පර්චස් 100 කට මුවා වෙලා අක්කර 8 ක කඩොල් කැපුවා-රොයිස් විජිත

0
302

 2012 November 7 දින පළවු ලිපියකි.

 

2012 නොවැම්බර් මස 06 වැනි දින පැවැති මීගමුව මහා නගර සභාවේ මාසික මහා සභා රැස්විමේදී වැඩබලන විපක්ෂනායක කැලිසන් ජයකොඩි මහතා විසින් මීගමුව කලපුව සහ කඩොලාන ආදී කලපු පරිසරය විනාශයට පත් කරන අනීතික කටයුතු වලක්වාලීමට කටයුතු කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කලේය. ඒ සදහා දැනට අක්‍රියව පවතින නගර සභාවේ පරිසර කම්ටුව නැවත බලාත්මක කල යුතු බවද එම යෝජනාවේ සදහන් විය. එම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නාගරික මංත්‍රිරවරු දැක්වු අදහස් වල සංක්ෂිප්ත සටහනක් පහත පල වේ.

වැඩ බලන විපක්ෂනායක කැලිසන් ජයකොඩි මහතා .-

මීගමුව කලපුව කියන්නේ මහත් සම්පතක්. ඒක නිසා මේ කලපුව සහ එහි කඩොලාන අපි ආරක්ෂා කල යුතුයි. මේ කලපුව හෙක්ටයාර 3164 දක්වා පාරසයක විහිදෙනවා. මීගමුව සිට දෑලතුර දක්වා මෙය දිගින් සැතපුම් 12 ක් වෙනවා. මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් ලෙස ද මේ කලපුව ගනන් ගැනෙනවා. එහෙම ගත්තාහම මෙය හෙක්ටයාර 6232 ක් පමන වෙනවා. එහෙත් අපිට වැදගත් වෙන්නේ මේ කලපුවේ හෙක්ටයාර 3164 යි. මේ තීරයේ ලෝකයේ දුර්ලභ කඩොලාන වලින් සමන්විත දුපත් 13 ක් පිහිටලා තියෙනවා. මේ කලපුව තුලින් සෘජු ලෙස ධිවර රැකියාවේ පවුල් 3500 ක් පමන ද එලෙසම වක්‍රාකාරයෙන් තවත් පවුල් 1500 ක් පමන ජීවත් වෙනවා. මේ විදිහට ගත්තහාම පවුල් 5000 ක් පමන මේ කලපුවෙන් තම දිවි රැක ගන්නවා. මේ අය කිසිම රජයකට බරක් වුනේ නැහැ. පඩි වැඩි කරන්න කියලා හරි වෙන විවිධාකාරයේ ඉල්ලීම් ඉල්ලන්න හරි මේ පිරිස පෙළඹුනේ නැහැ. මේ අය ඉල්ලූවේ එකම දෙය මේ කලපුව සහ මේ කඩොලාන රැක දෙන්න කියලා විතරයි. අද මේ කලපුව අසීමිත ලෙස ගොඩ කිරිමකට ලක් වෙනවා.

ඒවාගේම මහා පරිමාණයෙන් යුතුව කඩොලාක කපා දෑමීම සිදු වෙනවා. විශේෂයෙන්ම මේ කලපුව ආව මේ වෙද්දී ජෙට් වින්ග් ලෑගූන් සහ අමායා ලැගූන් කියලා හෝටල් 02 ක් ඉදි වෙලා තියෙනවා. මේ හෝටල් වලට විශාල ලෙස විදේශීය සංචාරකයන් පැමිනෙමින් සිටිනවා. ඒ නිසා තමයි මේ කලපුව අවට ඉන්න අයත් සමහර ව්‍යාපාරිකයනුත් ඇවිත් මේ කලපුව ගොඩ කරලා, කඩොලාන කපලා කොහොම හරි හෝටල් අවන්හල් ඉදි කරන්න පෙලඹී තියෙන්නේ.

