මේ බුදුබව පතා දාන පාරමිතා පුරන්නෙකු නොව, ගස් සමඟ පොරබඳිමින් ජීවන අරගලයේ යෙදෙන සාමාන්‍ය මිනිසෙකි.

0
183

DSC_0854(1)

මෙහි පළවන  කතාවේ  ප්‍රධාන චරිතය   අපට  මහා ආදර්ශයක් සපයන  පුද්ගලයෙකි.  බොහෝ විට පොත් වල සහ ඉතිහාසයේ   ඇති  කතා අප දන්නා පරිදි ලෝකයේ ශ්‍රේෂඨ මිනිසුන්ගේ ජීවිත වල  පසුබිම ඉතාම කටුකය, දුක්කදෝමනස්සයන්ගෙන් පිරි ගිරිදුර්ගයකි. එබැවින්  ඔහුගේ කතාවට  පාදකවන   සිදුවීමක්   සඳහන්  කිරීම  වැදගත්යැයි  කල්පනා  කළෙමු.  එය  මෙසේය  .එක්තරා  කාන්තාවක්  මසක්  වයසැති  බිළි‍ෙඳෙක්   බෝක්කුවක්   අසල  දමා  යයි.   තවත්  කාන්තාවක්  එම  බිළිඳා  රැගෙන  ගොස්  දරුකමට  හදා  ගත්තේ  තමන්ට  දරුවෙකු නොසිටි  හෙයිනි. මෙය  සත්‍ය සිදුවීමකි.  මෙවැනි  සිදුවීම්  මේ   සමාජයේ  ඔනෑ  තරම්  සිදුවන  බව අපි  දනිමු.

අපේ  කථාව  මීට  වඩා  වෙනස්  එකකි.  නමුත් ඉහතකී  සිදුවීම  මේ  කථාවට සම්බන්ධය. සිදුවීමට   අදාල  පුද්ගලයා  පසුගිය  25 දා  අපට  මුණ ගැසින.  ඔහු  හමුවන්නේ  මීගමුව  ,  පෙරියමුල්ලේ  පාතිමා පාරේ  ජූඩ්  මහතාගේ  නිවස  අසල කපා ඉවත්කිරීමට  අපහසු  අඹ ගසක්  කපමින්  සිටියදීය. ඔහු නමින්  ඇන්ටනි  මාකස්ය.   මෙම  අදහස්  බෙදාගැනීමට  ඔහුගේ වැඩි  කැමැත්තක්  නොතිබුනු  නමුත්  පැහැදිළි  කිරීමකින්  පසුව   මේ සඳහා  එකඟතාවයකට  පැමිණින.   අප  ඉහතින්  සඳහන්  කරන ලද්දේ  ඔහුගේ  ජීවිතයේ  ආරම්භය  පිළිබඳවයි. ඹහුව  හදා වඩා  ගන්නේ   මාළු  වෙළෙන්දෙකි.  ඉහත  සඳහන්  කළ  මසක්  වයසැති  බිළිඳා    නැතහොත්  ඇන්ටනි  මාකස්   මුණගැසෙන්නේ   මේ  මාළු  වෙළෙන්දාගේ   බිරිඳටයි.  ඇය  දරුකමට  හදාගත්  දරුවා  අද   වයස  අවුරුදු  59ක්  පමණ වන  වෘත්තියෙන්   ගස්  කපන්නෙකි.

කථාවේ   මීලඟ  කොටස  මෙසේය.

