බිරි­යගේ බල තණ්හා­වට බිලි වූ අප්‍රි­කානු වීරයා

0
300

මුගා 1

“මා බලයෙන් ඉවත් කළ හැක්කේ මා පත්කළ දෙවියන්ට පමණි. එසේ නොමැතිව විපක්ෂයට හෝ බ්‍රිතාන්‍යයට එය කළ නොහැක. මා ඉවත්කරනු ඇත්තේ දෙවියන් පමණි“ – රොබට් මුගාබේ – සිම්බාබ්වේ හිටපු ජනාධිපති.
දේශපාලනයට සදාචාරය හා බැඳීමක් නැතැයි මධ්‍යතන යුගයේ දේශපාලනික උපදේශකයෙකු වු නිකොලෝ මැකියාවෙල්ලි ප්‍රකාශ කර තිබේ. මේ කියමන අදටත් කොපමණ ගැළපේදැයි යන්න අපට අවබෝධ කරගත හැක්කේ වර්තමානයේ අන්තර්ජාතික තලයේ සිදුවන දේශපාලනික සංසිද්ධි දෙස වඩාත් විවරණාත්මකව බැලීමෙනි. සිම්බාබ්වේ ආරක්ෂක හමුදාව ජනාධිපති රොබට් මුගාබේගේ පාලනයට නැවතීමේ තිත තබා තිබේ. ජනාධිපතිවරයා බිරිය හා එම පාලනයේ සමීප සගයන් මෙන්ම අන්තේවාසිකයන්ද පසුගිය බදාදා වනවිට හමුදා අත්අඩංගුවට පත්වුයේ අප්‍රිකානු කළාපයේ මෙන්ම සමස්ත ලෝකයේම පැවති දීර්ඝකාලීන එමෙන්ම අධිකාරිවාදි පාලනයක අවසානය උදාකරමිනි.

මෙය හමුදා කුමන්ත්‍රණයක් වුවත් සිම්බාබ්වේ වැසියන් මෙන්න අප්‍රිකානු ප්‍රජාවද සැලකූයේ ඒකාධිපති පාලනයකින් රට මුදාගැනීමේ පියවරක් ලෙසිනි. ඒ නිසා සිම්බාබ්වේ හමුදාවට කලාපීය විරෝධතාවකින් තොරව පාලන බලය අත්පත් කරගැනිමට හැකිවිය. දකුණු අප්‍රිකාව ඇතුළු කලාපීය බලවතුන් ප්‍රකාශ කර තිබුනේ හමුදාව පාලනය අත්පත් කරගැනිම තුල සිම්බාබ්වේහි තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් සිදු නොවිය යුතු බව පමණකි.
රොබට් මුගාබේ ගැන කථා කිරිමට බොහෝ දේ තිබේ. ඔහුගේ දේශපාලනික භූමිකාව 1960 දශකයේ සිට 1990 දශකය දක්වා විහිදී ගියේ අප්‍රිකානු නිදහස් සටන් ව්‍යාපාරයේ පුරුකක් බවට පත්වීමෙන් අත්කරගත් කීර්තිනාමය තුළිනි. සැබැවින්ම මුගාබේ යනු සිම්බාබ්වේ රාජ්‍යයේ නිදහස් සටන මෙහෙය වු පුරෝගාමියායි. ඔහු එරට ජාතික වීරයෙකි.
සමකාලීන අප්‍රිකානු නිදහස් ක්‍රියාකාරී නායකයන් වු පැට්‍රිස් ලුමුම්බා, නෙල්සන් මැන්ඩෙලා, ජුලියස් නියරේරේ, කවාමේ න්කෘමා, ජෝමෝ කෙන්යාටා හා කෙනත් කවුන්ඩා වැනි නායකයන් අතර කැපී පෙනුණු ගිනි පුපුරක් වන් නිදහස් විප්ලවවාදියෙකි. බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදින් විසින් එදා රොඩේෂියාව යනුවෙන් නම්කර සුදු ජාතික රූකඩ ආණ්ඩුවක් මගින් ඉතා දරුණු ලෙස සූරා කමින් තිබු සිම්බාබ්වේ රාජ්‍යයට, එවැනිම ඉරණමකට ලක්ව තිබු සෙසු අප්‍රිකානු අසල්වැසි රාජ්‍ය සමඟ එක්ව නිදහස සඳහා අරගල කිරීමේ පන්නරය ලබාදීමට රොබට් මුගාබේ ඇතුළු ක්‍රියාකාරීහු අපමණ වෙහෙසක් දැරූහ.

