මෙන්ඩිස් අරක්කු ගැන විමසීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

0
385

කල්කුඩා ප්‍රදේශයේ  ඉදිකරමින් තිබෙන මෙන්ඩිස්  අරක්කු ව්‍යාපාරයට අයත් අලුත් ගොඩනැගිල්ලක්  සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ගිය  නැගෙනහිර මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එම ස්ථානයේ සිටි පුද්ගලයන්  විසින් පහරදීමක් සිදුකර  ඔවුන් පසුපස හඹාවිත් ඇති බව වාර්තා වේ. මේ වන විට මෙම මාධ්‍යවේදීන් එරාවුර් පොලිස් ස්ථානයට ගොස් සිදුවීම සම්බන්ධයෙන් පැමිනිලි කර ඇති අතර ඔවුන් මේ වනවිට එම ස්ථානයේ රැදී සිටිති.  මෙම සිදුවීමට මුහුණදුන්  සසිකරන් පුන්‍යමූර්ති  හා එන්.නිත්‍යනාදන් යන දෙදෙනා වීරකේසරී,තිනකුරල් යන මාධ්‍ය ආයතන වල සේවය කරන  මාධ්‍යවේදීන් දෙදෙනෙකි.

කල්කුඩා ප්‍රදේශයේ  මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයට අයත් ශාඛාවක් ඉදිකිරීමට  ආරම්භවීමත් සමගම මේ සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් මතුවී ඇති අතර අදාළ ආයතන කීපයකින් මෙම ඉදිකිරීම තහනම් කර තිබේ. එසේ තහනම් කර තිබියදීත් හොරෙන් නැවතත් මෙම ස්ථානය ඉදිකිරීම් සිදුවෙමින් පැවති අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම මාධ්‍යවේදීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇත. එම මාධ්‍යවේදීන් පවසන්නේ ඔවුන්   යතුරු පැදියකින් එම ස්ථානයට ගිය බවත් ඔවුන් දුටු විගස සේවය කරමින් සිටි පුද්ගලයින් ගල් හා වයර් වැනි දෙයකින් පහරදී කිලෝමීටර් 3ක් පමණ පිටුපසින් එළවාගෙන පැමිණි බවයි. හැකි ඉක්මණින් තමන් එම ස්ථානයෙන් පිටවී පලා ආ අතර මග දිගටම පිරිසක් තමන් පසුපස එළවාගෙන පැමිණි බව ඔවුන් පවසයි.