ඒවාගේම මේ කලපුව ගොඩ කරන කඩොලාන කලපන අය විතරක් නෙමෙයි, මේ කලපුව විනාශ කරන්නේ , මේ කලපුවට විශේෂයෙන්ම මසුන්ගේ අවශේෂ කොටස් බැහැර කරන අයත් මේ විනාශයට වගකිව යුතුයි.

මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කල පසු මොකද වුනේ කියන්න අපි දන්නේ නැහැ. මේ සම්බන්ධව කටයුතු කරන්න නගර සභාවට අමතරව ධීවර අමාත්‍යාංශය, පහත් බිම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිිමේ මන්ඩලය සහ සංචාරක මන්ඩලය වාගේ ආයතන වලටත් යම් වගකීමක් තියෙනවා. ඒක නිසා මේ කලපුව ගොඩ කරන කඩොලාන කපා විනාශ කරන අයට එරෙහිව දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ආන්ඩු පක්ෂ නාගරික මංත්‍රි දයාල් නිලංග මහතා .-

ගරු නගරාධිපතිතුමෙනී මේ කලපුව සම්බන්ධව ගැටළුව ගැන පසුගිය දිනෙක යම් රූපවාහිනි වැඩසටහනක් විකාශනය වුනා. ඒකෙදී මේ නගර සභාවේ හිටපු එ.ජා.ප. නාගරික මංත්‍රිවරයෙක් අදහස් ප්‍රකාශ කලා , මේ වැඩකටයුතු සිදු වන්නේ මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලනඥයන් දෙදෙනෙකුගේ අනුදැනුම පිට කියලා.ඒ හිටපු නාගරික මංත්‍රිරවරයා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වුනෙත් නැහැ. මට භයේ. මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වාහම ඔහු මට තියෙන බයටම ඒ මැතිවරණයට ඉදිරිපත් වුනේ නැහැ. එහෙම කෙනෙක් තමයි එ.ජා.ප.යේ. ඒ හිටපු නාගරික මංතී්‍රවරයා .

හැබැයි ඔහු කියන ආකාරයට එහෙම කිසිම දේශපාලඥයකුගේ අනුදැනුම පිට නෙමෙයි මේ කටයුතු සිදු වන්නේ. ඒක නිසා මේ ඉදිරිපත් කර තිඛෙන යෝජනාවත් අර රූපවාහිනී නාලිකාවෙන් වි්කාශය වුනු වැඩසටහනේම කොටසක්ද කියා සිතෙනවා.

ආන්ඩු පක්ෂ නාගරික මංත්‍රි කපිල නන්ද සුලෝචන මහතා .-

මේ යෝජනාවේ තියෙනවා අද සිදුවෙන කියලා එය සංශේධනය විය යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේ කලපුවේ සිදුවෙන මේ දේවල් සිදු වන්නේ අද ඊයේ සිට නොවෙයි. මේවා පසුගිය වසර ගනනාවක් තිස්සේ කෙරෙන දේවල්. දැන් මේ යෝජනාවේ තියෙන විදිහට අද සිදුවෙන කියලා කියපුවාහම මේ අපේ කාලයේ දී තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලායි ගම්‍ය වෙන්නේ. කලපුවේ මේ දේවල් සිද්ධ වෙන එක සම්බන්ධව ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ගත්තාහම ඒ සමස්ථ කාලසීමාව තුලම මේ දේවල් සිදු වෙමින් පවතිනවා.

එදා ඔය කලපුවේ සිදු වුන එක ව්‍යාපෘතියකට අනුව තමයි කලපුව මැද්දෙන් පාලමක් ඉදිකලේ. ඒක වුනේ ඩෙන්සිල් මහත්තයාගේ කාලේ. ඒක නිසා මේවා සිදු වන්නේ මේ අද ඊයේ නොවෙයි කියලා මම ආයෙත් කියනවා. ඒ නිසා අද කියන එක කපා දමා එය එදා සිට කියලා සංශේධනය වෙනවා නම් මෙම යෝජනාවට මගේ එකගතාවය ලබාදෙනවා කියන එක කියන්න කැමතියි.

හිටපු විපක්ෂ නායක රෝයිස් විජිත ප්‍රනාන්දු මහතා .

