසක් පමණ ත්‍රිරෝද රථ ටැක්සි සේවය සඳහා යොමු වීම හේතුවෙන් මෙරට ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවල පවතින රැකියා පුරප්පාඩු එක්ලක්ෂ පනස්දහසක් පමණ සැපිරීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසයි.
එසේ පුරප්පාඩුව පවතින රැකියා අවස්ථාවලින් බොහෝ ප්‍රමාණයක් රුපියල් 30,000 ට වැඩි වැටුපක් ලැබිය හැකි සියලූ පහසුකම්වලින් සමන්විත ඒවා වන බව ද සභාපතිවරයා සඳහන් කර ඇත.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ තරුණයන් බොහෝ දෙනකු ත්‍රිරෝද රථ රැකියාව සඳහා යොමු වන්නේ පවතින රැකියා සම්බන්ධව අවබෝධයක් නොමැතිකම නිසා බවත් එම තත්ත්වය විසඳීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කර සිටින බවත්ය.
මේ වන විට ලක්ෂ 10 ක පමණ පිරිසක් ත්‍රිරෝද රථ ආශ්‍රිතව ලැබෙන ආදායමෙන් ජීවත් වන අතර මාසිකව එම ක්ෂේත්රයට එක්වන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මේ වන විට එම පිරිස්වල කුටුම්භ ආදායම ද දැඩි පහළ යාමකට ලක්ව ඇති බවට සමීක්ෂණ වාර්තා ද තහවුරු කර සිටියි.
– සංජය ලියනගේ
www.sathhada.lk