පූජිතට වසර 7 ක සිර දඬුවම් දිය හැකියි..! පොලිස්පති වදහිංසා කළ විට ලංකාවේ නීතියෙන් කළ හැකි දෙයක් නැද්ද? – ආසියානු මානව හිමිකම් කොමිසම අසයි

0
77

“නයෙක් කෑවොත් කළ හැකි වෙදකමක් නැතැයි“ සමහරුන් කියන්නා සේ පොලිස්පතිවරයා පොලිස් නිලධාරියෙකු වදහිංසනයට ලක්කළ විට එයට ද ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයට අනුව කල හැකි දෙයක් නැතුවා සේ පෙනේ. එය නීතියේ ඇති අඩුපාඩුවක් නිසා නොව ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ ඇති බරපතල පැහැරහැරීම් හා මගහැරීම් නිසාය.

පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ නිළධාරියෙකුගේ කොළරයෙන් අල්ලා ඔහුට තර්ජනය කිරීම පිළිබඳ සිද්ධියක වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු එය විශාල දෙනෙකු විසින් අන්තර්ජාලය මගින් හා වෙනත් ආකාර වලින් නරඹා ඇත. මේ නිසාම එය මාධ්‍ය සාකච්ඡා වල ද තේමාවක් සේ පසුගිය දිනවලදී පැවතින.

එහෙත් මේ දක්වා මේ පිළිබඳව කිසිම නෛතික ක්‍රියාමාර්ගයක් අරඹා නැති අතර එසේ ඇරඹේ යැයි අනුමාන කිරීම ද අසීරු ය.

මේ නිසා මතුවන ඉතා බරතල නෛතික ප්‍රශ්ණ ගණනාවක් ඇත.

ලංකාවේ නීති ක්‍රමය පදනම් වී ඇත්තේ කිසිවෙක් නීතියට ඉහළින් නැතැයි යන ප්‍රධාන සිද්ධාන්තය අනුවය. මෙම සිද්ධාන්තය සියවස් ගණනාවක් ඇතුලේ රාජ්‍යත්වයට එරෙහිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කරන ලද අරගලයේ ප්‍රඵලයක් ලෙස නිර්මානය විය. ඇත්තෙන්ම නීතිය මත පදනම් වන වර්තමාන නීති පද්ධති වල මුල්ගල වන්නේ මෙම සංකල්පයය. එය නොතකා හැරීම සකල නීති ක්‍රමයටම බරපතල තර්ජනයකි.

ලංකාවේ පොලිස් සේවය ලංකාව තුළ නීතිය රැකීම සඳහා නිර්මානය කොට ඇති ප්‍රධානමතම සංස්ථාව වේ. එම පොලිස් සේවයට නීතිය රැකීම හැර වෙන කිසිදු කර්තව්‍යයක් පැවරී නැත. එම සේවයට අදාල සියලුම කරුණු සාධාරණ කිරීමේ පද්ධතිය ලෙස පවතින්නේ මෙම ප්‍රධාන යුතුකමය.

මේ අනුව පොලිස් සේවයේ පැවැත්මම පවතින්නේ නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානය යන පදනම ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරවීම මතය. මේ අනුව පොලිස්පතිවරයා කළා යැයි සැක කළ හැකි අපරාධය නම් වදහිංසාවය. වදහිංසාව අපරාධයක් යනුවෙන් ලංකාවේ නීති පොතට ඇතුලු වූයේ 1994 දීය. එසේ ඇතුලු වූයේ 1994 අංක 22 දරන වදහිංසාව හා කෘෘර අමානුෂික අවමන් සහගත සැලකීම් වැළැක්වීමේ සම්මුති පනත නැමති නීතිය යටතේය. මේ අනුව වදහිංසාවට නියමකර ඇති දඬුවම අවුරුදු 7 ක සිරදඬුවමක් හා රුපියල් 10000 කට නොවැඩි දඩයකි. මේ පනත යටතේ අපරාධකරුවන් බවට අධිකරණ මගින් නියම වී දඬුවමට භාජනය වූ පොලිස් නිලධාරීන් ගණනාවක්ම සිටී. තවත් නිළධාරීන්ට විරුද්ධව එම පනත යටතේම පවත්වාගෙන යන නඩු ගණනාවක් ද වේ.

මේ අනුව සමහර නිළධාරීන්ට එකම චෝදනාවක් යටතේ සිරගතවීමටත් අනිත් අතට පොලිස් සේවය භාරව සිටින ඉහළම නිළධාරීයාට මෙම අපරාධ චෝදනාව යටතේ පරීක‍ෂණයකටවත් භාජනය නොවී සිටීමටත් හැකියාව තිබීම සකළ නීති පද්ධතිය සම්බන්ධයෙන්ම දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමන කිරීමකි. 

ඇත්තෙන්ම පැණ නැගී ඇති ප්‍රශ්ණය නම් පූසාගේ බෙල්ලේ සීනුව ගැටගහන්නේ කවුදැයි මීයන් අතර ඇති වූ ප්‍රශ්ණය සම්බන්ධ ජනකතාවෙන් කියවෙන ගැටළුවමය. රටේ සියලූම අපරාධ පරීක‍්ෂණ භාරව සිටින ඉහළම නිළධාරීයාට විරුද්ධව අපරාධ පරීක‍්ෂණයක් කළ හැක්කේ කාටද යන ගැටළුව ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව විසඳිය නොහැකි ප්‍රශ්ණයක් සේ පවතී.

කෙසේ වූවත් ඉහළම නිළධාරියාගේ ක්‍රියා කලාප පිළිබඳ වගකීම ජනාධිපතිවරයා අගමැතිවරයා හා රජය මත පැවරී ඇති යුතුකමකි. රජයක් පවතින්නේ නීතිය මතය. රජය යම් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගන්නේ නම් එය රටේ පවතින සමස්ථ නීති ක්‍රමයම අර්බූදයට පත්කරයි.

නීතිය පිළිබඳ මෙම ප්‍රධාන ගැටළුව නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ පැවැත්මේ එකම හේතුව ලෙස පවතින පොලිස් සේවයේ කීර්තිනාමය පිළිබඳව ද බලපායි.

මෙය ලංකාව නීතිය මත පදනම් වූ රාජ්‍යයක් සේ පවත්වාගෙන යෑම ගැන උනන්දුවක් ඇති කාගේත් අවධානයට යොමුවිය යුතු ප්‍රශ්ණයකි.


-ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ නිවේදනයකි-
උපුටා ගැනීම – ලංකා ඊ නිව්ස්