රථවාහන නීතිය කියන්නේ සංඥා වලට විතරද??

0
328

අපේ ජීවිතේට අවශ්‍ය දේවල් දිහා බැලුවහම වාහනයක් කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් වගේ.එකට හොදම උදාහරණයක් තමයි. මිලියන විස්සක් ඉන්න අපේ රටේ මේ වෙද්දී ලියාපදිංචි කරපු වාහන මිලියන දෙකක් තියනවා.එහෙම බලද්දී වාහනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා ඉවරයි. කොහොම උනත් මේ වෙනසට ලොකු කාලයක් ගත උනේ නැහැ, පහුගිය අවුරුදු දහය වගේ කාලය තුල වාහන ආනයනය සීග්‍රයෙන් වැඩි වීමත් එක්ක රටේ වාහන තදබදය ගොඩක් වැඩි වෙන්නත් පටන් අරන් තියනවා කියන එක කොළඹට ඇවිල්ලා ගියපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන නැ..

කොහොම උනත් රථවාහන හා බැදුන නීතිනම් ගොඩක් තියනවා. අන්න ඒ නීති ටිකක් ගැන කතා කරොත් හොදයි කියලා අද අපි හිතුවා. ගොඩක් දෙනා හිතන්නේ වාහනයක් ධාවනය කරන්න මාර්ග සංඥා ගැන දැන ගත්තහම ඇති කියලානේ, ඒත් මේ ලිපිය කියවලා ඉවර උනහම අපිට වාහන වලට අදාල නීති ටිකක් දැනගන පුළුවන්. අපි ගොඩක් වෙලාවට මෙහිදී කතා කරන්න හිතුවේ මෝටර් රථය ගැන. මේ ලිපිය ලියන්න හිතුවෙත් වාහනයක යන හැමෝටම මාර්ග සංඥා විතරක් දැනනොගෙන රථවාහන වල නීතිය පිලිබදවත් දැනුවත් වීමක් ලබාදෙන්න. මේක විශේෂයෙන්ම පාරේ යන්න විතරක්ම හදපු නීතියක් නෙවෙයි. ගොඩක් අය හිතන්නේ වාහන වල නීති තියෙන්නේ පාරේ යනකොට විතරයි කියලා.

මෝටර් රථයක් ලියාපදිංචි නොකර තියාගන්න පුළුවන් අවස්ථා තියනවා

  • මෝටර් රථ වෙළෙන්දකු විසින් මෝටර් රථය විකුණන තෙක් ඒවා ලියාපදිංචි නොකර තම සන්තකයේ තබාගන්න පුළුවන්,
  • මෝටර් රථ නිෂ්පාදකයෙකුටත් වාහන විකුණන තෙක් තම සන්තකයේ ලියාපදිංචි නොකර තබා ගැනීම වරදක් වෙන්නේ නැ.
  • ලියාපදිංචි සහතිකය අවසන් වී නව අයදුම්පත ලැබෙන තෙක් තියාගන්න පුළුවන්.
  • පාවිච්චි නොකරන බවට කොමසාරිස්වරයා විසින් දැනුම් දුන් වාහනයක් ලියාපදිංචිය අවශ්‍ය නැත.
  • 02.alibosworth.20080526_04_12

මෙන්න මේ අවස්ථාවන් වලදී හැර අනිකුත් සැම අවස්ථාවදීම වාහනය ළඟ තබා ගන්නනම් අපිට වෙනවා වාහනය ලියාපදිංචි කරන්න.

මෝටර් රථයක් ලියාපදිංචි නොකර ධාවනය කරන්න පුළුවන් අවස්ථා තියනවද?

මේකට පිළිතුර ඔව්. එහෙම ලියාපදිංචි නොකර ධාවනය කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් අපිට දක්වන්න පුළුවන්.

  1. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහනයක් රේගුවේන් ඉවත් කරගැනීම සදහා මාර්ගයේ ධාවනය කිරීමට, එම රථය ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නැ.
  2. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් පරික්ෂා කරනු ලැබීම සදහා වාහනය ධාවනය කිරීමේදී මේ සහතිකය අවශ්‍ය නැත.
  3. ශ්‍රී ලංකාවට තාවකාලිකව පැමිණි අයකු වෙත නිකුත් කරනු ලබන බලපත්‍රයක් මත වාහනය ධාවනය කරන්න පුළුවන්.

