දෙමළ ජනතාවගේ අනාගතය අවිනිශ්චිතයි ! සම්බන්ධන්

0
36

sambandan-1දෙමළ ජනතාවගේ අනාගතය මේ වන විට ඉතා අවිනිශ්චිත තත්ත්වයක පවතින නිසා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට නම් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වලින් වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පත් කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ සියළුම දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔවුන්ව අමතා අදහස් දැක්වූ සම්බන්ධන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අනාගතය මේ වන විට ඉතා අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ නව දේශපාලන ප්‍රවාහය දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීමට පවා අකැමති තත්ත්වයක් පෙන්නුම් කිරීම බවද සම්බන්ධන් මහතා මෙහිදී පවසා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීම සදහා දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් කාරණා ඔස්සේ කටයුතු කරණ බව ප්‍රකාශ කොට ඇතත් දෙමළ ජාතික සන්ධානය මේ පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද මේ දක්වාම ඊට අවස්ථාවක් ලැබී නොමැති බවද සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික පාර්ශ්වකරුවන් ඉන්දියාව නිසා තමන් මේ පිළිබදව ඉන්දීය නායකයින් සමග යළි සාකච්ඡා කරණ බවද සම්බන්ධන් මහතා උතුරේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට ප්‍රකාශ කොට තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය හමුවේ අසරණ වීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවද දෙමළ ජනතාවද මේ රටේම කොටසක් බව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් කලපනා කළ යුතු බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා මෙහිදී අවධාරණය කොට තිබේ.