මේක දේශපාලන සෙල්ලමක් බවට පත් කරන්න බෑ ! ආචාර්ය ජෙහාන් පෙරේරා

0
200
 

පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පිරුණු දින ඊයේ (මැයි 21) දින පස්වරු‍වේ දී ‍කොළඹ කාදිරගාමර් මධ්‍යස්ථාන‍යේ දී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතු‍ව ‍මෙ‍හෙය වූ සම්මන්ත්‍රණ‍යේ දී, ජාතික සාම මණ්ඩල‍යේ විධායක අධ්‍යක්ෂ ‍ආචාර්ය ජෙහාන් ‍පෙ‍රේරා කළ කතාව –

“දැන් අපිට පේනවා අපේ රටේ තත්ත්වය ටිකක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ යනවා කියලා. මම අද උදේ මගේ දුවව ඉස්කෝලෙට ගෙනිච්චා. මම එතනදි දැක්කා සාමාන්‍ය තත්ත්වයක් ඇතිවෙන බව. තව අතකින් මේක පිටස්තර සාමාන්‍ය බවක් වෙන්න පුළුවන්. ඇත්තට අපි දන්නෙ නැහැ මොනවද හෙට වෙන්නෙ කියලා. අද වුණත් මොනවද වෙන්නෙ කියලා අපි දන්නෙ නැහැ. ඒ ගැන අපිට තොරතුරු නෑ. ඒ තොරතුරු දන්නෙ නැති නිසා යම්කිසි අවිනිශ්චිත භාවයක් තියෙන නිසා ඒකෙන් අපි තුළ බයක් ඇතිවෙනවා. අවිශ්වාසයක් තියෙන කොට, බයක් තියෙන කොට ඒකෙන් ලේසියෙන්ම වෛරයක් උපදවන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕනැ. දෙවනුවට ඒ වෛරය එක සමාජයක් කොන් කරන්නත් ඉඩ තියෙනවා. මම හිතනවිදිහට ඒක තමයි දැන් රටේ තියෙන අවදානම් තතත්වය. ඒකෙන් අපි එළියට එන්න ඕනැ.

මාධ්‍යටත් ලොකු කාර්යභාරයක් මෙතැන තියෙනවා. මම මාධ්‍ය බලනකොට මා තුළත් අදහසක් ඇති වුණා මේ මුස්ලිම් පල්ලි බොහොමයක කඩු තියෙන බව. මම හිතුවා මුස්ලිම් පල්ලි දහයක්, විස්සක්, පණහක සීයයක, හැම මුස්ලිම් පල්ලියකම කඩු තියෙනවා කියලා. මම ඊයෙ පෙරේදා දැක්කා මාධ්‍ය සාකච්ඡාවක, කඩු තියෙන්නේ මුස්ලිම් පල්ලි තුනක විතරක් කියලා. එකක තිබුණා මීටර 400ක් විතර ඈතින්. නමුත් මේ අදහස අපිට ඇවිල්ලා තියෙන්නේ මාධ්‍යයෙන්. මාධ්‍ය නිසා අපි තුළත් සැකයක් තියෙනවා, මුස්ලිම් මිනිස්සු ගාව කඩු තියෙනවා. මොනවද ඒකෙන් වෙන්නේ? ඒ බය ගතිය වෛරයට පරිවර්ථනය වෙනවා.

 

මම දන්නවා මගේ මිතුරන් මගේ ඥාතීන් කතා කරන විදිහ මේ ප්‍රශ්නය ගැන. ලොකු බයක්, සැකයක් තියෙනවා මුස්ලිම් ජනතාව ගැන. මේක ලොකු චැලේන්ජ් එකක්. අපේ ආමි කමාර්න්ඩර්,  එයත් පෙන්නලා දුන්නා කොහොමද මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන්නේ කියලා. ජනතාවට ලොකු වගකීමක් තියෙනවා, ජනතාව තුළ, අපි තුළ ඒ බය ගතිය ප්‍රවෘත්ති මගින් වර්ධණය නොකළ යුතුයි.

තව ප්‍රශ්නයක් මම දකිනවා, සමහරවිට අපි අපේ ජීවිත එක තැනක අපි නවත්වනවා. දැන් බලන්න මේ වයඹ පැවතුන කොලාහල කවුරුත් හිතනවා ඒක සංවිධානාත්මක දෙයක් කියලා, මොටර් සියිකල් හාරසීයක් විතර, මිනිස්සු දෙදාහක් තුන්දාහක් එක්රැස් වෙන්නේ නැහැ කවුරුහරි ඒක සංවිධානය නොකළා නම්. මේක ආණ්ඩුවේ වැරැද්ද. ඇයි ආණ්ඩුවේ වැරැද්ද? ඒ ගොල්ලන් මේ කෝලාහල ඉක්මනින් නැවැත්තුවේ නැහැ. ඇයි දවස් දෙකක් ගියේ මේ කෝලාහල නවත්වන්න. ඒ නිසා තව තත්ත්වයක් ඇති වෙනවා. මෙ කෝලාහල නිසා අපේ අවධානය දැන් කෝලාහල වලට. පාස්කු ඉරිදා වෙච්ච සිද්ධිය ගැන අපි දැන් එච්චර හිතන්නේ නැහැ. අපි හිතන්නේ මේ කෝලාහල ගැන. ඒකෙන් වාසිය ආණ්ඩුවට.

