ලංසාගේ කෙරුවාවෙන් කොරෝනා අවදානම ඉහළ ගිය බව සෞඛ්‍ය ඇමතිනිය පිළිගනී !

0
102

nimalfacebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonlinkedin sharing buttonmessenger sharing button

මුල්ම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය හැඳළ, ලාදුරු රෝහලේ පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා ඒ සඳහා මඩකලපුව සහ කන්දකාඩු මධ්‍යස්ථාන පිහිටුවීමට සිදුවුණු බවත් ඒ අතර ගතවුණු දින දෙක තුනක කාලසීමාව තුළ ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි පිරිස නිවෙස් කරා යැවීමට සිදුවුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (14) සඳහන් කළාය.

“ඉතාලිය වගේ රටවල්වල විශාල වශයෙන් මේ රෝගය පැතිරයන්න පටන් ගත්තාම රටක් විදියට අපි ඉතා ක්ෂණිකව ඒවගේ රටවල්වලින් එන අය නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථාන හදන්න කටයුතු කළා. නමුත් හැඳල මධ්‍යස්ථානය ක්ෂණිකව දවසකින් දෙකකින් හදලා ඉවර වෙනකොට ඒකට විරෝධතාවයක් ඇවිල්ලා ඒක නැවතුණා.

ඊළඟට ආයෙ ඉතාම ක්ෂණිකව තමයි අර මඩකළපුවෙ තිබෙන විශ්වවිද්‍යාලයත් ඒවගේම අනිත් කඳවුරත් අපි පාවිච්චි කළේ. ඉතිං ඒවා හදන්නත් තව දවසක් විතර ගියා. මෙවැනි කටයුතුවලදී සමහර වෙලාවට – ඒ නිරෝධායන මධ්‍යස්ථාන හදලා ඉවර කරගන්න ගිය දවස් දෙක තුන ඇතුළත – මොකද මේක සීඝ්‍රයෙන් ඉතාලියෙ සහ අනික් රටවල්වල විශාල පැතිරීමක් පැතිරුණා – ඒ වෙලාවෙදි ලංකාවෙ අය ඉතාලියෙ වගෙ දකුණු කොරියාවෙ වගෙ රටවල ඉඳපු ලංකාවෙ අය ලංකාවට එන්න සූදානමක් වුණා. ඒත් එක්කම අපි ගතයුතු ක්‍රියාමාර්ගය ගත්තා, නමුත් දවස් දෙකක් තුනක් මේ නිරෝධායන මධ්‍යස්ථාන හදන්න ආපු විරෝධතාවයත් එක්ක යම් පරක්කුවක් වුණා.

ඒ කාලය තුලදී රටට ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් යම් පිරිස් ආවා. ඉතින් ඒ අය අපි කළේ ගෙදර සිට නිරෝධායන කටයුත්තකට යොමු කිරීම. ඒ කියන්නෙ ඔවුන්ව මොනිටර් කරනවා, ඔවුන්ව සම්බන්ධීකරණය කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලව්වා. අපි ඒ අයට කියන්නෙ ඉතාම වගකීමෙන් විනයක් ඇතිව තමන්ගෙ නිවසේ තමන්ගෙ කාමරවල රැඳී ඉන්න”

“මේ අය විෂබීජය දරාගෙන මහජනතාව ගැවසෙන තැන්වලට පැමිණියොත් ඒක අපට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒකයි අපි රජයක් වශයෙන් තීන්දු කළේ මහජනතාව විශාල වශයෙන් රැස්වෙන සියලුම උත්සව, රැස්වීම් සඳහා අවසර නොදෙන්න, ඒ කියන්නෙ තහනම් කරන්න” යනුවෙනුයි අමාත්‍යවරිය සඳහන් කළේ.

මෙම හැඳළ කොරෝනා මධ්‍යස්ථානය පිහිටුවීමට දැඩි ලෙස විරෝධය දැක්වූයේ වත්මන් ආණ්ඩුවේම හිටපු අමාත්‍යවරයකු වූ නිමල් ලංසා මහතාය. එය ඒ දිනවලම මාධ්‍ය හරහා රටටම දැකගත හැකිවිය. එම මධ්‍යස්ථානය හැඳළ ලාදුරු රෝහලේ නම් කිසිසේත්ම පිහිටුවීමට ඉඩ නොදෙන බව ඔහු තරයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව එම නිරෝධායන මධ්‍යස්ථානය පිහිටුවීමේ අදහස හකුළාගෙන මඩකළපුව වෙත ගෙනගියේ ඒ අනුව බව අමාත්‍යවරියගේ කතාවෙන්ම තහවුරු වේ.

ඒ අනුව රටතුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම වැඩිකිරීමට ආණ්ඩුවේම ප්‍රබල කොටස්කරුවකු වන නිමල් ලංසා මහතා ඉහළින්ම දායක වූ බව ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරියම පිළිගෙන ඇති බව පැහැදිලිය.

මේ දැක්වෙන්නේ හැඳල කොරෝනා මධ්‍යස්ථානය පිහිටුවීමට තමන් බාධා කළ ආකාරය පිළිබඳ නිමල් ලංසා මහතාගේම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

lankanewsweb.net