කොරෝනා කාලේ ඔබේ වාහනය ලෙඩ නොවී තබාගන්නේ කොහොමද?

0
274

( 4.30 pm ) නිවසේ ගරාජයක නවතා ඇති බෙන්ස් රියක රෝදයක් වේයන් බැඳ ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මුහුණු පොතේ පළවී තිබුණේය. එම ඡායාරූපයේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ලංකාවේ වාහන ලක්ෂ ගණනක් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ මෙවැනි සන්තෑසියකටය. ඇඳිරි නීතිය හේතුවෙන් වාහන ඇත්තේ ගෙවල්වල ගාල් වෙලාය. අඩුම තරමේ ප්‍රධාන පාරේ නොව අතුරු පාරකවත් වාහනයක් ධාවනය කිරීමට අවසර නැත. වාහනයක් පැදව්වොත් ඇඳිරි නීතිය ඉවර වනතුරු පොලිසියේය. ඒ ගැන වාහන හිමියන් සිටින්නේ නොසතුටෙන් බව රහසක් නොවේ.

වරලත් මෝටර් රථ ඉංජිනේරු ලාල් අලවත්ත

ව්‍යායාම් නොමැතිව මිනිසුන් රෝගී වන්නා සේ වාහනයක් නොදිව්වොත් එයද රෝගී වන්නේය. එහෙත් ඇඳිරි නීතිය නිසා ගෙදර නතර කර තිබෙන වාහනයට කළ යුත්තේ කුමක්දැයි විශේෂඥ උපදෙසක් ගන්නට වාහන හිමියන්ටද අවස්ථාවක් නැත. එබැවින් අප කල්පනා කළේ මෝටර් රථ හිමියන්ගේ ප්‍රශ්න ගැන වරලත් මෝටර් රථ ඉංජිනේරුවකු වන ලාල් අලවත්ත සමග කතා කරන්නටය.

වාහනයක් පණ ගන්වන්නේ නැතුව තියෙන කොට ප්‍රධාන වශයෙන්ම වාහනයේ හානිය වෙන්නේ බැටරියටය. කොච්චර හොඳ බැටරියක් වුණත් නිකන් තියෙන කොට ඒක අක්‍රිය වේ. බැටරිය චාජ් වන්නේ වාහනය පණ ගැන්වූවොත් විතරය. බැටරිය පරණ එකක් නම් දවස් දෙක තුනක් ස්ටාර්ට් නොකළත් අක්‍රිය වේ. සාමාන්‍යයෙන් හොඳ අලුත් බැටරියක් නම් සතියක්, දෙකක් පමණ එහි බලය ඇත්තේය. නමුත් එච්චර කාලයක් වාහනයක් ස්ටාර්ට් නොකර තැබීම සුදුසු නැත. එහි ප්‍රතිඵලය වන්නේ බැටරිය ඉක්මනින් නරක් වීමය.

බැටරිය නරක් නොවීමට කළ යුතු එකම ක්‍රමය වන්නේ වාහනය දින තුනකට වතාවක් වත් පණ ගන්වලා විනාඩි පහළොවක්, විස්සක් තැබීමය.

සාමාන්‍යයෙන් අප වාහනයේ තෙල් හා වතුර බලන්නේ ගනමක් යාමට වාහනය ස්ටාර්ට් කිරීමට පෙරය. නමුත් මේ දිනවල ඔබ මතක තබා ගත යුත්තේ වාහනය පණ ගන්වන්න කලින් තෙල් හා වතුර බැලීම අනිවාර්යයෙන් කළ යුතු බවය. මොකද දීර්ඝකාලීනව එක තැන වාහනය නතර කරලා තියෙන කොට තෙල්, වතුර කාන්දු වෙන්න පුළුවනි. සාමාන්‍යයෙන් ඕනම නතර කරලා තියෙන වාහනයක් පණ ගන්වනකොට තෙල් වතුර මට්ටම බලන එක අනිවාර්ය අංගයක් කරලා තිබෙන්නේ ඒ නිසයි.

වාහනයේ තෙල්, වතුර මට්ටම බලලා පණ ගන්වලා විනාඩි පහළොවක්, විස්සක් තියනකොට වාහනේ විදුලි ලාම්පු, රේඩියෝ, වායු සමීකරණය සියල්ලක්ම වසා දැමිය යුතුයි. වාහනේ විදුලි පද්ධතිය බින්දුව වෙන්න ඕන. (ඉලෙක්ට්‍රික් පැත්ත ඕ.කේ. කළ යුතුයි.)

මීළඟ කාරණාව වන්නේ දීර්ඝකාලීනව වාහනය නතර කරලා තියනකොට ඇතුළේ තෙතමනය හැදේ. වටේ තිබෙන ජල වාෂ්ප නිසා තෙතමනය හැදිලා ආසනවල පුස් හා දිලීර හැදේ. ඩෑෂ් බෝඩ් එකට පවා මේ පුස් හා දිලීර ව්‍යාප්ත වේ.