දෙවැනි ලෝක යුද්ධයෙන් ඉතා දරුණු ලෙස බැටකෑ එමෙන්ම දණින් වැටුණු යුරෝපා අධිරාජ්‍යවාදී ජාතින් ලොව වඩාත් දියුණු මානව සමාජයන් සහිත ආසියාතික කලාපීය යටත් විජිත අත්හැරියද අඳුරු මහද්වීපය යනුවෙන් ඔවුන් විසින්ම නම් කරනු ලැබු හා සෙසු කලාපවලට වඩා ඉතා බරපතළ ලෙස වහල් සේවය වැනි බිහිසුණු ක්‍රමවේද ඔස්සේ සූරාකනු ලැබු අප්‍රිකානු මහද්වීපයේ යටත් විජිත රාජ්‍යයන් 1940 දශකයෙන් පසුවද පවත්වාගෙන යෑමට උත්සුක වුයේ එම කලාපයේ සම්පත් බහුල බව හා දියුණු ප්‍රජාතන්ත්‍රවාදි සමාජ හා දේශපාලනික රටාවක් නොතිබීම හේතුවෙනි. එහෙත් පශ්චාද් ලෝක යුද සමයේ එය සිදුකිරීම අධිරාජ්‍යවාදීන්ට පහසු කටයුත්තක් නොවීය.

මුලික වශයෙන් අප්‍රිකාව තුළද නිදහස් ව්‍යාපාර බිහිවී තිබිණ. එමෙන්ම එම නිදහස් නායකයන් යම් දේශපාලනික දැක්මක්, අධ්‍යාපනයක්, පරිණත බවක් හා ඉලක්කයක් සතුවු තරුණ නායකත්වයන් වු බව අප්‍රිකානු දේශපාලනික ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ. එමෙන්ම ඔවුන් ඉන්දීය නිදහස් අරගලයේ ගාන්ධි භූමිකාව, මාඕ සේ තුං ගේ චීන විප්ලවය හා කස්ත්‍රෝ හා චේ ගේ කියුබානු විප්ලවය වැනි අන්තර්ජාතික අරගල වලින් ආදර්ශ ලබා, පන්නරය ලැබු අය වුහ.

රොබට් මුගාබේද ඊට වෙනස් වුවෙකු නොවේ. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. පසුකාලීනව ජොෂුවා න්කොමෝ රොඩේෂියානු නිදහස් ව්‍යාපාරයට එක්ව ඔහු නිදහස් සටන් ව්‍යාපාරය අරඹා පූර්ණ ක්‍රියාකාරියෙකු වෙමින්, නෙල්සන් මැන්ඩෙලා මෙන්ම සිරබත් කමින් තම ජීවිතයෙන් වැඩි කොටසක් නිදහස් අරගලය වෙනුවෙන් කැප කළේය. පසුව න්කොමොගෙන් වෙන්ව වත්මන් පාලක පක්ෂය වන සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයට මුල් යුගයේ සිටම නායකත්වය දෙමින් එහි සන්නද්ධ අංශයට චීනයේ ආධාර ලබාගෙන සුදු ආණ්ඩුවට එරෙහිව සටන් මෙහෙයවීමට මුල්විය.