මේ  ගස්  කපන්නා  දිනක්  මීගමුව  පීටර්  මෙන්ඩිස්  මාවතේ  පොල්  ගසක්  කපමින්  සිටින  විට  ඒ  අසල  ගෙයක  සෙනඟ  පිරී  සිටිනු  දැක  ගස  කපා  අවසන් වූ  පසු   මෙසේ  සෙනඟ  සිටීමට  හේතුව  කුමක් දැයි  විමසයි. එවිට  එහි  ගෙහිමියා  පවසන්නේ  තමාගේ  බිරිඳ ගේ  වකුගඩු  දෙකම  නරක්වී  ඇති  නිසා  ඇය  මරණාසන්නව  සිටින  බවයි.  එවිට  ගස්  කපන්නා  තමාගේ  වකුගඩුව  ගැලපේ  නම්  ඇයට  දෙන්නට  කැමති  බව  පවසන ලදී.  එවිට  ගෙහිමියා  කීවේ  අපි  ඔයාව  දන්නෙත්  නෑ.  ඔයා  මේ  සඳහා  කීයක්  බලාපොරොත්තු  වෙනවද  කියාය. එවිට  ගස්කපන්නා  නොහොත්  ඇන්ටනි   කීවේ  තම  ශරීරයේ  පාට්ස්   විකුණන්නේ  නැති බවය.  ගෙහිමියන්ට  මේ  පුද්ගලයා  ගැන  තවමත්  සැකය.  නමුත්  ලෙඩාගේ ජීවිතය  බේරාගැනීමේ  අවශ්‍යතාවය  ඊට වැඩිය.

මෙහි  ඉදිරි පියවර  ගැන ඔහු  විස්තර  කළේ  මෙසේය.

කොහොම වුනත්   මම  මීගමුවේ  ඇන්ඩ්‍රසන්  පාරේ  සිටි  සුන්දර ලිංගම්  දොස්තර  මහත්තයව    හම්බවුනා. ඔහු  කිව්ව  ලේ  පරීක්ෂාවක්  කරන් ඕනෙ  කියල. ඒ  අනුව  ලේ  පරීක්ෂාවක්  කළා.  ඒක  ගැලපුනා.  මම  ඒගැන  දෙස්තර  මහතාගෙන්  විස්තර  ඇහුව.  දොස්තර  මහතා  කිව්ව  වකුගඩුව  දීම  හොඳයි  ඒවුනත්    කාලයක්  යනකන්  ගස්  කපන්න  බැරිවෙයි  කියල.  කරන්න  තියෙන   පරීක්ෂණ  සේරම  කරා. පරීක්ෂණ  49කින්     පස්සෙ  මම  නිරෝගී  කියල දැනගත්ත. පරීක්ෂණ  කරපු  දොස්තර  මහත්තය ඒ අයට  කිව්ව  මට දෙන  සල්ලි  මෙයාට  දෙන්න කියල. .  ඔපරේෂන්  එක  කළේ පේරාදෙනියේ .  ඒ දොස්තර  මහත්තය  එංගලන්තයේ  එක්කෙනෙක්.

මේසඳහා  සූදානම්වන විට  ඇන්ටනි  සිනාමුසු  මුහුණින්  සිටිනු  දුටු  දොස්තර  මහතුන්  වෙන අය  බයෙන්  ඉන්න  අවස්ථාවක  ඔයා  සිනහවෙන්නෙ  ඇයි  කියා  අසයි.  මම  මේවට  බයනෑ  කියා  ඇන්ටනි  පිළිතුරු  දෙයි. වකුගඩුව   දීමෙන්  පසු   දින  කිහිපයකින්   ඇන්ටනි හට  සැහැල්ලු  රැකියාවක්  ලැබින.  එහි  ඔහුට  බර වැඩක්  නොතිබින.  නමුත්  ටික දිනකින්   අසනීප වී  දෙපා  ඉදිමුනු  හෙයින්  නැවත  දොස්තර  මහතා  හමුවිය.   එවිට  දොස්තර  මහතා  කීවේ  නැවත  ගස්කපන  රස්සාව  කරන්න  කියාය. මේ  අනුව  ඔහුට  උපදෙස්  ලැබුනේ  සිරුර  වෙහෙසා  වැඩ  කළ යුතුය  කියාය.  ඒ නිසා   නැවත  ගස්කපන  රස්සාව  කරයි.  ඔහු  කිසි  බියක්  නොදක්වා  තුරු  මුදුන්වල  අතුරිකිලි  වල  පවා  ගමන්  කරමින්  ඉතා  දක්ෂ  අන්දමින්  මේ  භයානක  වෘතතියේ  යෙදෙන්නේ   තම  රෝගී  බවද  අමතක  කරමින්ය. වකුගඩුවක්  දුන්නද  ඔහු  තවමත්  ශක්තිමත්ව  ජීවන  අරගලයද  කරමින්  සතුටින්   කාලය ගතකරයි.