මිට අමතරව ලියාපදිංචි කරන තුරු ධාවනය සදහා මෝටර් රථ කොමසාරිස්වරයාගෙන් විශේෂ අවසරයක් ලබාගත හැකිය. නමුත් වාහන සන්තකය වෙනස් වීමෙන් පසු නැවත ලියාපදිංචි නොකර ධාවනයට අවසර ඇත්තේ දින 30ක් පමණි.මිට අමතරව ලියාපදිංචි නොකර වාහනය ධාවනය කල නොහැකීය.

මහාමාර්ගයේ ධාවනයට තහනම් වාහනත් තියනවා

2009 අංක 8 දරන ප්‍රවාහන සංශෝධන පනත අනුව පහත ආකාරයේ වාහන ධාවනය කිරීමෙන් වැලකි සිටිය යුතුය.

  • රථ වාහන කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව වෙනස් කර ඇති වාහන.
  • නිෂ්පාදකයාගේ අවසරයකින් තොරව එකලස් කරන ලද වාහන.
  • කාර්මික දෝෂ සහිත වාහන.
  • සොරකම් කල වාහන.
  • නියමිත ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකල නොවන වාහන.
  • චැසි අංක වෙනස් කරන ලද වාහන.

මිට අමතරව වාහනය විකුණා දින 14ක් තුල ලියාපදිංචියට ඉදිරිපත් කර නැත්තම් එම වාහනය පාවිච්චි කිරීම නීති විරෝධිවේ.

වාහනයක අයිතිය නිත්‍යානුකූලව පවරන්නේ කොහොමද?

car-salesman-handing-keys-to-female-driver-teaser

අපිට ගොඩක් වෙලාවට වාහනයක් තව කෙනෙක්ගෙන් මිලදී ගැනීමේදී ඒ වාහනය නිත්‍යානුකූලව පවරගන්න එක ගොඩක් වැදගත් දෙයක්. මොකද පවරා ගැනීම හරියට කලේ නැත්තම් දෙපාර්ශවයටම යම් යම් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදුවෙනවා. මේ සදහා අපි කරන්න ඕන එම්.ට්.ඒ. සික්ස් ලෙසින් හැදින්වෙන නියමිත අයදුම් පතක් පුරවා වාහනය මිලදී ගෙන දින හතක් තුල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කරන එක.ඒ සදහා අපිට පහත පරිදි ක්‍රියා කරන්න පුළුවන්. මේ අයදුම්පතෙහි කොළ කිහිපයක් තියනවා,

  1. ඒ අක්ෂරය දරන කඩදාසිය පුරවා දින හතරක් ඇතුලත කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව භාරකළ යුතුය.
  2. බි සහ සී යන කඩදාසි පුරවා ගැනුම්කරු වෙත භාරකළ යුතුය.
  3. වාහනයේ අදායම් බලපත්‍රය කොමසාරිස්වරයාට බාර දීමට ගැනුම්කරු වෙත ලබාදිය යුතුය.
  4. ඒ1 දරන කඩදාසිය පුරවා විකුණුම් කරුවෙත ලබාගත යුතුය, එමගින් වහනය වෙනත් කෙනෙකුට ලබාදුන් බව ඔප්පු කල හැකිය,

විශේෂයෙන් යම් මෝටර් රථයක හිමිකරු මියගිය විට, ඊළගට වාහනය භාරව සිටින පුද්ගලයා නියමිත ආකෘතියකට අනුව සකස් කරන ලද පත්ත්‍රිකාවක් රථ වාහන කොමසරිවරයාට දින 14ක් ඇතුලත ලබාදී ඔහු දැනුවත් කිරීමෙන් පසුව නව අයතිකරු ලියාපදිංචි කරනතෙක් වාහන පාවිච්චි කිරීමේ අයිතිය ලබාගත හැකිය.

රථ වාහන කොමසාරිස්වරයාට ලියාපදිංචිය අවලංගු කර හැකි අවස්ථා මොනවද?

පහත අවස්ථාවන් වලදී වාහන ලියාපදිංචිය අවලංගු කරන මෙන් මෝටර් රථ කොමසාරිස්වරයාට ඉල්ලා සිටින්න පුළුවන්.

  • වාහනය ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරනු ලැබූ වාහනයක් විට.
  • වාහනය සම්පුර්ණයෙන්ම විනාශ කරනු ලැබූ විට.
  • වාහනය විශේෂ අවසරයකින් කොටස් වලට කඩා වෙන් කල විට.
  • වාහනය තව දුරටත් පාවිච්චියට ගත නොහැකි ආකාරයට පත් වී ඇත්නම්.

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න පුළුවන් අවස්ථා මොනවද?