1975 -1979 ගරිල්ලා යුද්ධය රොඩේෂියාවේ සුදු අධිරාජ්‍යවාදින්ට ඉතා කටුක අත්දැකිමක් විය. 1979 ලැන්චෙස්ටර් නිවාස සම්මුතිය මගින් රොඩේෂියාවට නිදහස ලබාදීමට බ්‍රිතාන්‍යය උත්සුක වුයේ අප්‍රිකාවේ තවත් යටත් විජිතයක නිමාව සනිටුහන් කරමිනි. මැතිවරණයෙන් ජයගත් රොබට් මුගාබේ 1980දී එරට ප්‍රථම අගමැතිවරයා ලෙස තේරී පත්විය. 1987දී එය ජනාධිපති පදවියක් දක්වා විකාශය කරගත් මුගාබේ පසුගිය සතිය දක්වාම සිම්බාබ්වේහි පාලකයා විය.

එහෙත් රොබට් මුගාබේ වරද්දාගත් ප්‍රධාන තැනක් විය. නෙල්සන් මැන්ඩෙලා අත්කරගත් එහෙත් රොබට් මුගාබේට අත්කරගැනිමට නොහැකි වු ප්‍රධානම දෙය වූයේ රට තුළ ඒකමතික භාවයක් ඇතිකර ගැනීමේ හැකියාවයි. සරලව කිවහොත් මැන්ඩෙලා බලයට පත්විමෙන් පසු බිහිකළ නිදහස් දකුණු අප්‍රිකාවේ මූලික තේමාව වුයේ ජාතික සංහිදියාවයි. ඒ නිසා දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරය හා කළු ජාතික බහුතරය අතර බිහිසුණු ගැටුම් හටගත්තේ නැත. ඔවුන් එකිනෙකා හා මරාගත්තේ නැත. ඒ වෙනුවට මැන්ඩෙලා රාජ්‍ය නායකයා ලෙස සුදු හා කළු ජාතික ජන කොටස් වෙත ලබාදුන් වැදගත්ම පණිවුඩය සංහිදියාවෙන් යුතුව ජිවත් වීමේ වැදගත් කමයි. ඒ හරහා රටේ ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීම වළකා සංවර්ධනය සඳහා සියලු කොටස්වල දායකත්වය ලබාගැනිමට මැන්ඩෙලාට හැකි විය.
එහෙත් සංහිදියාව වෙනුවට රොබට් මුගාබේ කරපින්නා ගත්තේ උග්‍ර ජාතිකවාදයයි. සුද්දන් උපායශීලීව මැන්ඩෙලා මෙන් රටේ ආර්ථික දියුණුවට දායක කරගන්නවා වෙනුවට මුගාබේ පිළිවෙත වුයේ සුදු ජාතික සුළුතරයට බැටදී පන්නා දැමීමයි. ගැටලුව වුයේ සිම්බාබ්වේහි ජාතික කෘෂිකර්මය හා කෘෂි අපනයන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාහේ සුදු ජාතිකයන් අත පැවතීමයි. මුගාබේ හඳුන්වා දුන් ඉඩම් පවරාගැනීමේ පනත යටතේ 1990 දශකය අවසන් භාගය වනවිට සුදු ජාතිකයන් සතු ගොවිපල බොහොමයක් කළු ජාතිකයන්ට පවරා දීමයි.

එහිදි සිදුවු ව්‍යසනය නම් සුදු ජාතිකයන් මෙන් එම ඉඩම් වගාවට යොදාගැනීමට කළු ජාතිකයන් උත්සුක නොවීමයි. ඉඩම් ලැබුණු අභිමානයෙන් පසුවීම විනා එහි ආර්ථික ඵල නෙළාගැනීමට කළුජාතිකයන්ට අභිලාෂයක් හෝ දැනුමක් නොතිබිණ. එහි ප්‍රතිඵලය වුයේ සිම්බාබ්වේහි කෘෂි කර්මාන්තය හා කෘෂි ආර්ථිකය ඉතා බරපතළ ලෙස ගරාවැටීමයි. ආහාර නිෂ්පාදනය අඩුවීම හා අයහපත් දේශගුණික තත්ත්වයන් යටතේ 1990 දශකය අවසන් වනවිට සිම්බාබ්වේහි සාගත තත්ත්වයක් නිර්මාණය වීමට මෙය හේතුවක් විය.

