NGO එකක් පටන්ගත්තේ ජීවත් වෙන්න රස්සාවක් ඕන නිසා -පාක්‍යසෝති සරවනමුත්තු

0
606

නම?

පාක්ක්‍යසෝති සරවනමුත්තු

මව්පියෝ?

පියා දොස්තර කෙනෙක් (මිය ගිහින්). මව නැටුම් ගුරුවරියක්.

සහෝදර සහෝදරියෝ?

අක්ක කෙනෙක් ඉන්නවා. එයා වැඩ කරන්නෙ මහ බැංකුවේ.

අධ්‍යාපනය?

මුලින්ම ගියේ කොල්ලූපිටියේ සෙන්ට් තෝමස් කොලේජ් එකට. පස්සෙ ගල්කිස්සට ගියා. උසස් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩන්වල. මගේ ආචාර්ය උපාධිය කළෙත් එහෙදිමයි. පළමු උපාධිය 1979. ආචාර්ය උපාධිය ගත්තෙ 1986.

ඔබ අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙලා නැවත ලංකාවට එන්නෙ කොයි කාලෙද?

1992 දී විතර.

රට ගිහින් ඇවිත් මොනවද කළේ?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩ කරන්න පටන් ගත්තා. ICS එකෙත් වැඩ කළා.

එතකොට ඔබ ඔය කාලෙද චානක අමරතුංග එක්ක දේශපාලනය කරන්න පටන් ගත්තෙ?

චානක අමරතුංග මහත්තයයි මමයි පොඩි කාලෙ ඉස්කෝලෙ ගියේ එකට. ලිබරල් පක්ෂය පටන් ගන්න කොටත් අපි දෙන්නම හිටියේ එංගලන්තයේ. මම ලිබරල් පක්ෂය එක්ක සම්බන්ධතාවක් තිබුණා.

ඔබ තමයි ලිබරල් පක්ෂයේ උප සභාපති?

ඔව්, ඒත් මම 1988 දී ඉවත් වුණා.

ඇයි ඒ?

පේ‍්‍රමදාස මහත්තයා එක්ක ලිබරල් පක්ෂය සම්බන්ධයක් ඇති කරගන්න උත්සාහ කළා. මම කිව්වා ඒක නම් කරන්න බෑ කියලා. අපිට පේ‍්‍රමදාස ආණ්ඩුව එක්ක සබඳතා තියා ගන්න බෑ. මොකද අපි ලිබරල් පක්ෂයක්. අන්තිමේ දී මම ඉල්ලා අස්වුණා.

PakyasothiSarawanamuttu-2

එතකොට ඔබට 88 – 89 භීෂණය ගැන මතක ඇති?

ඔව් මතකයි. ඒත් මම ඒ වෙනකොට හිටියෙ විදෙස්ගත වෙලා.

විදෙස්ගත වෙලා ලංකාවට ආවට පස්සෙ 1994 දී ඔබ චන්ද්‍රිකා ආණ්ඩුව සමඟ සම්බන්ධ වෙනවා?

ඔව්. ආණ්ඩුව එක්ක ඍජු සම්බන්ධයක් තිබුණෙ නෑ. ඒත් යම්කිසි සම්බන්ධයක් තිබුණා. හැබැයි ඒක කැඩුණේ වයඹ මැතිවරණයේ දී.

කොහොමද ඔබ එකපාරටම NGO වලට සම්බන්ධ වෙන්නෙ?

මම ඉස්සෙල්ලම වැඩ කළේ ICS එකත් එක්ක. ඒ වගේ තවත් ඒවා තිබුණා. සමහර ඒව නම් NGO නෙමෙයි ඇත්තටම.

ඔබේම කියලා NGO එකක් පටන් ගත්තෙ කොයි කාලෙද?

1996 දී.

ඇයි ඔබට NGO එකක් පටන් ගන්න හිතුණේ?

අපි විශ්වවිද්‍යාලයේ වැඩ කරනකොට දැනගෙන හිටියා ගොඩක් දේවල් විශ්වවිද්‍යාලය ඇතුළෙ කරන්න බෑ කියලා. ඒ වගේම අපිට ගොඩක් ප‍්‍රශ්න තිබුණා. 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් යෝජනාවක් ආවා උතුරු – නැගෙනහිර ප‍්‍රශ්නය ගැන. ඉතින් අපි ඒ සම්බන්ධ සාකච්ජාවක් විශ්වවිද්‍යාලයේ දී කළා. 300ක විතර පිරිසක් ඒකට සම්බන්ධ වුණා. ඇත්තටම ඒ යෝජනාව තිබුණේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. ඒත් අපි කල්පනා කළා මේක සිංහලෙන් සහ දෙමළෙනුත් කරන්න. ඒ වෙලාවෙ අපිට තර්ජනය කළා, මේක කරන්න බෑ, එහෙම කරන්න දෙන්නෙ නෑ කියලා. ඒ වෙලාවෙ තමයි අපි හිතුවෙ වෙනම ආයතනයක් පිහිටු වන්න. ඒ විදියට තමයි මේක සිද්ධ වුණේ.

