හදිසි පළාත් සභා ඡන්දයක් ? ජනාධිපති,ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !

0
127
පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු පැවසිය.

එහිදී පළාත් සභා සමාලෝචන වාර්තාවේ නීතිමය තත්වය හා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලයක් තිබේද යන කාරණය සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඊයේ (24) සම්මත කරගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක්දැයි ‘ද ලීඩර්’ කළ විමසීමේදී එම නිලධාරියා ඉහත කාරනා සඳහන් කළේය.

වාර්තාව අගමැතිගේ භාරයේ !

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම්ගේ සභාපතීත්වයෙන් පත් කරණ ලද සමාලෝචන කමිටුවක් විසින් සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්විය.

කෙසේවෙතත් ඉන්පසු කතානායක කරු ජයසුරිය විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දී තිබිණ. එසේ පළාත් සභා සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු සදහා කතානායකවරයා විසින් එම කමිටුවට ලබා දී තිබු  මාස 2 ක කාලය ඉකුත් වසරේ (2018) ඔක්තෝම්බර් 28 දායින් අවසන් වූ අතර එම වාර්තාව තවමත් ඒකී කමිටුව භාරයේ රදවා ගෙන තිබේ.

මැතිවරණ කොමිෂමේ ඉල්ලීම:

මේ වනවිට පළාත් සභා 8ක කාලය අවසන්ව ඇතත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකිවීම පිළිබද ආණ්ඩුවේ දැනුවත් කල්මැරීම තවදුරටත් අනාවරණය කරමින් පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යවමින් එම සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බව අවධාරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි ජනපතිට බලපෑම් !

සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ ලේකම්වරයා විමසා එහි වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, එය තමන් වෙත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින් ලැබී ඇති බලය හා වගකීම සලකා වහා ප්‍ර‍කාශයට පත් කර text1මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවස්ථාව උදාකරණ ලෙසත් ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මිට ඉහතදී ජනාධිපතිවරයා ගෙන් කිහිපවරක්ම ඉල්ලා තිබිණ.

එසේම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා බලාත්මක වන නීතිය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද ජනාධිපතිට යොමුකර ඇති ලිපියකින් අවධාරණය කර තිබේ.

”ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (33)ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම, තහවුරු කිරීම ගරු ජනාධිපතිතුමන්ගේ කාර්යයක් වන නිසා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට අවශ්‍ය උචිත වාතාවරණ සකස් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මේ වෙනුවෙන් ගතහැකි එකම ක්‍රියාමාර්ගය බව ද කාරුණිකව වාර්තා කර සිටිමි.” සුනන්දගේ ලිපියේ සඳහන් වේ.

එම ලිපියෙහි වැඩිදුරත් මෙසේද සඳහන්වේ

text2”1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබ ඇත. එකී සංශෝධන පනත ප්‍රකාරව පළාත්වල සීමා නීර්ණය සඳහා ”සීමානීර්ණ කමිටුවක්”පත් කළ යුතු වූ අතර එම සීමානීර්ණ කමිටුව 2017 ඔක්තෝබර් මස පත් කරනු ලැබූ අතර අදාළ වාර්තාව නියමිත කාලය වූ මාස හතරක කාලයක් තුළ 2018 පෙබරවාරි මස ලබා දී ඇත.

එම සීමානීර්ණය කොමිෂන් වාර්තාව නොපමාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත් එසේ කිරීම 2018 අගෝස්තු දක්වා ප්‍රමාද කර තිබේ. එසේ ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුව විසින් සම්මත නොකිරීම නිසා එකී පනතේ විධිවිධාන ප්‍රකාරව එම වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් කථානායකවරයා විසින් 2018 අගෝස්තු 28 දින පත් කරන ලදී.

එම සමාලෝචන කමිටුව මාස 02 ක් තුළ සමාලෝචන කටයුතු නිම කර අදාළ වාර්තාව ගරු ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුව තිබුණ ද කිසිම සමාලෝචනයක් සිදුකර නැති අතර කිසිදු ව්‍යවස්ථාවක් මෙතෙක් භාර දී නොමැති අතර ඒ පිළිබඳව තව දුරටත් ක්‍රියා කිරීමට ප්‍රතිපාදන සලසා නොමැත.

02.  මේ නිසා 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත ප්‍රකාරව පැරණි ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමට 2018 ඔක්තෝබර් මස 28 සහ දෙසැම්බර් මස 10 දක්වා කාලය තුළ පැවති ආණ්ඩුව විසින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගන්නා ලදී. එසේම ඔබතුමා විසින් ද 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත ප්‍රකාරව (පැරණි ක්‍රමයට) ඡන්ද විමසීම පවත්වන ලෙසට ඉල්ලීමක් කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත 2019 ජනවාරි මස 29 වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

03.  මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගරු අග්‍රාමාත්‍යවරයා, ගරු කථානායකවරයා, ගරු විපක්ෂ නායකවරයා හා පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් අමතමින් නිරන්තර ඉල්ලීම් කරනු ලැබූ අතර, ගරු අග්‍රාමාත්‍යවරයා හා ගරු කථානායකවරයා විසින් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගනු ලබන බව ප්‍රකාශ කරනු ලබුව ද මේ සඳහා ක්‍රියා කිරීමට පක්ෂ නායකයින්ගේ හෝ පාර්ලිමේන්තුවේ එකඟතාවක් නොපවතින බව කොමිෂන් සභාවට හැඟී යයි.

04. පළාත් සභා මහජන නියෝජිතයින්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන් විසින් පාලනය කිරීමේ දී එය පළාත් සභා මහජන නියෝජිත පාලනයක් ලෙස සැලකිය නොහැකි බව ” දිවි නැගුම” පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත.

එමෙන්ම පළාත්පාළන ඡන්ද විමසීම ප්‍රමාද කිරීම නිසා එම ඡන්ද විමසීම් පවත්වන ලෙසට නියම කරන ලෙසට අයදිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ SC/FR 35/2016 දරන මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවේදී මහජන නියෝජිතයින් නොමැතිව පළාත්පාලන ආයතන පාලනය කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදී. එබැවින් මහජන නියෝජිතයන්ගෙන් text3සමන්විත පළාත් සභා ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

05.  මෙම තත්වය තුළ ඉහත සඳහන් පරිදි 2017 අංක 17 දරන පනතේ ප්‍රතිපාදනවල දැක්වෙන සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති නිසා හා ඒ පිළිබඳව තව දුරටත් ක්‍රියා කිරීමට එකී පනතේ ප්‍රතිපාදන නොමැති නිසාත් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත තව දුරටත් බලාත්මක නොවන අතර, දැන් පවතින මෙම තත්වය යටතේ 2017 අංක 17 සංශෝධන පනත යටතේ ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු හැකියාවක් නොමැත.

06. එහෙයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (33)ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම, තහවුරු කිරීම ගරු ජනාධිපතිතුමන්ගේ කාර්යයක් වන නිසා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට අවශ්‍ය උචිත වාතාවරණ සකස් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මේ වෙනුවෙන් ගතහැකි එකම ක්‍රියාමාර්ගය බව ද කාරුණිකව වාර්තා කර සිටිමි.”

palath palana

theleader.lk