යකාට අන්දන්නට පෙර කී දේ තේරුම් ගන්නා ලෙස උතුරේ මහ ඇමැති ඉල්ලයි | VIDEO

0
49

Sirisena

රටේ දකුණු පළාතේ දේශපාලකයන්, ජනමාධ්‍ය ඇතුලු ඇතැම් සංවිධාන තමන් යක්ෂයකු ලෙස හුවා දැක්වීම පිලිබඳ කනගාටුව පළ කළ උතුරේ මහ ඇමැති වරයා විවේචනයට පෙර තමන් එලුග තමිල් රැලියේදී ප්‍රකාශ කළ දේ නිවැරදිව වටහා ගන්නා ලෙස ජනාධිපතිවරයා හමුවේ සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණ ව්‍යාපාරයේ සමාරම්භක රැලියේ ඉදිරිපත් කෙරුනු ඉල්ලීම් සම්බන්ධයෙන් මහ ඇමැති සී වී විග්නේස්වරන් දකුණේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුනි.

එම විවේචන වල තමන් ‘යකෙක්, භූතයෙක්, මිනිස් කමට නොසුදුසු අයෙක්’ ලෙස චිත්‍රණය කර තිබූ බව මහ ඇමැති විසින් ප්‍රකාශ කරන ලදී.

බැගෑපත් ඉල්ලීමක්

“මගේ කතාව නියම විදියට පරිවර්තනය කරලා කියවලා තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම බැගෑපත්ව ඉල්ලීමක් කරනවා,” යි මහ ඇමැතිවරයා සිංහලෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු හතළිස් දෙවැනි ජාතික ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල අමතමිනි.

Sunday times cartoon Vigenswaran

සන්ඩේ ටයිම්ස් කාටූනය

එලුග තමිල් රැස්වීම පැවති දිනයේ යාපනයේ සිටි සිංහල මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ හමුවක් පැවැත්වූ මහ ඇමැති විග්නේස්වරන් එදින දෙමළ ජනතාව වෙනුවෙන් මතු කෙරෙන ඉල්ලීම් සිංහලයෙන් පහදා දුන් අයුරු මීට ඉහත ගගන හි පලවිය.

තම අදහස් විකෘති කිරීමකින් තොරව පළ කරන ලෙස ඔහු එදින සිංහල ජනමාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය.

උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉල්ලීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තෙබසින්ම රැලිය පැවති මුට්‍රවෙලි පිටියේ ප්‍රදර්ශනය කර තිබුනි.

පරාජිත දේශපාලකයන්

එසේ තිබියදී, තමන් නොකී කථා සම්බන්ධයෙන් විවේචනයට ලක්වී සිටින බව මහ ඇමැති විග්නේස්වරන් ජාතික ක්‍රීඩා උළෙලේදී පෙන්වා දුන්නේය.

ඒ නිසා, ‘ඡන්දයේදී පරාජයට පත්වූ සහ හිරභාරයට පත්වීමට නියමිත,’ දකුණේ දේශපාලකයන් එම අසත්‍ය ප්‍රචාර වලින් දේශපාලන ප්‍රයෝජන ලබාගැනීමේ උත්සාහයක් දරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

“භාෂාව අපිව සීමා පනවා තියෙනවා. අපිට සහෝදර භාෂාවලින් එකිනෙකා හා සන්නිවේදනය කිරීම අපහසු හදවතට සමීපව එකට වැඩ කරන්න බැරිවී තිබෙනවා,” යි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

රටේ පවතින නිතිය නොතකා හමුදා බලයෙන් හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි හෝ ඉස්ලාමීය ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම බලහත්කාරය යොදා ගැනීමක් බව අවධාරණය කළ සීවී විග්නේශ්වරන් ඒ නිසා ඉඩම් අහිමි වන දෙමළ ජනතාව මතු කරන ගැටළු ඉදිරිපත් කිරීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සිංහල ජනතාවගෙන් ප්‍රශ්න කළේය.

ගමේ හැදුනු ජනපති

වර්ණවත් පිළිගැනීමකින් රතු පලසක් මතින් ආරාධිත ප්‍රභූ ගණයා සමාප්ති උළෙල වෙත කැඳවාගෙන යන විටත්,  දොරේ අප්පා ක්‍රීඩාංගන වේදිකාවේදීත් ජනාධිපතිවරයාත් සහ මහ ඇමැතිවරයා සුහද ලෙසින් අදහස් හුවමාරු කරගනු දකින්නට ලැබුනි.

“ගමේ හැදුනු කෙනකු හැටියට ජනාධිතිතුමා සියලු දෙනාට ගරු කරන්න දන්නවා. ඒ නිසා ඔහු බිම් මට්ටමේ වැඩ සටහන් වලට සහභාගී වෙනවා,” යි මහ ඇමැති විග්නේශ්වරන් රැස්ව සිටිය පිරිස අමතා දෙමළ බසින් පැවසීය.

කෙසේවෙතත්, එලුග තමිල් රැලියේදී මහ ඇමැති විග්නේස්වාරන් පළ කළ අදහස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිත් ප්‍රකාශ කළේ නැත.
http://www.radiogagana.com/