පිටරට සිට පැමිණෙන සියළුම ශ්‍රිලාංකිකයන්ට දින 14 ක නිරෝධායන කාලයක් !

0
68

Bandaranaike-Airportශ්‍රී ලංකාවට පැමිණ දින 14 ක් යන තුරු නිවෙස්වලම රැඳී සිටින්නැයි විදේශ රටවල සිට  ශ්‍රීලංකාවට පැමිණෙන්නන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර සෙසු රටවල සිට පැමිණෙන්නන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ද ජාසිංහ මහතා සඳහන් කළේය.

එම කාලයේදී විශේෂයෙන්ම උත්සව හා සංචාර ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙස විදෙස් රටවල සිට පැමිණි අයගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.

ඉදිරි නිවාඩු කාලයේදී කණ්ඩායම් වශයෙන් විදෙස් සංචාරයන්හි යෙදීම හැකිතාක් අවම කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් 19 වයිරසය පැතිර යන ආකාරය අනුව ඉදිරියේදී ගත යුතු තවත් ආරක්‍ෂක පියවර වේ නම් ඒවාද ගැනීමට සූදානම් බව කී අනිල් ජාසිංහ මහතා එම වයිරසය මෙරටට ද පැමිණියහොත් නගර වසාදැමීම, ගමනා ගමන කටයුතු සීමා කිරීම වැනි පියවරයන් ගැනීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බැවින් නිරෝධායන කටයුතු ආදිය ඇතුළු ගන්නා පියවර වෙනුවෙන් සහය දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජාසිංහ මහතා කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මුලාශ්‍රය-