කුඩු අංජු හා ඇල්ටෝ ධර්මෙගේ ජාලය මාට්ටු: සල්ලි මීගමු මහනගර සභාවේ සුළු සේවකයාගේ ගිණුමක…

0
130
NGB MC newහෙරොයින් ජාලයකට අයත් ගිණුමකින් කෝටි 18ක් හා කෝටි 05ක් බැර වූ අතුරු ගිණුම් හිමිකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

කෝටි 18ක මුදල බැරව ඇත්තේ මීගමුව නගර සභාවට අනුයුක්තව සේවය කරන සෞඛ්‍ය අංශයේ සුළු සේවකයකුගේ ගිණුමකට වන අතර කෝටි 05ක මුදල බැරවී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයකුට අයත් ගිණුමකටය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ක් වයසැති දෙමළ ජාතික තරුණයකු පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම අතුරු ගිණුම් හිමිකරුවන් සොයාගෙන තිබේ.

රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ හාරදහස් නවසීයක් (4,900ක්) සංසරණය වූ ගිණුමක් සොයා ගැනීමෙන් පසුව අදාළ දෙමළ තරුණයා ඇතුළු අතුරු ගිණුම් හිමිකරුවන්ගේ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම මහා පරිමාන කුඩු ජාවරම් ගිණුමෙන් රුපියල් කෝටි 08 ක මුදලක් දෙමළ තරුණයාගේ ගිණුමට බැර වී තිබී ඇත.

අදාළ මහා පරිමාන ගිණුම් අංකය සොයාගෙන ඇත්තේ පසුගිය මැයි 22 වැනිදා හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වූ රත්මලාන ජයසුමනාරාම පාරේ පදිංචිකරුවකු වන ප්‍රභාත් චතුරංග නමැති 20 හැවිරිදි තරුණයකු මාර්ගයෙනි.

සැකකරුට හෙරොයින් මත්ද්‍රව්‍ය හා මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සිදුකළ විමර්ශනයකදී දැනට විදෙස් රටක සැඟවී සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම් කරුවන් දෙදෙනකු වන අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු හා එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මේ යන පුද්ගලයන්ගේ ලංකාවේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමකට මුදල් බැර කිරීමෙන් පසුව ඒවා ලැබෙන බව හෙළිව තිබේ.

පොලිසිය විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී එම ගිණුමේ හිමිකරු වන මෙම ජාලයේම තවත් පුද්ගලයකු වන ගයාන් චතුරංග ඉලන්දර නමැති පුද්ගලයා පසුගිය ජුනි 17 වැනිදා අත්ඩංගුවට ගත් බවත්, එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හා ගිණුම් වාර්තා සම්බන්ධ විමර්ශනයේදී මෙම ගිණුම හරහා අන්තර්ජාලය ඔස්සේ වෙනත් පෞද්ගලික ගිණුම්වලට මුදල් බැරවී ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව ඇත.

දැනට රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ පළමු සැකකරු හා දෙවැනි සැකකරු මෙන්ම දෙමළ ජාතික පුද්ගලයෙක් වන සැකකරු අනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ මීගමුව නගර සභාවේ සුළු සේවකයා වයස අවුරුදු තිහක පුද්ගලයෙක් බවත්, අමතර කොටස් වෙළෙඳසලේ අයිතිකරු වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙක් බවත් නගර සභා සේවකයා සුඛෝපභෝගී දිවි පෙවතක් ගතකර ඇති බවත් පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.
srilankamirror.com