නිදහස් සටනේ වීරයා වුවද පසුකාලිනව සිම්බාබ්වේහි මුලික ආර්ථික ඝාතකයා වුයේද රොබට් මුගාබේය. කෘෂි ආර්ථිකය බිඳහෙලීම, උග්‍ර ජාතිකවාදි සංකල්ප අනුව ආර්ථික පිළිවෙත් හා ප්‍රවණතා නොසලකා හැරීම, වංචාව හා දුෂණය, නාස්තිය හා ජනාධිපතිවරයා හා පවුල ආශ්‍රිත අතිශය සාටෝපකාරී වියදම් ආදී ක්‍රියාකාරකම් නිසා ආර්ථිකය දනින් වැටිණ. මුගාබේගේ අධිකාරිවාදි හා මානව හිමිකම් විරෝධි ක්‍රියාකලාපය නිසා සිම්බාබ්වේ රාජ්‍යයට අන්තර්ජාතික සම්බාධක පැනවීම තත්ත්වය වඩාත් උග්‍ර කළේය.
එහෙත් තම නිදහස් ජාතික වීර ප්‍රතිරූපය යොදාගනිමින් හා ජාතිකවාදය අවුස්සමින් පැවති සෑම මැතිවරණයක්ම ජයගැනීමටත්, එසේ අපොහොසත් තැන්වලදි මැතිවරණ දුෂණ හා බලහත්කාරය යොදාගනිමින් මැතිවරණ ජයගැනීමටත් මුගාබේ සමත්වුයේ රට ඉතා බරපතළ ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබියදීය. ආහාර හිගය, සියයට කෝටි 8ක් වු (8 BILLION percent) උද්ධමනය හා ජාතික මුදල් ඒකකය දරුණු ලෙස අවප්‍රමාණය වීම මේ යුගයේ දක්නට ලැබුණු ලක්ෂණ වේ.

පාන් ගෙඩියක් මිලදී ගැනීමට සිම්බාබ්වේ වැසියන්ට මුදල් විල්බැරෝවකට පටවා බේකරියට රැගෙන යාමෙ තත්ත්වයක් උදාවුයේ මුගාබේ ආර්ථික පිළිවෙත නිසාය. පසුව සිම්බාබ්වේ මුදල් ඒකකය භාවිත කිරීම අත්හැර අැමෙරිකානු හා දකුණු අප්‍රිකානු මුදල් ඒකකවලින් ගනුදෙනු කිරිමට රජය නීති රෙගුලාසි ගෙන ආවේ සිම්බාබ්වේ මුදල ගොඩගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීම තුළිනි. මේ ආකාරයට මුගාබේ පියවරෙන් පියවරට සිම්බාබ්වේ ආර්ථිකය විනාශ කළේය. ආර්ථික වශයෙන් රට වඩාත් සිරවන තත්ත්වයක් උදාවෙද්දි විදෙස් ආයෝජකයන්ට තර්ජන එල්ල කිරිම නිසා ඔවුන් රටින් පලායෑම හා පතල් කර්මාන්තය රජයට පවරාගැනීමෙන් පසු එම ක්ෂේත්‍රයේ ඇතිවු කඩාවැටීම සිම්බාබ්වේ ආර්ථිකයේ මළගම කඩිනම් කළේය.