ඔබ ඇතුළු කිහිප දෙනෙක්ගෙ මතයට කොහොමද එහෙම NGO එකක් පටන් ගන්නෙ?

අදහසක්, අරමුණක් තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකට මට තව හය හත් දෙනෙක් එකතු වුණා. මේක පටන් ගත්තෙ මම, රොහාන් එදිරිසිංහ, ප්‍රොෆෙසර් ජයදේව, බ‍්‍රැඞ්මන් වීරතුංග වගේ කිහිප දෙනෙක් එකතු වෙලා. අපි ඔක්කොම එකතු වෙලා ලැයිස්තුවක් හැදුවා මේක තමයි අරමුණු කියලා.

ඔබ ඔය කියන නම්වලින් නියෝජනය වෙන්නෙ එක්තරා පන්තියක්?

මොකක්ද?

ඉංග‍්‍රීසි උගත් ඉහළ පන්තිය?

ලංකාවෙ තියෙන ලොකුම NGO එක තමයි සර්වෝදය. ඔය චෝදනාව ඒගොල්ලන්ට එරෙහිවත් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

එහෙනම් ඇයි ඔබ ඔබේ NGO එකට ඉංග‍්‍රීසි උගත් පන්තියම විතරක් තෝර ගත්තෙ?

ඒක වුණේ මෙහෙමයි. අපිට පිටරට මුදල් ලබා ගන්න නම් විශ්වාසවන්ත පිරිසක් අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අපිට ඒ පිරිසව සම්බන්ධ කරගන්න සිද්ධ වුණේ.

ඇයි ඔබ දේශපාලනය අතහැරලා NGOවලට එන්නෙ?

(හිනා..) නෑ. මම දේශපාලනය අතහැරලා නෑ. ජීවත් වෙන්න රස්සාවකුත් තියෙන්න ඕනනේ.

ඔබ ලිබරල්වාදියෙක්ද සමාජවාදියෙක්ද?

(හිනා…) මම සමාජවාදයට විරුද්ධ නෑ. නමුත් මම ප‍්‍රමුඛතාව දෙන්නෙ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට.

ඔබ 1994 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලෙ ජී.එල්. පීරිස් මහත්තයත් එක්ක එකතු වෙලා ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් හොයන්න උත්සාහ ගත්තා. ඇත්තටම ඒ විසඳුමට මොකද වුණේ?

ඒ සම්බන්ධ ජනතාවගේ දැනුවත් භාවය මදි වුණා. ඒ වගේම දේශපාලනමය වශයෙනුත් යම් එකඟතාවකට එන්න බැරි වුණා. චන්ද්‍රිකා – රනිල් අද වගේ එකතු වෙලා හිටිය නම් ඒව ක‍්‍රියාත්මක වෙන්නත් තිබුණා.

ඒ කියන්නෙ චන්ද්‍රිකා – රනිල් එදා කරපු දේවල් ඔබ අනුමත කරන්නෙ නෑ?

ඔව්, අනිවාර්යයෙන්ම. දොගොල්ලන්ගෙම හැසිරීම ගැන මට සාධනීය විවේචනයක් තියෙනවා.

ඔබ ඔබේ ප‍්‍රතිපත්ති සමාජගත කරන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟත් යම් වැඩසටහනක් කරගෙන ගියා නේද?

ඔව්, අපි මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන පටන් ගත්තෙ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් එක්ක.

සෑහෙන්න වියදමක් දැරුවත් ඒ වැඩසටහන අසාර්ථක වුණේ ඇයි?

ඇත්තටම සමාජමය වැඩ කරනකොට සාර්ථකද අසාර්ථකද කියලා මනින්න ක‍්‍රමයක් නැහැනෙ. කොහොම වුණත් අපි සමහර අය දැනුවත් කළා. හැබැයි ඉතින් ඔබ කියනවා වගේ යම් යම් ගැටලූත් තිබුණා.

දැන් සමහරු ඔය සම්බන්ධව චෝදනා කරනවා නේද?

(හිනා…) ඔව්, යම් යම් අය. ඒ කියන්නෙ අපි සමඟ කිට්ටුවෙන්ම ආශ‍්‍රය කළ අය එක එක කතා කියනවා. මට නම් හිතාගන්න බෑ ඒගොල්ලන්ට මොනවා වෙලාද කියලා. ඇත්තටම අපිට ආයතනයක් විදියට කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ.