 

පාස්කු ඉරිදා බෝම්බ ගැසීම ආණ්ඩුවේ වැරැද්දක්. මම දකින විදිහට ආණ්ඩුවේ නායකයන්ට කියන්න බෑ අපි දැනගෙන හිටියේ නෑ මේ ගැන, ආණ්ඩුවේ නායකයන් පමණක් නොවෙයි, නැෂනල් සිකියුරිටි කවුන්සිල් (ජාතික ආරක්ෂක මණ්ඩලය) එක 2018 දී පත්වෙච්ච එකක්. ඒකාලේ තමයි ඩිෆෙන්ඩ් සෙකටරි (ආරක්ෂක ලේකම්) ව පත්කළේ. නැෂල් සිකියුරි කවුන්සිල් එක හුඟක් වෙනස්කම් කළේ ඒ දවස්වල. රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වුණාට පස්සේ එයාට ඒවා වෙනස් කරන්න බැරි වුණා. ඇයි එයාට බලය නෑ. ප්‍රසිඩන්ට්ට තමයි ඒකෙ බලය තියෙන්නේ මට හිතන්න අමාරුයි අපේ නායකයන් සියල්ලම මේ ගැන දැන ගෙන හිටියේ නෑ කියලා.

ඉන්දියාවෙන් ආපු රහස් තොරතුරු, අපේ ඉන්ටර්ලිජන්ස් (බුද්ධි අංශය) එකේ ඉහළ මට්ටමේ තිබිච්ච තොතුරු, හමුදාවේ පොලීසියේ තිබිච්ච තොරතුරු, මට විශ්වාස කරන්න බෑ, අපේ ඉහළ මට්ටමේ ඉන්න දේශපාලන නායකයන් දැනගෙන හිටියේ නෑ කියලා. මට හිතන්න මම හිතන්නේ පැහැදිලිවම ජනාධිපති දැනගන්න ඕනැ. අගමැතිට නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ ඉඩ දුන්නේ නෑ. නමුත්, රටේ අගමැති දෙවෙනි තැන ඉන්න පුද්ගලයා කවුරුහරි කියලා දැනගන්න ඕනෑ. ඒ වගේම විපක්ෂ නායකයා අපේ අගමැති, මාස හතරකට පෙර අපේ අගමැතිතුමා. එයා නොදැන ගන්න බෑ. අපේ හිටපු ආරක්ෂක ලේකම්, ඉනටර්ලිජන්ස් එක්ක සමීපයි. නමුත් ඒවා ගැන අපි එච්චර කතා කරන්නේ නැහැ.

විශේෂයෙන් අපි කතාකරන්නේ මේ කෝලාහල තිබිච්ච එක අපි දැන් දොස් කියනවා ආණ්ඩුවට ඉක්මනින් මේක නැවැත්තුවේ නැහැ කියලා. ඒ ගොල්ලන්ට මේක වාසියි. දැන් අපි ඔක්කොමලා කතා කරන්නේ ඒ ගැන. පාස්කු ඉරිදා වෙච්ච ලොකු විනාශය ගැන අපි එච්චර කතා කරන්නේ නැහැ. නමුත් අපි ඔක්කොමලා කියනවා මේක සංවිධානාත්මකයි කියලා. සංවිධානය කළා නම්, කවුද සංවිධානය කළේ?

දැන් අපි දන්නවා පොලීසිය හුඟක් දෙනෙක්ව ඇරස් කරලා තියෙනව. ඇරස් කරපු අය කොයි පක්ෂයට ද අයිති? කොයි පැත්තට ද අයිති? අපි දන්නවා පොහොට්ටුව පැත්තට. විපක්ෂයට. එහෙනම් කොතැනින්ද අණ දුන්නේ? මේකට ඉඩ දුන්නේ? ඒ පල්ලෙහා මට්ටමෙන් ද?  මම හිතනවා ඒවත් අහන්න ඕනැ. අපේ මාධ්‍යයට තියෙනවා ඒ වගකීම. අපිටත් තියෙනවා වගකීමක් ඒ ප්‍රශ්න අහන්න. මේක සෙල්ලමක් නෙමේ. අපේ අහිංසක ජනතාව මේකෙන් මැරෙනවා. දුක් විඳිනවා. මේක දේශපාලන සෙල්ලමක් බවට පත් කරන්න බෑ. අවාසනාවට අපිට විකල්පයක් ඇත්තෙත් නෑ.

අපේ රට අවුරුදු දෙදහස් පන්සීයක ශිෂ්ඨාචාරයක්. අපේ සමාජය තුළ ඇති ඒ ශිෂ්ඨාචාරය අවුරුදු දෙදහස් පන්සීයක් රැකගත්ත ඒ සංස්කෘතිය ඒ සංස්කෘතියේ උරුමක්කාරයන් ඇති අපේ සමාජයේ. ඒ ගොල්ල බලාපොරොත්තුවෙන් අපි අපේ යුතුකම් ඉෂ්ඨ කළ යුතුයි. අපි සත්‍ය කතා කළ යුතුයි. ඒ වගේම ‍වෛරය පතුරුවන්නේ නැතුව මේ ප්‍රශ්නය සියල්ල එක්ව, සිංහල දෙමළ මුස්ලිම් එක්ව අපි මේ ප්‍රශ්නයට ඉදිරිපත් වෙනවා. අපේ පුද්ගලික ජීවිතයේ, අපිට හරි දේ විතරයි අපිට කරන්න පුළුවන්. අපි හරි දේ කරන්න ඕනැ අපේ මට්ටමෙන්. අපි විශ්වාස කරන්න ඕනැ අපේ සංස්කෘතියේ ශක්තිය ඇති නායකත්වයක් මේ රටේ බිහිවෙන්න.”

ම‍නෝජ් රූපසිංහ