spot_img
spot_img
Sunday, November 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Articles කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා

කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා

0
372
 

මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටුකළ, ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ දිව්‍ය පූජාව කටුකුරුන්ද සාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී  ඊයේ  (18) පස්වරු 2.30ට සිදු කෙරිණි.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.

විදේශීය රටවලින් පැමිණ සිංහල බස හැදෑරූ ශ්‍රේෂ්ඨ සිංහල ලේඛකයන් දෙදෙනකු අපට සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළින් හමුවේ. ඔවුන් දෙදෙනාම පැවිද්දෝය. පළමු වැන්නා ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. දෙවැන්නා ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ය. ගොන්සාල්වෙස් පියතුමා ලක්දිව කිතු සසුන ජාතික සංස්කෘතියට අනුකූලව වැඩෙමින් ඉදිරියට යා යුතු බව කලින් ම අවබෝධ කර ගත්තෙකි.

එතුමා බෞද්ධ භික්ෂූන් ඇසුරු කළේය. බෞද්ධ ජනතාවගේ සත්කාර සම්මානයට පාත්‍ර විය. සිංහල ග්‍රන්ථවල දක්නට ලැබුණු උපමා, වර්ණනා, අලංකාරොක්තීන් හා ශෛලීන් ආදිය ඇසුරු කරමින් පොතපත ලීවේය. එතුමා විසින් රචනා කළ පොත් අතර ‘අඥාන ඖෂධය, ‘දේව වේද පුරාණය’, ‘දුක්ප්‍රාප්ති සංග්‍රහය’, ‘ආනන්ද කලිප්පුව’ (පද්‍ය), ‘වේද කාව්‍යය’, ‘පසන් පොත’ (පද්‍ය) ‘මංගල ගීතිය’ (බැති ගී), ප්‍රධාන තැනක් ගනී. මෙම සියලුම පොත් ක්‍රි.ව. 1712-1742 අතර රචිතය.

ඉන්පසු කතෝලික ගීත සාහිත්‍යයට ශ්‍රී ලාංකික පූජකවරු රාශියක් අවතීර්ණ වූහ. එක් අයෙක් වූයේ සෙබස්තියන් ප්‍රනාන්දු පියතුමා ය. ‘මා මවුනි අති ප්‍රේමණීය’ එතුමාගේ රචනයකි. කිතුනු ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය බිහි කරන ලද්දේ ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමාය. එතුමා දේශීය කතෝලික සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීමට මහත් වෙහෙසක් දැරීය.
මෙම පසුබිම මත අපගේ අවධානය යොමු වන්නේ කිකුනු සංස්කෘතිය තුළ ජාතික ලකුණක් වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා වෙතය. එතුමාගේ ගමන් මාර්ගය වෙනස් ස්වරූපයක් ගත්තේය. මෙරට කතෝලිකයන්ගේ පරගැති චින්තනය පුපුරවා හළ යුතු බව එතුමාගේ පිළිගැනීම විය. කිතුනුවන්ට මෙරට ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහය හා ඒකාත්මික විය යුතු නම් වහල් හා පරගැති මානසික්තවයෙන් ඉවත් වීම ඒ සඳහා පළමු පියවර බව එතුමාගේ මතය විය. එතුමාගේ ක්‍රියාකාරිත්වය අතිශය පුළුල් පරාසයක් දක්වා විහිද ගිය එකකි. ඔහුගේ අඩසියවසකට ආසන්න පූජක සේවාව මෙවැනි කෙටි ලිපියකට කිසිසේවත් සංක්ෂිප්ත කළ නොහැකිය.

1931 අගෝස්තු මස 31 වැනිදා මාරවිල උපන් අර්නස්ට් පෝරුතොට පියතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ය. ඉන්පසු බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් පූජක සිසු හලට ඇතුළත් වූ එතුමා 1950 දී ශාන්ත බර්නාදු දෙව්සත්හලට ඇතුළත්ව 1955 දී අම්පිටියේ ජාතික දෙව්සත්හලට අවතීර්ණ විය. 1957 පෙබරවාරි මස 2 දා පූජකවරය ලැබූ ඔහු කොටහේන, දෙහිවල, මොරටුව, පමුණුගම, දෙහියාගාත, කැලණිය, කටුකුරුන්ද, කෝට්ටේ, වත්තල පසුව නැවතත් දෙහිවල යන මීසම්වල සේවය කර ඇත. එතුමා අවසානයේ මහර කිරිමැටියාගාර මීසම් සේවක වශයෙන් කටයුතු කළේය. මීසම් පාලක හෝ මීසම් පාලනාධිපති යන වචනය බැහැර කර ඇති ඔහු හැම විටම භාවිත කරන්නේ මීසම් සේවක යන්නයි. එතුමා 2006 අගෝස්තු මස තම දිවියේ 75 වන විය ද 2007 පෙබරවාරි මස 2 වනදා පූජක දිවියේ 50 වන විය ද සපුරන ලදී.

