කවීෂාගේ මරණය ගැන විශේෂ හෙළිදරව්වක් ?

0
304

කවීෂා අයේෂානි ගේ හදිසි මරණය බොහෝ දෙනෙක්ට කම්පනයක් ඇති කරන කාරණයක් . වයස 24යි. තරුණයි. ටෙලි නාට්‍ය නිළියක්. කටකතා ගොඩයි. බීලා ඉඳලා තියෙන්නෙ. කාර් එකේ තවත් කව්රු හරි හිටියලු. කැරොකෙ අයිති කාරයෙක්ගෙ පෙම්වතියක්ලු. ඔහු සමග අඩ දබරව කාර් එක හප්පගෙන මැරෙනවා කියලලු ආවෙ. පාන්දර තුනට ඇය ගියේ කොහේද?ඒ තරම් වෙලාවක් ඇය ගතකළේ කා සමගද?කවීෂාගේ කාර් එක කොහෙන්ද?ඇයට එවැනි මෝටර් රථයක් ගන්න වත්කමක් තිබුනාද?

11554-kaveesha-story-about-father-accident1550780372

ඉහත මා සඳහන් කළේ මේ වනවිට වෙබ් මාධ්‍ය තුළ කතාබහට ලක් කළ ඇති මාතෘකාය.මේ මාතෘකා පිළිබඳ උත්තර සපයන්නේ ද එම වෙබ් මාධ්‍ය තුළින්ය. කවීෂාගේ පියා කවීෂාගේ මෝටර් රථය පිලිබඳ පිළිතුරු බඳියි. ඒ අතරම ඇය මත්පැන් කටේ තියන්නේ නැතිබව ද ප්‍රකාශ කරයි. ඇය වෘත්තීය රංගන ශිල්පිණියක් බවද ප්‍රකාශ කරයි. ඇයට සහෝදරයෙක් සහ දෙමව්පියන් සිටින ජන්මයක් ඇති බවටද පියා ගේ හේතු දැක්වීමෙන් සනාථ කරයි.

මේ සනාථ කරන සියල්ල කා වෙනුවෙන්ද?මියගිය කවීෂා පිළිබඳ මේ තරම් තොරතුරු සොයන්නේ කුමකටද?කා වෙනුවෙන්ද?

කවීෂාගේ මරණය ඇගේ යෙහෙළියන්ට, යහළුවන්ට, පෙම්වතුන්ට, මෙන්ම දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට අධික කම්පනයක් ගෙන දෙනවාට කිසිම සැකයක් නැත. ඒ කම්පනය අඩු වැඩි වශයෙන් එය නරඹන එය කියවන ඕනැම මනුෂ්‍යයෙකුට දැනෙන කාරණයක් වන බවද නොඅනුමානය.

කවීෂා කව්ද? ටෙලි නාට්‍ය නිලියකි. ගායිකාවකි. කවීෂා ගම්පහ දිස්ත්‍රික්කයේ  කිරිඳිවැල ප්‍රදේශයේ ගමක තරුණියකි. ඇය පිවිසෙන්නේ කොළඹ නගරයට නොව කොළඹ සමාජ සංස්කෘතිය තුළටය. ඒ සමාජ සංස්කෘතිය තුළ කවීෂාගේ ඉරණම විසඳී ඇත්තේ කෙලෙසද?වසර 24ක් තුළ ඇය ජීවිතයෙන් සමුගෙන ගියේ අතිශය ඛේදජනක ආකාරයටය.

කවීෂලා බොහොමයක් තවමත් කොළඹ සමාජයේ සංස්කෘතියේ ගිලී විනාශ වෙමින් සිටී. කවීෂාගේ උපන්දින සාදයේ පින්තූරු අතර එවන් ඛේදජනක මුහුනු දකින්නට ලැබේ. මේක්අප් වළින් මුහුනේ කඳුළු පැල්ලම් වසා සිනහවෙන් වේදනාබර විඩාබර මුහුනට මුක්කු ගසා දහදිය වගුරවන්නට අකමැති, ජීවිතය පිළිබඳ ගැඹුරින් හිතන්නට අකමැති… සරීරය නිසාම සතුටද දුකද විදගනු ලබන බොහෝ තරුණ පිරිස් මේ කොළඹ සමාජයේ සංස්කෘතියේ ගොඳුරු බවට පත්ව සිටී.

මේ නිසාම මත්පැන් නොබොන වා ය කියා පියා පැවසූ කවීෂා මත්පැන් බී සිටියා වන්නට ඇතැයි සමහරු කියන්නේ කොළඹ සමාජ සංස්කෘතියේ මත්පැන් සිගරට් සහ තවත් විවිධ උත්තේජන ටැබ්ලට්ස් කවීෂා ඇසුරු කළ කොළඹ සමාජ සංස්කෘතියේ අනන්තවත් අප්‍රමාණයවත්ව ඇති නිසාය. මේවා පරිහරණය කරන්නෝද අනන්තවත්ය. අප්‍රමාණයවත්වය.

