සිංහල නොදත් අය කිඹුලන්ට බිලි විය යුතුද?

0
201

කිඹුලන් වැව

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නීතිගත කළ උත්තරීතර පාර්ලිමේන්තුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන බව පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් අද (9) ගරු කතානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කළේය.

පාර්ලිමේන්තුව වටේ ඇති වැව අද්දර සවි කොට ඇති “වැවෙහි කිඹුලන් ගැවසෙන බැවින් ප්‍රවේශම් වන ලෙස “ සිංහල භාෂාවෙන් පමණක් සඳහන් දැන්වීම් පුවරු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ලිපිය යොමු කලේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය වෙනුවෙන් එහි කැඳුවුම්කරුවන් වන අරවින්ද ඉන්ද්‍රජිත්, මනාස් අහමඩ් සහ නඩරාජන් කිරුබා යන අයගේ අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇති අතර එහි පිටපත් ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය වෙත ද යොමු කර තිබේ.

අදාල ලිපිය සහ අදාල ඡායාරූප පහතින් දැක්වෙන අතර ඒ සඳහා ඔබ මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලමු.

ස්තුතියි

2017 ජනවාරි මස 09 වැනිදා සඳුදා

ගරු කරු ජයසූරිය මැතිතුමා,
ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන්වීම් පුවරු – ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
උත්තරීතර පාර්ලිමේන්තුව අසල සවිකොට ඇති දැන්වීම් පුවරු හි ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අති විශාල ය. පාර්ලිමේන්තුව වටේ ඇති වැව අද්දර සවි කොට ඇති පහත දැක්වෙන දැන්වීම කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරමු.
1. ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුව මෙම දැන්වීම ද්‍රවිඩ භාෂාවෙන් ද සකස් විය යුතු නමුත් එවැන්නක් දියවන්නා වැව් ඉවුරේ කිසිදු ස්ථානයක දක්නට නොමැත.
2. මේ වන විට දියවන්නා වැව වටා ආරක්ෂිත දැලක් සවි කරනු ලබන්නේ කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බැවින් සහ දියවන්නා වැවේ කිඹුලන්නට ආරක්ෂිතව එහි රැදී සිටීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගිම සදහා ය. සිංහල භාෂාව නොදන්නා පුරවැසියන්ගේ ජීවත ආරක්ෂාව තහවුරු කිරීම ද රජය සතු මුලික වගකීමකි. ඒ සදහා භාෂා ප්‍රතිපත්තිය යටතේ විධිවිධාන සපයා ඇත. නමුත් එය ක්‍රියාත්මක නොවීම අවසනාවන්ත තත්වයකි.

මෙම කරුණු සලකා බලා හැකි ඉක්මනින් මෙරට භාෂා ප්‍රතිපත්තියට අනුව යමින් පුරවැසියන්ගේ ද, පදිකයින් ගේ ද ආරක්ෂාව සදහා ඉහත දැන්වීම් දෙමළ භාෂාවෙන් ද ප්‍රදර්ශන කිරීමට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

එමෙන්ම, සිංහල හා දෙමළ භාෂා නොදන්නා අනෙක් පුරවැසියන් වෙනුවෙන් ද, මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව සලකා සම්බන්ධීකරණ භාෂාව වන ‘ඉංග්‍රීසි භාෂාවෙන්‘ ද මෙම පුවරු සවි කිරීම කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.
මෙයට විශ්වාසී,

අරවින්ද ඉන්ද්‍රජිත් මනාස් අහමඩ් නඩරාජන් කිරුබා

පිටපත් – ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා
ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය

Image may contain: sky, ocean, outdoor and water
LikeShow more reactions

Comment