1962 වතිකාන නගරයේ දී 23 වන ජුවාම් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද දෙවන වතිකාන ජගත් මන්ත්‍රණ සභාව 1963, 1964 සහ 1965 යන වර්ෂයන්හි පැවැත් වූ සමුළුවලින් පසු නියෝග 16 ක් නිකුත් කරන ලදී. මෙම සමුළුව නිසා කතෝලික සභාව තුළ ඉමහත් පරිවර්තනයක් සිදු විය. ඒ ඒ රටවලට ස්වභාෂාවන්ගෙන් වන්දනා වත්පිළිවෙත්වල යෙදීමට අවස්ථාව ලැබිණ. එතෙක් ලංකාවේ ලතින් බසින් පැවැත් වූ වන්දනා මෙහෙයන් සිංහල බසින් පවත්වන්නට පටන් ගත්තේය. මෙම නව පෙරළිය ලාංකීය කතෝලික සභාව තුළට මෙන්ම ගිහියන් තුළට ද කාවද්දන්නට පෝරුතොට පියතුමා විසින් මහත් වූ ප්‍රයත්නයක් ගන්නා ලදී. කිතුනු ගිහියා තුළ චින්තන විප්ලවයක් දල්වන්නට ගත් ප්‍රයත්නයක් වූයේ 1963 දී රචිත පිටු 332 කින් යුත් ‘ගිහියා’ නමැති මා හැඟි ග්‍රන්ථය රචනා කිරීමය. එය කතෝලික ගිහි සමය, මහිමය හා බලය ඉතා පුළුල්ව විවරණය කළ කෘතියක් විය.

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු 1960 දී රචනා කළ පිටු 246 කින් සමන්විත ‘කිතුනු පෙරළිය’ කෘතිය මගින් එතුමා දෙවන වතිකානු කතිකාවේ අදහස් ශ්‍රී ලාංකීය අපට කෙලෙස බලපාන්නේ දැයි පුළුල්ව විග්‍රහ කළේය. ‘ගිහියා’ හා ‘කිතුනු පෙරළිය’ කෘති ද්වයම කිතු සසුන දේශීය සංස්කෘතිය හා බද්ධ කිරීමට ගත් ශාස්ත්‍රීය හා දාර්ශනික උත්සාහයකි.
පෝරුතොට පියතුමාගේ දැක්ම හා ක්‍රියාකාරීත්වය ඉතා පෘථුල වූවකි. එතුමා කොටහේන මීසම් සේවයේ යෙදී සිටිය දී පළකරන ලද ප්‍රථම කෘතිය ‘වෘත්තීය සමිති විප්ලවය’ (1958) විය.

1964 දී බීම, බීමත්කම හා බේබදුකම ගැන ලියූ ‘සුරාව’ (1964), ෂාන් පෝල් සාත්‍රේ ගේ භව්‍යවාදය (සංදෘෂ්ටිකවාදය/Existentialism) හැටේ දශකයේ ශ්‍රී ලංකා සාහිත්‍යයට බලපෑ ආකාරය විග්‍රහ කළ ‘භව්‍යවාදය හා ලංකාව’ (1965) ලංකාවේ පළමු ලාංකික (හා සිංහල) රාජගුරු ප්‍රසාදිවරයා වූ ‘කාදිනල් කුරේ’ (1965), කාදිනල් කාඩයින් ආරම්භ කළ තරුණ ක්‍රිස්තියානු ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව ලියූ ‘ත.ක්‍රි.ශ ක්‍රමය’ (1966) එතුමා විසින් ලියූ තවත් කෘතීන් කිහිපයකි.