මේ මේ කලපුව සහ ඊට අයත් කඩොලාන බිම් කියලා කියන්නේ අති සංවේදී පරිසර කලාප. මීට කලින් මේ කලපුව ආසන්නයේ තියෙන ඒ අතිසංවේදී කඩොලාන පරිසරයේ අක්කර 08 ක ප්‍රමානයක් කපලා ඩෝසර් කලා (ඡයාරූපයක් පෙන්වමින්). ඒවා කාගේ අනුදැනුම යටතේ කවුද කෙරුවේ කියලා කියන්න යන්නේ නැහැ මම මේ වේලාවේ.

එදා මීගමුවේ ජනතාවට පානීය ජල ප්‍රශ්නයක් තිබුනා තමයි. ඒකට අවශ්‍ය ඒ ප්‍රධාන ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වීම පමා වුන නිසා ජල පිරි පහදුවක් ක්‍රියාත්මක කරන්න පර්චස් 100 ක් ලබා දෙන්න කියලා ජල සම්පාදන මන්ඩලයෙන් ,මීගමුව ප්‍රාදේශීය ලේකම්ට දන්නපුවාහම ඒ පර්චස් 100 මනින්න ප්‍රාදේශීය ලේකම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මුදල් බැන්දා. ඒ පර්චස් 100 ට මුවා වෙලා ඒ වෙලාවේ කඩොලාන අක්කර 08 ක් පමන වු භූමිය ඩොසර් කරලා විනාශ කලා. එදා හිටපු නගරාධිපතිතුමත් ඒ කඩොල් නෙමෙයි මන්ඩා කැපුවේ කියලා ප්‍රකාශ කලා. අන්න එදා සිට තමයි ප්‍රසිද්ධියේ මහා පරිමානයෙන් කිසිම බියක් සැකක් නැතිව මේ විදිහට කලපුවත් , කඩොලානත් විනාශ කරන්න පෙලඹුනේ. මේකෙන් සමහර විටෙක දේශපාලන වාසි ගන්නත් ඇති. මම ඒවා නැහැමයි කියලා කියන්නේ නැහැ.

වාරකන් කාලෙට මේ කලපුවෙන් තමයි මුහුදු යන ධීවරයෝත් තම දෛනික ආදායම සරි කර ගත්තේ. ඒක නිසා මේක මළ කලපුවක් නෙමෙයි.

මේක ද්‍රෝණි මෝයක් සහිත සශ්‍රික කලපුවක්. ඒවාගේම පෝෂිත කලපුවක්. මෙය ආරක්ෂා කරන්න මේ මහා නගර සභාවට විශේෂ වගකීමක් තියෙනවා. දැන් මේ යෝජනාව සම්බන්ධව කථා කරද්දී කියවුනා ව්‍යාපාරිකයෝ කඩොල් කපලා තියෙනවා කියලා. මම ආයේ හංගන්න කරන්නේ නැතිව කියන්නම් මේ ව්‍යාපාරිකයෝ කියපුවාහම ගුරුගේ මැතිතුමාගේ නමත් සඳහන් වෙනවා. ඇත්තම කියනවා නම් ගුරුගේ මහත්තයා තමයි මේ දුපතක කඩොල් කැපුවේ.

මේ කටයුතු කෙරෙහි නගර සභාව මැදිහත් විය යුතුයි. මේවායේ මැද්දට ඩෝසර් බස්සලා මේ විනාශය නතර කීරීමට නගර සභාවට වගකීමක් තියෙනවා. කලකිරීමෙන් යුතුව ඉල්ලා සිටිනවා, මේ අති සංවේදී පරිසරය සහ ඒ ආශ්‍රිතව ජීවත්වන මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගන්න මේ නගර සභාවේ දැඩි අවධානය යොමු කරන්න කියලා.

විපක්ෂ නාගරික මංත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා .

කලපුව සුරැකිමේ පැරණිම සංවිධානයක එක් සමාජිකයෙක් තමයි මමත්. ඒ සංවිධානයට කිව්වේ කලපුව සුරැකිමේ සංවිධානය කියලා. එකේ හිටපු එක සමාජිකයෙක් තමයි ගරු නගරාධිපතිතුමාගේ අය්යා මා. ජයවීර මහත්තයා. ඒක නිසා ගරු නගරාධිපතිතුමෙනී ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ කලපුව ආරක්ෂා කරන්න. අද වෙද්දී මේ කලපුවේ එදා හිටපු මසුන් වර්ග ගනනාවක්ම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා.ඒක නිසා මේ කලපුව සහ කඩොලාන බිම් අපි අරක්ෂා කල යුතුයි.

ආන්ඩු පක්ෂ නාගරික මංත්‍රි සේපාල මොරවක මහතා .-

මේ ප්‍රශ්නය ගැන අපි හැමදාමත් මෙතැන සාකච්ජා කරනවා. දැන් විපක්ෂයට එල්ලෙන්න දෙයක් නැති වුනාම ඇදලා ගත්තේ මේ කලපු ප්‍රශ්නයයි. දැන් ඔවුන් බලනවා ඒකේන් හරි එල්ලිලා ගොඩ යන ක්‍රමයක්. මේ කලපුව රැකිමේ කාර්්‍යය නගර සභාවට පමනක් කරන්න හැකි දෙයක් නෙමෙයි. ඒ සදහා තියෙනවා වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවක් ඒ ආයතන සමඟ එනකුව ජනතාව තමයි මේකේදී මුලිකත්වය ගන්න ඕනේ. මේ ප්‍රශ්නයේදී ජනතාව තමයි පෙර ට ආ යුත්තේ.

ආන්ඩු පක්ෂ නාගරික මංත්‍රි ෂෙල්ටන් බෝතලගේ මහතා .-

නගර සභාවට කිසිම දෙයක් කරන්න බැහැ . මේ ප්‍රශ්නයේදී මැදිහත්ව කටයුතු කරන්න ඕනේ ගමේ තියෙන කලපු සංවර්ධන කම්ටු සංවිධාන. දැන් කඩොලාන වල අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ඒවාගේම වෙරළ සංරක්ෂන දෙපාර්තුමේන්තුවටත් යම් වගකීමක් තියෙනවා මේ සම්බන්ධව. එහෙම නැතිව නගරාධිපතිතුමා ඇතුළු නගර සභාවට මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීමක් ගන්න බැහැ කියලයි මම කියන්නේ.

විපක්ෂ නාගරික මංත්‍රි දොස්තර හෙන්රි රොසාරියෝ මහතා .-

කලපුවට මේ වාගේ තත්වයක් අත්වෙලා තියෙන්නේ මහා නගර සභාව විසින් ගත්තු යම් තීරණ සහ අනුගමනය කල ක්‍රියා පිලිවෙල නිසයි කියලයි මම කියන්නේ.

නිදසුනක් ලෙස ගත්තොත් නගර සභාවෙන් අනුමැතියක් ලබා දුන්නා හැමිල්ටන් ඇලේ බෝට්ටු ප්‍රවාහනයට. නමුත් අද ඒ බෝට්ටු යන්නේ හැමිල්ටන් ඇලේ නෙමෙයි කලපුවේයි. එහෙම කලපුවේ බෝට්ටු යන්න පටන් ගත්තු නිසා යම් නීත්‍යානුකූල අවසරයක් ඇති විදිහට ඔය කලපුවේ කඩොල් කපන්න වාගේ ක්‍රියාවන් කරන්න පටන් ගත්තා එලිපිටම. නගර සභාව ලබා දීලා තියෙන ඒ නීත්‍යානුකූල අවසරය මත මිනිස්සුත් භය වෙලා ඉන්නේ ඒ ගැන කතා කරන්නත්. මිනිස්සු හිතන්නේ දේශපාලන බලවේගත් එක්ක තමයි මේ වැඩ කරන්නේ කියලා, ඒක නිසා මිනිස්සු භය වෙලායි ඉන්නේ. මහා නගර සභාවේ අපිට වගකීමක් නැහැ කියලා සියයට සියක් මේකෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ අපිට. මේ ළගකදී ඉඳලා මේ අනීතික ක්‍රියා එලිපිට කරන තත්වයට පත්වෙලා තියෙන්නේ මා කිව්ව මේ කරුණු නිසයි කියලයි මම හිතන්නේ. ඒක නිසා නගර සභාවේ තියෙන ඒ පරිසර කම්ටු නැවත ඇති කරලා මේ කලපුව සහ කඩොලාන ආරක්ෂා කරන්න කටයුතු කරමුයි කියා ඉල්ලා සිටිනවා.

නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා .-

මේ සභාවේ ඉන්න පක්ෂ විපක්ෂ මංත්‍රිවරු 26 දෙනාගෙන් මම තමයි මේ කලපුව ආරක්ෂා කර ගන්න ඕන කියන උවමනාව වැඩිම තියෙන කෙනා. මොකද මේ කලපුව තුලින් තමයි අපේ මව්පියන් අපිව පෝෂනය කලේ. ඒ නිසා මේ කලපුව රැක ගන්න විශාල උවමනාවක් ඕනකමක් මටත් තියෙනවා.

හැබැයි ඔය එක එක දේට කෑගහන කිසිම කෙනෙක් මේ වෙනකම් ඔය කලපුව විනාශ කරපු කිසිම කෙනෙක්ව උසාවියට අරගෙන යන්න බැරිව ගියා . මම පමනයි මේ වෙද්දී කලපුවට අගතියක් කල තුන් දෙනෙකුව මම උසාවියට අරගෙන ගියා.

දැන් මේ සභාව තුල ගුරුගේ මහත්තයා ගැන කථා බහට ලක් වුනා. ගුරුගේ මහත්තයා එයාගේ ව්‍යාපාර කරන්න ගිහින් ධීවරයෝ එක්ක ප්‍රශ්ණයක් ඇති කර ගත්තා. හැබැයි ගුරුගේ මහත්තයාට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට කලපුවේ බෝට්ටු ධාවනය කරන්න පුළුවන්. ඔහු කඩොලාන කපන්න ගියා කියලා , අපි ඒ ප්‍රශ්නයට සම්බන්ධ නැති බව පැවසිය යුතුයි. ව්‍යාපාරිකයෝ නෙමෙයි මේ කඩොලාන කපලා මේ කලපුව ගොඩ කරන වැඩ වලට වැඩිය සම්බන්ධ වෙන්නේ.

මම මේ වෙනකොට උසාවි අරං ගිය තුන් දෙනාම ව්‍යාපාරිකයෝ නෙමෙයි. සමාන්‍ය ජනතාව. ඒක නිසා ව්‍යාපාරිකයන්ට වඩා අද වෙද්දී මේ කලපුව විනාශ කරන්නේ වැඩිමනක්ම ජනතාවයි .