  • ආලෝක සංඥා පිළිබද 115(1) වගන්තිය යටතේ කල වැරදි.
  • නාගරික ප්‍රදේශ තුල තනි ස්වරයක් නොමැති නළා නාද කිරීම .
  • ප්‍රසිද්ධ මාර්ගයක අපරක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ මාර්ගයක අපරක්ෂාකාරී ලෙස රිය පදවා තුවාල කිරීමේ වැරදිකරු වීම.

මේ අවස්ථාවන් වලදී රියදුරු බලපත්‍රය අවලංගු කල හැකි වන අතර මිට අමතරව වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව වාහන රිය පදවන පුද්ගලයකුගේ බලපත්‍රය මාස 12ක් නොඉක්මන කාලයකට අත්හිටුමිමට හැකිය.

වාහනයේ මගින් ගෙන යාමට අදාල නීති මොනවද?

Road-Rules-640x640

මේ නිතිය නම් ගොඩක් අය දන්න නීතියක් නෙවෙයි, ගොඩක් වෙලාවට මගී ප්‍රවාහන රථ මේ නිතිය කඩ කිරීමේ වරදට අහුවෙනවා. ඒනිසා මෙය දැනගැනිම නම් ගොඩක් වටිනවා කියලා අපි හිතනවා.

  • කිසිම අවස්ථාවකදී බස්රථ වල පාපුවරුවේ මගීන් ගෙනයාම නොකළ යුතුයි.
  • තට්ටු දෙකේ බස් රථවල ඉහල තට්ටුවේ මගීන් සිටගෙන යාම තහනම් වේ.
  • මෝටර් රථයක ඉදිරිපස අසුනේ රියදුරාට අමතරව රැගෙන යාහැකි ගණන උපරිම දෙකක් වන අතර වාහන වර්ගය අනුව එකක් විය හැක.
  • මෝටර් සයිකල් භාවිතයේදී උපරිම දෙදෙනෙක් එහි ගමන් කල යුතු අතර අදාල ප්‍රමිතිය සහිත හිස්වැසුම් පැළදිය යුතු අතර එසේ නොකළහොත් එහි ගමන් කරනු ලබන දෙදෙනාම වැරදිකරුවේ.
  • මෝටර් රථයක ගමන් කරන අතරතුර දැන්වීම පත්‍රිකා බෙදාදීම නිත්‍යානුකූල නොවන අතර වාහනය තුල සිටින අයට ඇසෙන තෙක් පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතා කල යුතුය.

රථවාහන ගැටුමකදී අදාල රක්ෂණ සමාගම වගකිවක් ගත යුතුද?

රථ වාහන නඩුවකදී, නඩුව පැවරිමට දින 7ක කලකට පෙර හා නඩුව පවරා දින 7ක් යන කාලය අතරතුර අදාල රක්ෂණ සමාගම දැනුවත් නොකළහොත් අදාල වන්දිය ගෙවීම් නොගෙවිය හැක.

රථ වාහන වරදකට අධිකරණය විසින් වාහනයේ රියදුරු වරදකරු කරනු ලැබුවා හෝ ඔහු විසින් ඔහුගේ නොසැලකිල්ලට අලාභ ගෙවිය යුතු බව තීරණය කළහොත් එම රථය අදාල රක්ෂණ සමාගමට වගකීමට ලක්වෙයි. මිට අමතරම වාහනයේ රියදුරු රිය අනතුරක් සම්බන්ධව අධිකරණය ඉදිරියේ වැරදිකරු වුවහොත් රක්ෂණ සමාගමෙන් අනතුරට ලක්වූ තෙවන පාර්ශවයටද අලාභ ඉල්ලුම් කල හැකිය.

මේ තමයි මාර්ග සංඥා වලට අමතරව වාහන වලට අදාල නීති කිහිපයක්.කොහොම උනත් වාහන නිසා සිදුවන අනතුරු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා වගේම මාර්ග තද බදයත් දිනෙන් දින වැඩි වෙනවා.

ගොඩක් අනතුරු සිදුවන්නේ මාර්ග නීති පිළිපදින්නේ නැති නිසා, අනිත් එක තමා වාහන වැඩි වීමත් එක්ක මාර්ග තදබදයත් වැඩි වෙලා.

අපි ගොඩක් වෙලාවට වැරදි කියන්නේ පාරට. එහෙම නැතුව තමන් ඉන්න වාහනෙන් එලියට ඔලුව දාලා බැලුවම පේනවා පෞද්ගලික වාහන වල වැඩි වීම කොතරම්ද කියලා. ඔබට මේ ගැන හිතෙන්නේ කුමක්ද? අපිට කියන්නත් අමතක කරන්න එපා.

මුලාශ්‍රය: නීතිඥ නිලන්ත හෙට්ටිගේ

http://sinhala.roar.lk