1970 දෙසැම්බර් මස 4 වැනිදා දී ශ්‍රී ලංකාවට සැපත් හයවන පාවුළු පාප්තුමන්ගේ ලංකා සංචාරය නිමිත්තෙන් එවකට පැවති රජය ග්‍රන්ථයක් පළ කිරීමට කැමැත්ත පළකරන ලදී. මෙම වගකීම පැවරුනේ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට ය. ඉතිහාසයේ සිට ම පාප්වහන්සේලා විසින් වරින්වර නිකුත් කළ සමාජයීය විශ්ව ලේඛන සිංහල බසට පෙරළා සකස් කිරීම මැනවැයි එතුමා අදහස් කරන ලදී. එතුමාගේ සහයට පැමිණියේ ජයලත් බලගල්ල දො. නි. පියතුමාය. ප්‍රතිඵලය වූයේ පිටු 456 කින් සමන්විත ‘කතෝලික සමාජ දර්ශනය’ වෙළුම 1 සහ පිටු 404 කින් සමන්විත ‘කතෝලික සමාජ දර්ශනය’ වෙළුම 2 නමැති ඓතිහාසික ග්‍රන්ථ දෙක බිහිවීමය.

පසු කලෙක එතුමා සිනමාව පිළිබඳ ජාත්‍යන්තර කතෝලික සංවිධානය වූ අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානයේ (OCIC) ශ්‍රී ලංකා ශාඛාවක් 1970 දී පිහිටුවීය. එම සංවිධානය ආරම්භයේ පටන් ම ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන ලදී. එම ආයතනය සිනමාව පිළිබඳ ජාතික ආයතනයක මට්ටමට ගෙන ඒමට එතුමාට හැකි විය. සිනමා කලාව පිළිබඳව එතුමා තුළ පැවති දැනුම හා ඇල්ම මුලින්ම ප්‍රකට වූයේ. 1965 දී ලියා පල කළ, පිටු 164 කින් යුත් ‘චිත්‍රපට ගැන’ නමැති කෘතියත් සමගය. එමෙන්ම එතුමා එවකට ක්‍රියාත්මක වූ ලංකා චිත්‍රපට විචාරක හා ලේඛන සංගමය බිහි කිරීමෙහි ලා ද පුරෝගාමී විය. OCIC උත්තමාචාර උත්සව මාලාව, OCICරූපවාහිනී හා සිනමාකරණ පාඨමාලා ආරම්භ කරන ලද්දේ එතුමාගේ මූලිකත්වයෙනි. 2004 වර්ෂයේ දී එතුමාගේ පුරෝගාමිත්වය හා අධීක්ෂණය යටතේ 1979-2004 වර්ෂ 25 ක කාලය ආවරණය වන පරිදි ‘ලංකා රූපවාහිනී 25 වසර’ යනුවෙන් පිටු 778 ක මාහැඟි තොරතුරු ග්‍රන්ථයක් පළකරන ලදී.

කොතරම් තනතුරු හෙබවුව ද ඔහු මීසම් සේවය අත්නොහැරියේ ය. මීසම (Parish) ගැන ඔහුගේ අදහස් දැක්වෙන කුඩා පොත්පිංචක් ‘මීසම’ නමින් 1976 දී පළකරන ලදී. මීසම යනු ගිහියන් මුණ ගැසෙන, ඔවුන් හා ගැටෙන, අත්දැකීම් බහුල සංවිධාන කටයුතු සඳහා අනුබල ලැබෙන තෝතැන්නක් බව එතුමාගේ පිළිගැනීමයි.

දැයට ලැදි ජාතික සංස්කෘතියට ලැදි දේශීය කලාවන්ට මහත් භක්තියක් දක්වන කතෝලික සභාව කාලානුරූපී හා දේශීය කිරීමේ කාර්යභාරයට සුවිශාල දායකත්වයක් ලබාදුන් දැඩි ආත්ම ශක්තියක් හා නොපසුබස්නා වීර්යයකින් යුත් ඉතා දුර්ලභ ගණයේ කිතුනු පූජකවරයෙකු වූ  අර්නස්ට් පෝරුතොට පියනම පිළිබඳ මෙය අල්පමාත්‍ර සටහනක් පමණි. එතුමාගේ ජීවිතය ගැන සුවිශාල ග්‍රන්ථයක් රචනා කිරීමට හා දීර්ඝ වාර්තා චිත්‍රපටයක් නිපදවීමට මෙය හොඳම කාලය යැයි සිතමු.
(ඈෂ්ලි රත්නවිභූෂණ)