ගෝඨාගේ මාධ්‍ය වාරණය ගැන පොහොට්ටුව සමාව ඉල්ලයි

0
167

image_872f2fbcfa

පෙරේදා (24) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට ඊට ඉඩ ලබා නොදෙමින් ඔවුන්ව අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙසේ තමන්ගේ සමුළුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා නොදුන්නේ කවුද යන්න පිළිබඳව තමනුත් නොදන්නා බව පැවසූ ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ඒ ගැන නිදහසට කාරණා නොකියන බවත් එහි වගකීම භාරගන්නා බවත් ප්‍රකාශ කළේය.

“මම තමුන්නාන්සෙලාට කණගාටුව ප්‍රකාශ කරනවා තරුණ සමුළුව අවස්ථාවේදී මාධ්‍ය ආයතන වගේම මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවකට පත්වුණා. එය සම්බන්ධීකරණයේ ඇතිවෙච්ච දුර්වලතාවයක් නිසා ඇති වෙච්ච තත්වයක්. ඒ හින්දා අපි නිදහසට කරුණු කියන්නේ නැතිව නැවත වතාවක් තමුන්නාසෙලාට කණගාටුව ප්‍රකාශ කරනවා වගේම සියලු දෙනාටම සමාවෙන්න කියලා ඉල්ලනවා.

ඒක ඇතිකරපු කණ්ඩායම කවුද කියන කාරණාව සම්බන්ධයෙන් .. ඒ අඳුන්න කණ්ඩායමක් නෙවෙයි කියලා තමයි ඔවුන් ප්‍රකාශයට පත් කළේ. අපි තරුණ සමුළුව අවසාන වුණාට පස්සෙ මේ කරුණු දීර්ඝව සාකච්ඡා කළා. ඒ ගැන මං හිතනවා තව දින කීපයක් යද්දි සත්‍ය තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම සමුළුව ආවරණය කිරීමට තමන්ට අවස්ථාව ලැබී නොමැති බව නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම පවිත්‍රා වන්නිආරච්චි වැනි පොහොට්ටු දේශපාලනඥයින් වෙත මාධ්‍යවේදීන් දැනුම් දෙද්දීත් ඔවුන් එය ගණන් නොගෙන යන ආකාරයත් එදින දක්නට ලැබිණි.

ඒ අනුව තමනුත් නොදැන මෙවැන්නක් සිදුව ඇති බවත් මෙය කුමන්ත්‍රණයක් බවටත් හැඟවෙන පරිදි පොහොට්ටු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අමූලික බොරු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ඉදිරියට එවීමට ඇති අපහසුතාව නිසා මෙය සිදුව ඇති බවත් පැහැදිලිය.

අනෙක් අතට තමන්ගේ සමුළුව පැවැත්වෙන ශාලාවට පිටතින් කවුරුන් හෝ පැන මාධ්‍ය ආපසු හරවා යවා ඇත්නම් සහ සමුළුව අවසන් වනතුරුත් ඔවුන් එය නොදැන සිට ඇත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රටක් පාලනය කිරීමට තබා පෙට්ටි කඩයක් කිරීමටවත් සුදුසු පක්ෂයක් නොවන බව ද පෙනේ.

 

(www.lankanewsweb.net)