මොළය මැරුණු අයගෙන් වකුගඩු ගැනීමේ සූදානමක් !

0
56

හදිසි අනතුරුවලදී හෝ යම් රෝගයක් හේතුවෙන් මොළය මිය ගිය පුද්ගලයින්ගේ වකුගඩු යළි ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒවා වකුගඩු රෝගීන්ට බද්ද කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කරන පරිදි වසරකට ශ්‍රී ලංකාව තුළ මොළය මිය යාම හේතුවෙන් සිදුවන මරණ 700ත්, 800ත් අතර ප්‍රමාණයකි.

එවැනි මරණ හේතුවෙන් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ වකුගඩු විශාල ප්‍රමාණයක් අපතේ යන අතර, මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ අභිමතය පරිදි එය ප්‍රදානය කිරීමේ හැකියාවක් පවතින බව ඔවුන් කියයි.

මාළිගාකන්ද වකුගඩු බද්ද කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා ප්‍රකාශ කළේ මෙරටින් වසරකට වකුගඩු රෝගීන් 5000ක් පමණ වාර්තා වන බවයි.

ඇස් දන් දීමේ ක්‍රියාවලිය සේම වකුගඩු දන් දීමේ ක්‍රියාවලිය ද සිදුකළ හැකි බවත් යම් අයෙකුට වකුගඩුවක් දන් දීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් 0112 422 335, 0112 422 336 මාළිගාකන්ද වකුගඩු බද්ද කිරීමේ ජාතික මධ්‍යස්ථානය ඇමතිය හැකි බවත් ඔහු කියාසිටියේය.

මේ අතර, යම් අයෙකුට වකුගඩු ප්‍රදානය කිරීම සඳහා කැමැත්තක් දක්වන්නේ නම්, ඉදිරියේදී රියදුරු බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේදී සිය කැමැත්ත ප්‍රකාශ කරන ලියවිල්ලකට අත්සන් තැබීම මගින් ඒ සඳහා දායකවීමේ අවස්ථාව උදා වනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව එම කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

මුල් පිටුව