“දරුවන්ට මව්කිරි දුන්නම මොන දෙවියන්ද තරහ ගන්නේ?”

0
165

mom1නිරූපිකාවක් බිළිඳකුට මව්කිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් කේරළයේ සඟරාවක පිට කවරයෙහි පළ කරනු ලැබීම මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලයේ මත ගැටුමක් ආරම්භ වී ඇත.

කේරළයේ ප්‍රකාශයට පත් කෙරෙන ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) නම් සඟරාවේ පිට කවරය සඳහා ගිලු ජෝසෆ් (Gilu Joseph) නම් නිරූපිකාව බිළිඳකු සිය පපුවට තුරුල් කර ගනිමින් මව්කිරි දෙන අභිනයෙන් කැමරාව ඉදිරියේ පෙනී සිටියාය.

“කේරළයේ මව්වරුන් බියවිය යුතු නැහැ.දරුවන්ට මව්කිරි දීමට අපි සූදානම්!” යන තේරුම දෙන උධෘත පාඨයක් ද එම පිංතූරයට ඉහළින් දැක්වෙයි.

කාන්තාවක් විවෘත මට්ටමින් තනකිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දියානු සඟරාවක පිට කවරයේ පළ කරන ලද පළමු අවස්ථාව මෙය යයි සැලකෙයි.

එහෙත් ගිලු ජෝසෆ් (Gilu Joseph) තවමත් මව් පදවිය ලබා නැති බව පවසමින් එම පිංතූරය මුල්කර ගෙන ඉන්දීය සමාජය තුළ අසහනකාරී උණුසුම් විවාදයක් ආරම්භ වී ඇත.

එවැනි පිංතූරයක් පළ කරනු ලැබීම මගින් බලාපොරොත්තු වුණේ ප්‍රසිද්ධ ස්ථානවල දී වුවද දරුවන්ට මව්කිරි දීම සඳහා මව්වරුන් දිරි ගැන්වීම යයි ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) සඟරාවේ කතුවරිය පවසන්නීය.

මෙම සිද්ධියට පෙර වෙනත් ඉන්දියානු ජාතිකයෙක් ‘ප්‍රසිද්ධ ස්ථානයක වුවද මවුකිරි දීම සඳහා කාන්තාවන් දිරි ගැන්වීමේ අරමුණෙන්’ තම බිරිඳ දරුවාට තනකිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අතර එයත් දැඩි සමාජ කතිකාවකට හේතු විය.
momo2

එම පිංතූරය පළ කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම කාන්තාව මෙන්ම ඇයගේ සැමියාත් ‘සයිබර්’ අවකාශයේ වාර්තා වෙන හිරිහැර ආදියට පවා ලක්වී ඇතැයි ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) සඟරාවේ කතුවරිය වන මොන්සි ජෝසෆ් (Moncy Joseph ) බීබීසියේ අෂ්රෆ් පදන්නා (Ashraf Padanna) සමඟ සඳහන් කළාය.

“අපි අපේ සඟරාවේ මෙම කලාපය මව්කිරි දෙන කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළේ එම පසුබිම සැලකිල්ලට ගනිමින්” මොන්සි ජෝසෆ් (Moncy Joseph ) පවසන්නීය.

ඉන්දියානු කාන්තාවන් බහුතරයක සාම්ප්‍රදායික ඇඳුම වන සාරිය අඳින කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානයන්හි දී දරුවන්ට තනකිරි පෙවීමේ දී සාරි පොටකින් සිය පපුව ආවරණය කර ගත හැකි නමුත් සාරිය නොඅඳින මව්වරු එම කාර්යයේ දී එක්තරා දුෂ්කර තත්වයකට පත් වෙති.

බිළිඳු දරුවන්ගේ පළමු මාස හය ඇතුළත මව්කිරි පෙවීම ඉතාම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එවැනි තේරුම් ගැනීමක් යටතේ සමාජ මාධ්‍ය ජාලයේ විවාදයට එක් වී සිටින බොහෝ දෙනෙක් ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) සඟරාවට සහ ගිලු ජෝසෆ් (Gilu Joseph) නිරූපිකාවට සහයෝගය පළ කෙරෙන ප්‍රකාශන පළ කොට ඇත….

එහෙත් ඒ අතරම ඊට එරෙහි විවේචනාත්මක ව්‍යාපාරයක් ද පෙරට යමින් පවතී.

ගිලු ජෝසෆ් (Gilu Joseph) සැබෑ මවක් නොව හුදු නිරූපිකාවක් වන බව ඔවුන්ගේ තර්කය වෙයි.

“එම පිංතූරය පළ කරනු ලැබීම ලාභ මට්ටමින් හැඟීම් ඇවිස්සීමක් මෙන්ම අනිසි වාසි ලබා ගැනීමක්” වන බව ‘බ්ලොග්’ සටහනක් තබන අන්ජනා නායර් පවසන්නීය.

එහෙත් එවැනි පිටකවරයක් සඳහා පෙනී සිටීම ගිලු ජෝසෆ් (Gilu Joseph) විසින් යුක්ති සහගත කරනු ලැබ ඇත.

“මම ගොඩාක් විවේචන බලාපොරොත්තු වුනා. මම සතුටින් ඒ තීරණය ගත්තේ – නිදහස් හැඟීමෙන් සහ සාඩම්බරයෙන් මව්කිරි දීම අවශ්‍ය කරන සියලු මව්වරුන්ගේ නාමයෙන්” ඇය බීබීසියට ප්‍රකාශ කළාය.

“දරුවන්ට මව්කිරි දුන්නම මොන දෙවියන්ද තරහ ගන්නේ?” ගිලු ජෝසෆ්(Gilu Joseph) තවත් සඟරාවකට අදහස් දක්වමින් ප්‍රශ්න කරන්නීය.

කේරලයේ අතිශයින් ජනප්‍රිය ලේඛකයකු වන පෝල් ෂචරියා (Paul Zachariah) විසින් ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) පිටකවරය විග්‍රහ කරන්නේ ‘ඉදිරි පිම්මක්’ හැටියටය.

ප්‍රසිද්ධ ස්ථානවල මව්කිරි දීම සුදුසුද ? යන්න ලොවපුරා සංවාදයට ලක්වෙමින් පවතින මාතෘකාවකි.
….mom3

ඒ සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ සිදු කර ඇති සමීක්ෂණයක් අනුව, ඊට සහභාගී වූ පළමු වතාවට මව් පදවිය ලද කාන්තාවන්ගෙන් හතරෙන් තුනක් ම ප්‍රසිද්ධ ස්ථානයන්හි මව්කිරිදීම අපහසු කාර්යයක් වන බව පවසා ඇත.

පසුගිය වසරේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මව්කිරි දීම අතින් ලෝකයේ පහළම ස්ථානයේ සිටියේ එක්සත් රාජධානියයි.

එම සමීක්ෂණය අනුව එක්සත් රාජධානියේ මව්කිරි දීමේ අනුපාතය කාන්තාවන් දෙසීයකට එක් මවක් පමණක් විය.

ලැබී ඇති දත්ත තොරතුරු අනුව ජර්මනියේ 23% ක්ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ 27% ක්ද, බ්‍රසීලයේ 56% ක්ද මව්වරුන් දරුවන්ට තම කිරි පොවන අතර සෙනෙගාලයේ මව්වරුන්ගෙන් 99% ක්ම තන කිරෙන් සිය දරුවන් පෝෂණය කරති.

.mom4
උපුටා ගැනීම/ BBC Sinhala news