දෙරණ නැවතත් ජාතිවාදය ඇවිලවීමේ අසාර්ථක උත්සාහයක

0
129
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය භාරව සිටින දෙරණ මාධ්‍ය ජාලය, එම ප්‍රචාරණ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නිසාම අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත් නිර්මාණය කරමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරමින් සිටින බව අපි මීට පෙරත් පෙන්වා දුනිමු. අද දිනයේ ද ඔවුන් ඒ වරදම යළි සිදුකර තිබේ.පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. වයස අවුරුදු 04ක් වන දියණිය මීට සම්බන්ධයක් නොමැති බැවින් ඇයව සුදුසු භාරකාරීත්වයක් වෙත පවරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබුණේ අදාළ දැරිය සහරාන්ගේ බිරිඳගේ මව්පියන්ගේ භාරකාරත්වයට පවරන ලෙසයි.

එහෙත් දෙරණ මාධ්‍ය ජාලයේ අද දෙරණ වෙබ් අඩවිය එය වාර්තා කර තිබෙන්නේ “සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට” යනුවෙනි.

ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරිමින් සිටින බවට ජනතාව අතර මතයක් පතුරුවා ඒ හරහා මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රවණතාවන් වර්ධනය කර, ඉන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන වාසියක් අත්කර දීමේ නින්දිත, පහත්, තුච්ඡ කුමන්ත්‍රණයයි මේ.

මෙම දෙරණ මාධ්‍ය ජාලයම සිය අරුණ පුවත්පත සහ දෙරණ රූපවාහිනී නාලිකාව හරහා මීට පෙරත් මෙය වෑයමෙහි නිරත වූ බව අපි පෙන්වා දුනිමු. ඒ, හදිසි නීතිය ඉවත් වීමෙන් තව්හිද් ජමාත් තහනම ඉවත් වන බවටත් සැකකරුවන් 200ක් නිදහස් වන බවටත් ඔවුන් ව්‍යාජ, අසත්‍ය, නොමඟ යවනසුළු පුවතක් නිර්මාණය කළ අවස්ථාවේදීය.

මේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ වූවා පමණි. තවමත් ගතව ඇති සති තුනක කාලය තුළ දෙරණ ආයතනය මෙතැනටම පල්ලම් බැස සිටී නම් ඔවුන් ඉදිරි මාස කිහිපයේදී කුමක් කරනු ඇතිද, ඉන් සමාජයට කවර නම් බලපෑමක් සිදුවනු ඇතිද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ.

මෙවැනි පුවත් නිවැරදි කිරීමක් ද බොහෝවිට සිදු නොවන අතර ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ මෙම පුවත් උපුටා දක්වමින් සිය සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් හරහා උග්‍ර ජාතිවාදී පෝස්ට් නිර්මාණය කරවා සමාජ මාධ්‍ය තුළ පතුරවා හැරීමය. පුවත් අසත්‍ය බව වෙනත් මාධ්‍ය හරහා පළ කෙරුණත් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන බොරුව නතර වන්නේ නැත.

මෙහි ඇති භයානකත්වය එයයි.

 

(උපුටාගැනීම -www.lankanewsweb.net)