මේ නිසා අව්ව තියෙන වෙලාවක වාහනය ගරාජ් එකෙන් එළියට අරගෙන බොනට් එක ඇතුළත, ඩිකිය හා දොරගුළු ඇරලා විනාඩි විස්සක් විතර අව්වේ තැබිය යුතුයි. එවිට වාහනේ රත්වෙන කොට ජල වාෂ්ප ප්‍රමාණය නැති වේ. මෙහෙම කරනකොට වාහනය පණ ගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගරාජ් ඇතුළේ එක දිගට දින තුන, හතරක් නතර කරලා තියෙන වාහනවලට මේ ක්‍රියාවලිය සිදුකළ යුතුමයි.

ඒ වගේම වාහනය ගරාජ් එකේ එක දිගට වහලා තියනකොට තෙත ගතිය නිසා විදුලි පරිපථයේ ලවණ (ඔක්සයිඩ්) හැදෙන්න පුළුවන්. එහෙම වුණාම වාහනයේ විදුලි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ නිසා වාහනය අනිවාර්යයෙන්ම වියළි ගතියෙන් තිබිය යුතුයි.

තෙත ගතියට අමතරව ඇති අනෙක් කාරණාව වන්නේ සත්තුන්ගෙන් වෙන හානිය. මීයෝ, කැරපොත්තෝ, කූඹි වගේ සත්තු තෙත ගතියට එනවා. ඇතුළේ තියෙන වයර් හපා දමයි. එවැනි ප්‍රශ්න අවම කරගන්න කාරෙක අව්වට අරගෙන විනාඩි විස්සක් විතර විවෘත කර තැබීම ඉතාමත්ම වැදගත්.

තවත් ඔබ මතක තබාගත යුතුම කාරණාවක් තමා වාහනය නතර කර තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇද තිබීම. දීර්ඝකාලීනව හෑන්ඩ් බ්‍රේක් ඇදලා එක තැන තිබ්බොත් හෑන්ඩ් බ්‍රේක් හිර වේ. ඔටෝමැටික් (ඔටෝ ගියර්) ගියර් බොක්ස් එකක් තියෙන වාහනයක් නම් P කියන එකට ගියර් එක දැමූ විට හෑන්ඩ් බ්‍රේක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වාහනේ හෙල්ලෙන්නේ නැහැ. මැනුවල් වාහනයක් නම් රෝදවලට අඩයක් තියලා නතර කරන්න පුළුවන්.

තවත් ප්‍රධාන කාරණාවක් නම් වාහනේ එක තැනම තැබීමද නොකළ යුතුය. එය ටයර්වලටත් බලපායි. දීර්ඝකාලීනව වාහනය එකම තැන තියනකොට ටයරය බිම වදින තැන එබිලා වගේ හිටී. මාස දෙක තුනක් එකම තැන තිබ්බොත් ටයරයේ එතන හානි වේ. ඇතුළේ තියෙන කම්බිය ඇද වේ. දවස් දෙක තුනකට සැරයක් වාහනේ එහා මෙහා කිරීමෙන් ටයර් එක වදින තැන වෙනස් වීම නිසා ටයරයට හානියක් වන්නේ නැත.

නිතර එහාට මෙහාට කරන්න බැරි නම් වාහනේ ටයරයට රාත්තල් හැටක් විතර හුළං ගහල තබාගත හැකිය. ඕනෑවට වඩා හුළං ගැසීමෙන් ටයරයට සිදුවන හානිය අවම වේ. නමුත් මෙය කිරීමට අපහසුය. දවස් දෙක තුනකට වරක් වාහනය එහාට මෙහාට කිරීම තමා සුදුසුම ක්‍රමය වෙන්නේ. මක්නිසාද එවිට වාහනය පණ ගැන්වෙන බැවිනි. වාහනය එළියට ගෙන දොර ඇර තිබෙන විට තෙත ගතිය රැඳෙන්නේ නැත. එහාට මෙහාට ගන්න කොට සත්තු නගින එක අඩු වේ.

සමහරු හිතන්නේ විනාඩි විස්සක්, තිහක් වාහනේ පණ ගන්වලා තියෙනකොට ලොකු තෙල් ප්‍රමාණයක් දහනය වන බවය. එය වැරදි මතයකි. වාහනය පණ ගන්වලා ගියර් එකට දැම්මොත් සහ රේස් කරනකොට තමයි තෙල් දහනය වෙන්නේ. සාමාන්‍ය ආකාරයට විනාඩි තිහක් පණ ගන්වලා තිබ්බත් තෙල් කාලක්වත් පිච්චෙන්නේ නැත. මේ නිසා එවැනි අනිසි බියක් ඇති කරගත යුතු නැතැ.

කොහොමත් වාහනය ධාවනය කරනකොටද ලෙඩ හැදේ. පෙට්‍රල්ද, ඩීසල්ද කියා වෙනසක් නැත.

කෙසේ නමුදු මේ දිනවල ගෙදර නතර කර ඇති ඔබේ වාහනය පිළිබඳ මා කියූ කාරණා ගැන සැලකිලිමත්වීම නුවණට හුරුය.

මා කියූ උපදෙස් ක්‍රියාත්මක කළොත් ඔබේ වාහනයට ප්‍රශ්නයක් නොවනු ඇත.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
aruna.lk