කවීෂාගේ හදිසි මරණය තුළින් කවීෂාගේ සමාජයේ ගැහැනු දරුවන්ට ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ. ආදරය, ප්‍රේමය , ලිංගිකත්වය, ගොඩ නගාගන්නට වෙර දරණ සමාජ පන්තිය,ජීවත්වීමට අවශ්‍ය වෘත්තීය, නිළිකම, රංගනය…. ජනප්‍රියත්වය…. සමාජය සමග ඇසුර,පිරිමි…, ගැහැනු….මුදල් …. ආශාවන්…. විලාසිතා … උපන්දින පාර්ටි….. සාමජ සේවය… දේශපාලකයන්… අලුත් වෙළද ප්‍රජාව… ලිංගික අවශ්‍යතාවන්ට ඇති ඉල්ලුම සහ සැපයුම, ඒවාට ඇති මිළ…. විදෙස් සංචාර… ප්ලාස්ටික් සර්ජරි…. මාධ්‍ය ඔ්පදූප, මඩ ප්‍රචාර.. පාවිච්චිවීම්, පාවිච්චිකිරීම්… විකිණීම්…..
කවීෂාගේ  මරණය සමග තරුණ නවක නිළියන්ට මේ සියල්ල පිළිබඳ හිතන්නට හැකිනම්… හෘදසාක්‍ෂිය විමසන්නට හැකිනම්….

ලංකාවේ ටෙලි නාට්‍ය කර්මාන්තය වැල් ටෙලි නාට්‍ය සංස්කෘතිය දක්වා වෙනස්වීමේ ඛේදවාචකය තුළ කවීෂලා වැන්වුන්ට ඇකිවූ ඉල්ලුම ක්‍ෂණික ලොතරැුයි බඳූය. සූරාගත්විට දිණුම ලැබේ. සමහරුන්ට නොලැබේ.දිණුම ලබන්නේ වාසනාව අනුව, වෙලාව අනුව, ලක් එක අනුව යන්න සමාජයේ අනෙකා කියයි.

කවීෂා වාසනාව ලද්දේ ද?භාග්‍ය ලද්දේද ?ලක් එක තිබුනේද ? කවීෂා යනු අද පරපුරේ වාසනවාව ද, අවාසනාව ද දෝතින් ගෙන ආ තරුණියකි. ඇයට ගායන හැකියාව තිබුනේනම් ඇය ගායිකාවක වන්නට කොළඹ සමාජට ප්‍රවිශ්ට වන්නට ඇත. ඇයට රංගනය පිළිබඳ දක්‍ෂතාවක් තිබුනේනම් ඇයට රංගන ශිල්පිණියක වන්නට කොළඹ නගරයට සම්ප්‍රාප්ත වන්නට ඇත. මේ සියල්ල අතර ඇය කෙටිකාලීනව ලද සියල්ල නිසා  මේ තරම් ඉක්මණින් ඛේදවාචකයක් වෙත ඇගේ කර්මය ඇයව රැගෙන යන්නට ඇත.තමාට තමන්ව හසුරුවා ගැනීමේ ඥානය තමන් තුළ නැතිවිට මෙවන් ඛේදවාචක සිදුවීම අහම්බයක් නොවේ. ජීවිතය පිළිබඳ නිසි අරමුණක් සහිත වීනම් කවීෂලාගේ ජීවිත මේ ලෙස විනාශ වන්නේ නැත.

කවීෂාගේ මරණයෙන් ජීවිතය ඉගෙන ගතයුත්තේ කවීෂාගේ යාළුවන් පමණක් නොවේ. මේවා ගොසිප් ලෙස රසකර කියවන බොහෝ අයත් මේවා තම තමන්ගේ ජීවිතවලට ආදේශ කරගතයුතුය.

ඇය පිළිබඳ එක් සහෘදයෙක් ඉතා හැගුම්බර ලෙස “කවී ඔයා හරිම අහිංසකයි” කියා සටහනක් තබා තිබුණි.

කවීෂා ට අහිංසක කමක් තිබෙන්නට ඇත. ඇගේ ඒ අහිංසකකම ඇගේ ජීවිතයත් සියල්ලත් මරණයට බිලිදුන්නේ ඇගේ සමීප අයට ජීවිතය පිළිබඳ නැවත හැරී බලන්නට විශාල කතන්දරයක් පවසමිනි.

කවීෂාගේ ජීවිතයට සැනසීම ලැබේවා!!!!!

මනෝහාරී හේවාවසම්
(මිරර්ආට් වෙබ් අඩවියෙනි )