අද මේ වෙද්දී කලපුවේ මසුන් මිය යනවා. ඒවාගේම සමහර මසුන් වද වෙලා. ඒක ඇත්ත. මොකද එදා මේ කලපුවේ මසුන් ඇල්ලූවේ ඔරු මගින්. නමුත් අද මෝටර් බෝට්ටු වලින් මසුන් අල්ලන්නේ . මේ බෝට්ටු වලට දාන දැඩි තෙල් වලින් තමයි බොහෝ ප්‍රමානයක් මසුන් මිය යන්නේ, ඒත් එක්කම වද වෙන්නේ. මහාචාර්්‍යය ජයම්පති සමරකෝන් මහතා මේ කලපුව ගැන විශාල පරීක්ෂයක් කලා. ඒ පරීක්ෂනයේදී මේ කලපුවේ පතුල දක්වාම විඩියෝ ගත කරලා තිබුනා. මම ඒ සම්බන්ධව දන්නේ මම ඒ මහාචාර්්‍යවරයාව හදුනන නිසයි. එම පරීක්ෂනය අනුව ඒ මහාචාර්්‍යවරයා පවසනවා මේ කලපු පතුලේ සිට අඩියක පමන අසුචී තට්ටුවක් තැන්පත් වෙලා තියෙනවා කියලා. එවැනි තත්වයක් ඇති කරන්නේ සමාන්‍ය ජනතාවමයි. කලපුව ආරක්ෂා කරන්න වෙරළ සංරක්ෂන අධිකාරිය වෙනම වැඩිපිලිවෙලක් මේ වෙද්දී කරගෙන යනවා. කලපු රක්ෂිතය මීටර් 30 ක් තියෙන්න ඕනේ. අපේ නිලධාරීන් කවදාවත් කලපු රක්ෂිතය තුල හදන්න යන ගොඩනැගිලි වලට අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ඔය ජෙට් වින්ග් ලෑගූන් සහ අමායා ලැගූන් වැන්ි හෝටල් කවදාවත් කලපුව වීනාශ කරන්නේවත් කඩොලාන කපන්නේ වත් නැහැ. මොකද ඒවා බලන්න තමයි දැන් සංචාරකයෝ මෙහාට එන්නේ. ඒ ස්වාභාවික පරිසරය නරඹන්න තමයි මෙහාට එන වැඩිමනක් සංචාරකයෝ එන්නේ. ඒ හෝටල් කවදාවත් මේ ස්වභාවික පරිසරය විනාශ කරන්නේ නැහැ. ඒක නිසා අපි කලපුව විනාශ කරනාවාට හැමදාමත් විරුද්ධයි කියන දේ ප්‍රකාශ කරනවා.

වැඩ බලන විපක්ෂනායක කැලිසන් ජයකොඩි මහතා .-

මගේ පිලිතුරු කථාවේදී වැඩිදුර විස්තර කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආන්ඩු පක්ෂයේ දයාල් නිලංග මන්තීතුමා කිව්වා වාගේ යම් දේශපාලන වාසියක් ලබාගන්න හෝ කථා කරන්න වෙනත් දෙයක් නොමැති නිසා හෝ නෙමෙයි මේ යෝජනාව ගෙන ආවේ. කලපුව රැක ගත යුතුයි කියන අදහසින් පුර්ණ සද් භාවයෙන් තමයි අපි මේ යෝජනාව ගෙන ආවේ.

දයාල් නිලංග මංත්‍රිතුමා කිව්වා අපේ පක්ෂයේ හිටපු නාගරික මංතී්‍රවරයෙක් ඔහුට පරිදිනවාට භයේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වුනේ නැහැ කියලා. එතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවුනේ තවත් තරුණ අපේක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙන්න මිසක් දයාල් නිලංග මංත්‍රිතුමාට භයේ නම් නෙමෙයි. මම දන්න විදිහට ඒ මංත්‍රිතුමා ඉදිරිපත් වුන තුන් වතාවකදීම දයාල් නිලංග මංතී්‍රතුමාව නම් ඡන්දෙන් පරාද කලා. සේපාල මොරවක මංත්‍රිතුමා ප්‍රකාශ කලා කලපුව සම්බන්ධයෙන් මේ නගර සභාවට වගකීමක් නැහැ කියලා. ඒලෙස ප්‍රකාශ කරන එක වැරදියි. මේ කලපුව සම්බන්ධයෙන් නගර සභාව විදිහට අපිටත් යම් අයිතියක් තියෙනවා. ඒ වගකීමෙන් මිදෙන්න අපිට බැහැ. ඒක නිසා මේ කලපුව රැක ගන්න නගර සභාව හැටියට අපි ක්‍රියා කල යුතුයි, ඒ සදහා මෙම පරිසර කම්ටුව යලි ඇති කල යුතුයි කියා පවසනවා. මම මේ යෝජනාව එදා සිට අද දක්වා යන වැකිය යොදා යලි ඉදිරිපත් කරනවා. (එම යෝජනාව සංශෝධන සහිතව නැවත මහා සභාවට ඉදිරිපත් කරයි. )

මෙම යෝජනාව සභාවේ පක්ෂ විපක්ෂ මංතී්‍රවරුන් ඒකමතිකව සම්මත කර ගත්හ.