ඔයා   වකුගඩුව  දුන්න  ඒ කාන්තාව  මුණගැහෙන්න   ගියෙ නැද්ද? 

නෑ.  මම  යන්නෙ නෑ. එක දවසක්    එහෙම  ගියා.   එහෙම  ගියහම  මේ  අය   අනික්  අයට  කියනව  මේ  ඉන්නෙ  එයාගෙ  බිරිඳගෙ  ජීවිතේ  බේරපු  කෙනා  කියල.  එතකොට  ඒ  කට්ටිය  මගෙන්  එක එක  ඒව  අහනව.  මම  ඒකට  කැමති නෑ.  එක දවසක්  එක්කෙනෙක්  මට  රු.  5000/  ක්  දීල  ගියා.  ඒ  මේ  ගැන  කාගෙන්ද  අහල  දැනගෙන.  ආගම  ගැන  ඇසූවිට  ඔහු  කීවේ  තමන්  කතෝලිකයෙකු  බවය.  නමුත්  ඔහු  සඳහන්  කළේ   තමන්  ගෙදර දී  ආගම  අදහන  නිසා  දෙවියන්  ළඟට  යායුතුම  නැති  බවත්,   එසේ  යන  අයගේ  හැසිරීම්  ගැන  තමන්ගේ  කැමැත්තක්  නැති බවය.

නමුත්   ඉහත  සිදුවීම  ගැන  සිතට  නැගෙන  හැඟීම    තුළ  මෙම  මිනිස්  ජීවියා  කුමන  වර්ගයේ   එකෙක්දැයි   වචනවලට නැගිය  නොහැක. කුඩා  කල  කසල ගොඩක  සිට  හව්හරණක්  නැති  කාත් කව්රුත් නැති  දුකින්  පිරුණු  දිවියකට උරුම කම්  කියනලද   මේ  මිනිසා මෙවැනි  තීරණයක්  ගැනීමට  පොළඹාලූ  සාධකය  ඔහුගේ  එකී  ජීවිතයද?   අවස්ථා  කිහිපයකදී  අපි  වකුගඩු   නරක්වී  ගිය  අපේ  ලබැඳියන්ට   එම  අවයවය  සොයා  වෙහෙසී  අත්දැකීම්  ලබා ඇති  අයවෙමු.  එසේ  සොයා  වෙහෙසුනු   නමුත්  වැඩි  වයසකින්  තොරව  මරණය  තෝරා  ගැනීමට   සිදුවූවන්  අද  අප  අතරින්  සමුගෙන  ගොස්  බොහෝ  කල්ය.  මේ  අතර  වකුගඩු  ජාවාරම  කියා  තිරශ්චීන  වැඩසටහනකුත්  මේ  පොළව මත  සිදුවන බව  අපි  දනිමු.  සියල්ල  මුදල්මත  තීරණය  වන  ලෝකයක  “  මගේ  සිරුරේ  පාට්ස්   විකුණන්නෙනෑ “  කියමින්  තමන්ගේ  අභ්‍යන්තර  අවයවයක්  තමන්  කිසේත්ම  නොදන්නා  අයෙකුට මෙසේ  හොර රහසේම    ලබාදීම   කුමන  පරිත්‍යාගයක්දැයි  අප  නොදනිමු.  එසේම  මේ  සඳහා  ඔහුට  කළ යුතු  ස්තුතිය  කුමන  වර්ගයේ  එකක්දැයි  නොදන්නා  නමුත්  අපතුළ  පවත්නා  ඉහළම   ගරුකිරීම  හද  පතුලෙන්ම  ප්‍රධානය  කරන්නෙමු.


සටහන- සැම්සන් ඥානසිරි