King සිරසෙන් ගියේ ඇයි?

0
182

· කිංග්ස්ලි රත්නායක නැත්නම් කවුරුත් දන්නා ‘කිංග්’ හදිසියේම සිරස හැරදමලා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ගැනීම ගැන බොහෝ දෙනා කතාවෙනවා. සිරස FM පටන් ගත්ත දවසේ පළමුවෙන්ම ඇහුණෙ කිංග්ගේ කටහඬ.

එතැනින් පස්සෙ කිංග් 1990 දශකයේ රේඩියෝ වීරයෙක් වුණා. පොඩි කොල්ලෙකුට මෙච්චර දැනුමක් තියෙනවද කියලා බොහෝ ප්‍රවීණයෝ අහන්න ගත්තා. කිංග් තමන්ගේ ජොබ් එක හරියටම කළා. අසන්නන් උදේ පාන්දර ඉඳලා තමන්ගේ ගාව තියා ගන්න ඔහුට හැකිවුණා.

කිංග්ස්ලි සහ සුරංගි තමයි ලංකාවේ වර්තමාන FM කලාවේ ආරම්භක යුගලය. කිංග් බොහෝම කෙටි කාලයකින් ඉහළටම ගියා. ඒක කිංග්ට පාඩුවක් වුණා කියලා හිතන්නත් පුළුවන්. ඒ කාලෙ ආඩම්බරකාරයෙක් වුණාට කිංග්ස්ලි තමන්ගේ හිතවතුන් ඉදිරියේ අමුතුම චරිතයක්, විනෝදකාමියෙක්. කතා කියන්න, මඩ ගහන්න දක්ෂයෙක්.කාලයත් එක්ක මාධ්‍ය ක්ෂේත්‍රයේ නොයෙක් වෙනස්කම් වුණා.

ආනන්දේ කිංග්ට අයියා කියාගෙන හිටපු මල්ලිලා ඉහළට ගියා. එයින් කෙනෙක් තමයි සුදේව හෙට්ටිආරච්චි. දෙන්නම හෝමාගම එකම ළමා සමාජයේ, දහම් පාසලේ හැදිච්ච ළමයි. සුදේව එක තැනකත්, කිංග් තව තැනකත් හිටියට ඔවුන්ගේ ආනන්දේ බැඳීම, මිත්‍රකම නැති වුණේ නෑ.

මේ නිසා තමයි සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙද්දි කිංග්ට ආරාධනා ලැබෙන්නෙ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක වෙන්න. කිංග් කියන්නේ සිරසෙ වැඩිම වැටුපක් ගත්ත කෙනෙක්.

කාලයක් තිස්සේ වැඩි වගකීම් ප්‍රමාණයක් නොතිබූ නිසා බොහෝම නිදහසේ කිංග් හිටියේ. මේක සුදේව ගත්තා වගේම ටිකක් බරපතළ තීරණයක්. ඒත් කිංග්ව දන්නා අය නම් කියන්නෙ ආයෙත් මහන්සි වෙලා වැඩක් කරලා ජනතාව එක්ක සංවාදයකට එන්න කිංග්ගේ කැමැත්තක් තියනවා කියලා.

ඒ නිසා කිංග් යන්නේ අලුත් වැඩ ටිකක් කරන්න කියන එක තමයි අපට කියන්න වෙන්නේ. ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ විපක්ෂයට අනුව කඩේ යෑමක්. ඒත් හොඳට කඩේ යන්න පුළුවන් නම් ප්‍රතිඵලය ආණ්ඩුවට. එයින් රටට හොඳක් වෙනවා නම් කමක් නෑ.

ඒත් කිංග්ගේ කටහඬට ආදරය කරපු සමහරු නම් කිංග් එක්ක තරහ වෙනව ෂුවර්. කිංග්ගෙ මාධ්‍ය ජීවිතය මෙතනින් ඉවරයි කියලා දුක්වෙන පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත් කිංග්ගේ රූපය මැයි මාසෙ ඉඳලා වැඩි වැඩියෙන් දැකගන්න ලැබෙයි. හඬ හැම චැනල් එකේම අහන්න ලැබෙයි. කොහොමින් කොහොමහරි මෙහෙම ගිහින් කිංග් පාර්ලිමේන්තුවෙත් ඉඳීද දන්නේ නෑ.

(අතිල අතාවුදගේ ෆේස්බුක් පිටුවෙනි )