E නිව්ස් කර්තෘ වෙනුවෙන් ශිරාල් පෙනීසිටින බව කියයි

0
49
ඡායාරූපය උපුටා ගැනීම - srilankamirror.com

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ඔහුගේ ෆේස්බුක් ගිනුමට “සඳරුවන් වැරදියි; ඒත් මේ මොහොතේ මා සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමි.” යනුවෙන් සඳහන් නිවේදනයක් පලකර තිබේ.

ඡායාරූපය උපුටා ගැනීම - srilankamirror.com
ඡායාරූපය උපුටා ගැනීම – srilankamirror.com

ලක්තිලක මහතා, එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සඳරුවන් මහතාගේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නඩු පැවරියයුතුවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක නොව දිසා අධිකරණයක බවයි.

ඒ ඔහුගේ වෙබ් අඩෙවිය හරහා දිගින් දිගටම උල්ලංඝෙණය කරන්නේ පුද්ගලයෙකුගේ කීර්ති නාමය බවත්, එය සිවිල් වරදක් බවත් දක්වමිනි.

මේ වරෙන්තුව හරහා නීති පොතෙන් ඉවත් කරන ලද අපරාධමය අපහාසය (Criminal Defamation) නීතිය නැවතත් පෑල දොරින් ගෙන ඒමට තැත් කරන්නේදැයි ඔහු සිය නිවේදනයෙන් ප්‍රශ්නකර සිටී.

ලක්තිලක මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ පලකර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

සඳරුවන් වැරදියි; ඒත් මේ මොහොතේ මා සඳරුවන් වෙනුවෙන් පෙනී සිටිමි.

සඳරුවන් සේනාධීර නැමැති මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ පවරන ලද නඩුවක් මත (නඩුවේ ස්වභාවය අප නොදනී) ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවත් අද දෙරණ කෙටි පණිවුඩ සේවය වාර්තා කර තිබුණි. ජාත්‍යන්තර අධිකරණ කලාපයක සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් ඔහු තවත් රටකට උද්ධර්පණය කිරීමත් (Excitation) සංකීර්ණ ක්‍රියාවලියකි. එය අප සිතූ පැතූ පරිදී සිදු නොවන්නකි. එම නිසා මෙම නඩුව මෙහෙය වූයේ කවුරුන් වුවද ඔවුන්ට ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක වාසිය පමණක් බව මාගේ වැටහීමයි. සඳරුවන්ගේ වෙබ් මාධ්‍ය කලාව පිළිබඳව මට කිසිඳු පැහැදීමක් නැත. ඔහු ජනමාධ්‍ය ආචාරධර්ම ද, ජනමාධ්‍යවේදියාගේ වෘත්තිමයභාවය ද අමු අමුවේ කෙලෙසමින් පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය, විනාශ කර දැමීමට තම මාධ්‍ය, කලාව යොදා ගත්තේය. එසේම ඇතමුන් පවසන්නේ ඔහුගේ මාධ්‍ය කලාව පෞද්ගලික හෝ දේශපාලනික වාසි ඉලක්කකොට ගෙන භාවිත කරන බවයි. පෞද්ගලිකව ගත් කල ඔහුගේ මාධ්‍ය කලාව හේතුවෙන් මා හට ද අපමණ අපහාසාත්මක සහ පදනම් විරහිත චෝදනා එල්ල කර තිබුණේය. එනිසා එම සඳරුවන්ගේ මාධ්‍ය, කලාවේ ඝෝරීභාවය මා විසින් හොඳාකාරවම අත්දැක ඇත්තෙමු. මේ සියලු දේ කිරීමට ඔහු යොදාගත් නිදහසට කරුණ වූයේ, රාජපක්ෂ විරෝධයයි. රාජපක්ෂ විරෝධය හරහා ඔහු පුද්ගලයන්ගේ නිදහස, ගෞරවය, අභිමානය බල්ලාට දැමීමට කටයුතු කරයි. එමනිසා එම මාධ්යකරණය අප පිළිකුලෙකන් යුතුව හෙළා දකිමු.

ඒ කෙසේ නමුත් සඳරුවන් සේනාධීරට, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හරහා අටවන්නට යන මේ කෙමනයට මා එකහෙළා විරුද්ධවෙමි. සඳරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය නම් පැවරිය යුත්තේ දිසා අධිකරණයක ඉදිරියේ අපහස නීතිය පදනම් කරගෙනය. ඒ සඳහා සඳරුවන් ලංකාවට පැමිණිය යුතුය. ඔහු ලංකාවට ගෙන්වා ගත යුත්තේ සිවිල් වරෙන්තුවක් හරහා මිස අපරාධ වරෙන්තුවක් හරහා නොවේ. මක් නිසාද යත් ඔහුගේ වෙබ් අඩෙවිය හරහා දිගින් දිගටම උල්ලංඝෙණය කරන්නේ පුද්ගලයෙකුගේ කීර්ති නාමයයි. එය සිවිල් වරදකි. අපරාධ වරදක් නොවේ. අපරාධමය අපහාසය (Criminal Defamation) අප නීති පොතෙන් ඉවත් කරන ලද්දකි. එය නැවතත් පෑල දොරින් ගෙන ඒමට තැත් කිරීම හෝ වෙනත් අපරාධී වගකීමක් ඒ හරහා මතු කර ගැනීම සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය තබන ජනතාව පිළිගත්නේ නැත. එමනිසා අධිකරණයකින් ලබාදී ඇතැයි කියන මෙම නියෝගයට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැටබඳින්නක් බව මම විශ්වාස කරමි.

කැළුම් ශිවන්ත / උපුටා ගැනීම – srilankamirror.com

http://sinhala.srilankamirror.com/news/news-in-brief/787-shiral-and-sadaruwa