කාමච්චෝඩය සතිපොල තුළ මැසිවිලි නගමින් හිරවී ඇති විරෝධය

0
423

IMG-20190826-WA0006මීගමුව ,  කාමච්චෝඩය   බදාදා  සහ  ඉරිදා  යන  දිනයන්හි  පැවැත්වෙන  සතිපොල  ප්‍රශ්ණ  ගනනාවක්  මතුකරන   පොලක්  බව  නොදන්නා  කෙනෙක්  නැත. ජනතාව   මෙම   පොලට   එලවළු  සහ  පලතුරු  ඇතුළු  වෙනත්  ද්‍රව්‍ය  මිලදී  ගැනීමට  සතියකට  වතාවක්  පැමිණෙන්නේ   පහසු  මිලකට  එවැනි දෑ  ලබාගැනීමේ  බලාපොරොත්තුවෙනි.  නමුත්  සමහර  අවස්ථාවල  මෙකී  ද්‍රව්‍ය  වල  මිල  ඉහළ  යාම  නිසා  ඔවුන්  මැසිවිලි  නගති.   එසේම  අනෙක්  පැත්තෙන්  තමන්  රැගෙන ආ  බඩු  විකුණා  ගත  නොහැකිව  ලතවෙන  වෙළෙන්දෝ  ඒ නිසා  මැසිවිලි  නගති.

අප  මේ  ගැන  කිහිප  වතාවක්  ඔවුන්  සමඟ  සාකච්ඡා  කර  ඇත.   පොල   ගැන හොර රහසේ  විවිධ  අදහස්   ඉදිරිපත්  කරන  මේ  අය   ප්‍රසිද්ධියේ  කථාකිරීමට  බිය  පළකරති.     මෙම  තත්වය  ගැන අප  මීට  පෙරද  අපගේ   වෙබ්  අඩවිය  තුළ  මෙහි  ඇති  යථාස්වභාවය  පිළිබඳව  කරුණු  එළිදරව්කර  කර ඇත.  නමුත්  මොවුන්  ගේ  ප්‍රශ්ණ  වලට  පිළිතුරු  ලබාගත  නොහැක්කේ   මෙහි  පවතින  අසාධාරණයන්ට  එරෙහිව  වගකිවයුතු  කිසිවෙකුද  කිසිදු  කථාබහක්  නොකරන  බැවිනි.  නමුත්  ජීවත්වීම  උදෙසා  මෙහි  වෙළහෙළඳාම්  කරන   මිනිස්සු  ඉදිරිපත්  කරන  අදහස්  තුළින්  මෙහි  යථාර්ථය  නිතර  මතුකරති.

මේ  අනුව රාජාංගනයේ  සිට  මෙහි  එලවළු  රැගෙන එන  වික්‍රමසිංහ   සහ  වසන්ත  තම  අදහස්  පළකලේ  මෙසේය.

“අපි  එලවළු  ගන්නෙ  රාජාංගනය,  දඹුල්ල  යන  ප්‍රදේශවලින්.   රෑ  12.00ට  විතර  අපි ලොරියට  බඩු  පටවනව.  ලොරිකුලිය  විතරක් කෑල්ලකට  රු. 200/  ක්  වෙනව.  තෙල් සඳහා  වෙනම  මුදලක්  වැයවෙනවා.  පොලකාසි  විදිහට  කෑල්ලකට  රු. 200/  ගෙවනව.  මේ  සියල්ල  ගෙව්වට  පස්සේ  ඉතිරිය  තමයි  අපිට  ජීවත් වෙන්න  තියෙන්නෙ.  වට්ටක්ක,  වැටකොළු  වගේ  එලවළු   අසුර  ගන්න  හරිම  අපහසුයි,  සමහර  වෙලාවට    ඒ  ඇසුරුම්  කරන  පෙට්ටි   කැඩෙනව.  සෑහෙන  කට්ටක්  කාල  තමයි  මෙහෙට  එලවළු  ගේන්නෙ.”

“මම  පහුගිය  දවසක  කැරට්  ගෙනාවෙ කිලෝ  එක   රු. 70/ට  .    නමුත්  මට  මෙහෙදි  ඒව  විකුණන්න  සිද්ධවුනේ  රු.  50/ ක්  වගේ  මුදලකට.  නමුත්  ඒකෙනුත්  කැරට්  ප්‍රමාණයක්  ඉතුරුවුනා.   අන්තිමට  ඒවා  වීසි  කරන්නවුනා.  .  මෙතන  බඩුටික  දැම්මට  පස්ස  මේකෙ  කුලිය  ගන්න  අය  ඒක  ගන්නෙත්  බලෙන් වගේ . ඒව  කල්පනා කරනකොට   ජීවිතේ  ගැන  කලකිරෙනව.”

අල,  ළූනු  ආදිය  තබාගෙන  විකුණන  කෙනෙක්  දැඩි  කලකිරීමකින්  මෙසේ කියා  සිටියේය.

අපි  දන්න  තවත්  පොලවල්  ගත්තහම  මේ  පොලේ  තමයි  මේ  තරම්  මුදලක්  පොලකාසි  විදිහට  ගන්නෙ.   මගෙන්  ගන්නව  රු. 2000/ක්    වෙනත්  පොලවල්  වලදි  අපි  ගෙවන්නෙ   රු.  800/  ක්  1000/ ක්  වගේ  මුදලක්.  මේව  කථාකරල  වැඩක් නෑ.  අසාධාරණයක්  තමයි  සිද්ධ වෙන්නෙ.

තවත්  කාන්තාවක්  කතාකළේ  ඉතාමත්  ආවේගකාරීවය.

අපි  කාන්තාවො.  බලන්න  කාන්තාවො  කී  දෙනෙක්  මේ  පොලේ  බඩු  විකුණනවද  කියල.  ටොයිලට්  එකක්  නෑ. අපි  ටොයිලට්  යන්න  යන්න  ඕනෙ  එහා  කෙරවලටම .  පේනව  නේද  වැස්සකදී  අපි  විඳින  දුක.  පාරෙ  හැටි  පේනව නේද?  මේව  මෙහෙම  තියෙද්දි  අපෙන්  ගන්න  පොලකාසි  නම්  ගන්නව  හරි  වෙලාවට.  ඒව  ගන්නෙත්  බලෙන් වගේ  ඒගොල්ල  නියම කරන  ගාන.

කාමච්චෝඩය  පොලට  ඇස්  කන්  තිබේනම්  මේවා  අහල  සහ  දැකල  අදාල  වගකිව  යුත්තන්ට  දඬුවම්  ලබාදුන්නොත්   මිස  බලධාරීන්ගෙ    නම්  ඇස් කන්  ඇරෙන්නෙ  නැතිබව  පැහැදිළියි.   මේ  අසරණ  මිනිස්සු  මැරබලයට  යටවෙල  කිසි  හාවක් හූවක්  නැතිව  ඉල්ලන  ගාන  දෙනව  පොලකාසි  විදිහට.  ඒ  නිසා  අසාධාරණයට  එරෙහිව  පවතින  මේ  විරෝධය  පිටට  නොපෙනෙන  යට  කැකෑරෙන  එකක්.  ඒක  තියෙන්නෙ  බලෙන්  වතුරෙ  ඔබාගෙන  තියෙන  රබර් බෝලයක්   වගේ.  ඒ  නිසා  ඔය  අත බුරුල්   වූ  දිනෙක   රබර්  බෝලය  උඩට  මතුවන්නාසේ    මෙම  ජනතා  විරෝධය  මතු වේවි.

IMG-20190826-WA0007

IMG-20190826-WA0005

IMG-20190826-WA0004