ඒ යුගයේ සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩා වින්දද මුගාබේ පවුල හා ඔවුන් වටා ගොනුවී සිටි අන්තේවාසික, පන්දම්කාර දේශපාලනික කූඩළු වර්ගයා නිසා මුගාබේ ජනතාව අතර තවත් අප්‍රසාදයට පත්විය. ඔවුන් මුගාබේගේ බලය පෙන්වමින් රාජ්‍ය දේපළ අවභාවිත කළහ. අමු අමුවේ වංචා දුෂණ සිදු කළහ. මෙහි නරක නාමය එල්ල වුයේ සෘජුව මුගාබේටයි.

අලි මදිවාට කොටි කීවාක් මෙන් මුගාබේගේ තරුණ බිරියටද රජවීමේ ආසාවක් පහළවුයේ ඉතා මෑතකදීය. එතෙක් ඇය ගතකළේ නිහඩ භූමිකාවකි. එහෙත් රටේ ආර්ථිකය කඩාවැටි ජනතාව දුක් විදිද්දි ග්‍රේස් මුගාබේ ඉහළතම වටිනාකමක් ඇති ජනප්‍රිය සන්නාම සහිත ඇදුම් පැළඳුම් භාවිත කළාය. එ් නිසාම ඇය ගුසී ග්‍රේස් වශයෙන් මාධ්‍ය විසින් හඳුන්වනු ලැබීය. 90 විය පසුකළ රොබට් මුගාබේ රටේ මීලඟ නායකයා ලෙස තම තරුණ බිරිය, 41 හැවිරිදි ග්‍රේස් පත්වනු දැකීම ආසා තළේය.

ඇය තම විසිතුරු ඇඳුම් ආයිත්තම් හැරදමා පක්ෂයේ සන්නද්ධ හිස් වැස්මක්ද පැළඳ දේශපාලන වේදිකාවට නැග කථා පැවැත්විම ආරම්භ කළාය. මහජන උත්සවවලට එක්වුවාය. භාණ්ඩ බෙදා දුන්නාය. ඇය පොට වරද්දා ගත් තැනක් වුයේ දිළිඳු පක්ෂ සාමාජිකයන් වෙත තම භාවිත කළ යට ඇදුම් තොගයක් බෙදා දීමේ අපකීර්තිමත් සිද්ධියයි. ග්‍රේස් මුගාබේගේ දේශපාලනික ආගමනය හා සමගාමිව මුගාබේගේ පාලක සානු පී එෆ් පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වයේ සිටි පරිණත නායකයන්ට විවිධ චෝදනා එල්ල කර පක්ෂයෙන් එළවා දැමීමේ පිළිවෙතක් ආරම්භ විය. එහි උච්චතම අවස්ථාව පසුගිය සතියේ සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් ම්නන්ගාවා තනතුරෙන් පහ කිරිමත් සමගයි.

එතෙක් නිහඬව සිටි හමුදාව “දැන් හොඳටම ඇති“ කියමින් අවි ගෙන පාරට බැස්සේ ඉන් පසුවයි. දැන් අප්‍රිකානු නිදහස් වීරයා නිවාස අඩස්සියේ පසුවෙයි. ඔහුගේ මෙන්ම බලලෝභි බිරියගේද අනාගතය කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි. මුගාබේ භූමිකාව තුළින් ගම්‍ය වන ප්‍රධාන සංසිද්ධිය වන්නේ කොතරම් ප්‍රගතිශීලී නායකයෙකු වුවද ජනතාවාදි බව අමතක කර ඥාති සංග්‍රහයේ හා අන්තේවාසික සංතර්පණයේත් දුෂණයෙත් යෙදෙන්නේ නම් ඔහුගේ වීරත්වය හා පැරණි සේවය නොතකා ජනතාව විසින් ඔහු ඉතිහාසයේ කුණුකූඩයට ඇද දමන බවයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩ­න්ගො­ඩගේ
සිළුමිණ
විවර

Write a comment…