විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නයෙන් පළා යන්න කිසිම පක්ෂයකට බැහැ.අගමැති රනිල් වික්‍රමසිංහ මීරිගමදී කියයි.

0
52

image_debe5ae679මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් කථානායක කරු ජයසූරිය මහතා මුල් තැන අරගෙන තිබෙනවා. 19 වන සංශෝධනය මගින් එයින් කොටසක් අපි ඉෂ්ඨ කළා. දැන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඉතිරි කොටස ගැනයි. ජනාධිපතිවරණය කැඳවීමත් සමගම විවිධ සංවිධාන මේ විධායක ජනාධිපති ක්‍රමය ගැන ප්‍රශ්න කරන එක පුදුමයක් නොවෙයි. මෙය අද රටේ පවතින ප්‍රශ්නයක්.IMG-20190920-WA0037
මේ සතියේ මුල් භාගයේදී සමහර සිවිල් සංවිධාන සහ ආගමික සංවිධාන අලුත් යෝජනාවක් මතු කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව වහා සම්මත කරන්නැයි ඒ අය කිව්වා. ඒ සාකච්ඡාවලට මම සම්බන්ධ වී නොතිබුණත්, ඒ ගැන මටත් ආරංචි වුණා.
ඊයේ ජනාධිපතිතුමා මට කතා කරලා ඇහුවා අපි 20 වෙනි සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයේ කථාකරමුද කියලා. අපේ පක්ෂ ඇතුළේ මේ ගැන කථාකරලා නොතිබුණු නිසා “හොඳයි මෙතැන කතා කරන්න පුළුවන්” කියලා මම කිව්වා. ජනාධිපතිතුමා බ්‍රහස්පතින්දා හවසට කැබිනට් මණ්ඩලය කැඳෙව්වා. ඊට ඉස්සරවෙලා මම අපේ ඇමතිවරුන් කැඳෙව්වා. එතැන විවිධ අදහස් තිබුණා. ඉතින් මම ජනාධිපතිතුමාට කිව්වා මෙතැන විවිධ අදහස් තිබෙනවා, එකඟත්වයක් තිබේද කියලා දන්නෙ නෑ කියලා. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවෙන් පස්සෙ අපි අන්තිමට එකඟ වුණා, ඒ ඒ පක්ෂවල මේ ගැන සාකච්ඡාව කරන්න කියලා. එතැනින් තමයි සාකච්ඡාව අවසන් වුණේ.
පොහොට්ටුවේ ඡන්ද නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගන්න බැරි බව තමයි යථාර්ථය. මේ යථාර්ථය ගැන මම ඊයේ කැබිනට් මණ්ඩලයේදිත් කිව්වා . අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150 ක් නැහැ. ඒ නිසා මෙය සාකච්ඡා කරත්, සම්මත කරගන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ සහයෝගය තිබෙනවා නම් පමණයි.
මෙය තමයි අපි කළ සාකච්ඡාව. නමුත්, මේ නිසා යළි මේ ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. අද විවිධ සංවිධානවල නියෝජිතයන් මගෙන් ඇහුවා ‘මොකක්ද මේ කරන්නෙ? විධායක ජනාධිපති ධුරය වෙනස් කරන්න තීරණය කළාද?’ කියලා. ඒ අතරින් බොහෝ දෙනෙක් දොස් කිව්වා. ඊයේ එක කොටසක් දොස් කිව්ව; අද තව කොටසක් දොස් කියනවා.IMG-20190920-WA0049IMG-20190920-WA0046
කොහොම වුණත් මේ ප්‍රශ්නය විවෘතව කථා කරන එක අපේ යුතුකමක්. ඡන්දයක් තිබෙනව කියල ඒක අපට නවත්වන්න බැහැ. ඒ නිසා මම අපේ සිවිල් සංවිධානවල අයටත් මා හමුවෙන ලෙස කිව්වා.
ඉතිං මේ ප්‍රශ්නය තියෙනවා. හැම පක්ෂෙටම මේ ගැන තීරණයක් ගන්න වෙයි. අපි කාටවත් මේ ප්‍රශ්නෙන් හැංගෙන්න බැහැ. අපි මේ විධායක ජනාධිපති ධුරය තියා ගන්නවද? නැද්ද? ඒ ගැන මොකක්ද කරන්නෙ කියල හැම පක්ෂයටම තීරණයක් ගන්න සිද්ද වෙනව.
අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඒ නිසා අපි මේ ගැන විවෘතව කථා කළ යුතුයි. විවෘතව කථා කරලා, විව්ධ ප්‍රශ්න වල අදහස් දැන ගෙන ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. අන්තිම තෙරණය ගන්නේ ජනතාවයි.

-මීරිගම දොන් ස්ටීවන් විද්‍යාලය ඉදිකිරීමට මුල් ගල් තැබීම වෙනුවෙන් අද (සැප්තැම්බර් 20 ) පෙරවරුවේ මීරිගම දී පවැති උත්සවයේදී කථා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැනත්, ඒ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට සැප්තැම්බර් 19 වන දා කැබිනට් මණ්ඩලයේ පවැති සාකච්ඡාව ගැනත් අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතාද සහභාගි විය.