ඇත්තටම NGO කියන්නෙ බටහිර කුමන්ත‍්‍රණයක්ද?

බටහිර රටකින් අපිට ඇවිත් කිව්වෙ නෑ මේ වගේ ආයතනයක් පිහිටුවන්න කියලා. අපිම ඒක කරලා අපේ අරමුණ මේකයි, අපේ ව්‍යාපෘති මේවා, ඒවට ඔබලා එකඟද, එකඟ නම් අපිට සල්ලි දෙන්න ඒක කරන්න කියලා අපිමයි ඉල්ලූවේ. ඉතින් හැම අවුරුද්දකම අපි ඒක කරනවා. මගේ අත්දැකීම අනුව කවදාවත් බටහිර රටවලින් මේ මේ දේ කරන්න කියලා බලපෑම් ඇවිත් නෑ. රට වෙනුවෙන් යමක් කරන්න අපි අතර එකඟතාවක් තියෙනවා. ඉතින් ඒ දේ අපි කරනවා. එක අතකින් අපි කනගාටු වෙන්න ඕනෙ අපේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනත් රටවලින් සල්ලි ඉල්ලන්න වෙන එකට.

ඔබට චෝදනාවක් තියෙනවා විදේශ සල්ලි අරගෙන ලංකාවෙ ආණ්ඩු පෙරළන්න වැඩ කරනවා කියලා?

ආණ්ඩුව හරියට වැඩ කරන්නෙ නැත්නම් මට අයිතියක් තියෙනවා විවේචනය කරන්න. ඒක තමයි මම කරන්නෙ. මගේ ස්ථාවරය නම් ඒ විවේචනය සාධනීය විවේචනයක් විය යුතුයි කියන එක. මගෙන් කවුරු හරි ඇහුවොත් රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කරන්න ඔබ වැඩ කළාද කියලා, මම කියන්නෙ ඔව්. රාජපක්ෂ ආණ්ඩුව තිබුණ නම් වෙන්නෙ රට විනාශ වෙන එක. ඉතින් පුරවැසියෙක් හැටියට මට අයිතියක් තියෙනවා ඒක වෙනස් කරන්න. අනික ආයතනයක් හැටියට ඒක තමයි අපේ අරමුණ. අපි දේශපාලන පක්ෂයක කොටසක් නෙමෙයි.

මහින්ද ආණ්ඩුව වෙනස් කරන්න කටයුතු කළ ඔබ චන්ද්‍රිකා ආණ්ඩුව වෙනස් කරන්න කටයුතු කළේ නැත්තෙ ඇයි?

මහින්ද ආණ්ඩුව තරම් මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සහ වංචා දූෂණ චන්ද්‍රිකා ආණ්ඩුවේ තිබුණෙ නැහැ.

පසුගිය කාල සීමාව තුළ සිදු වුණ වංචා දූෂණ ගැනත් ඔබ ආයතනය සොයා බැලීමක් කළාද?

ඔව්. සුනාමි සහන මණ්ඩල, රාඩා එක ගැන අපි පොත් කිහිපයක් ලියලා ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒත් ඒවා කි‍්‍රයාත්මක වෙන්නෙ නෑ.

ඇයි ඒ?

ඒක ඉතින් අපිට කරන්න බෑනෙ. ඒක කරන්න ඕනෙ ආණ්ඩුව මැදිහත් වෙලා.

NGO සහ INGO අතර වෙනස මොකක්ද?

NGO කියන්නෙ Non Governmental Organization.INGO කියන්නෙ International Non Governmental Organization මේ දෙක අතර කියන්න තරම් වෙනසක් මට නම් පේන්නෙ නෑ.

ඒත් INGO කි‍්‍රයාත්මක වෙන්නෙ ටිකක් වෙන විදිහකට නේද?

(හිනා..) මොන වගේද?

වැඩමුළුවක් කළත් තරු පහේ හෝටලයක තමයි කරන්නෙ?

(හිනා…) ඔව්, ඔව්, එහෙම එකක් නම් තියෙනවා තමයි. හැබැයි ඔක්කොමලා ඒ වගේ වැඩ කරන්නෙ නෑ.

ඒ වගේ දේවල්වලින් පැහැදිලි වෙන්නෙ බටහිරකරණය වුණ යම් කිසි පන්තියක් රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවනවා කියන එක නෙමෙයිද?

නෑ. මම ඒ මතය සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. මොකද අපි ගොඩක් වැඩ කරන්නෙ ගම්වල. අපි පහුගිය දවස්වල වතුකරයේ ජනතාව එක්කත් වැඩ කළා. අඩුම තරමේ ඒගොල්ලන්ට ලිපිනයක්වත් නෑ. එහෙම වැඩ කරන අපිට කිසිම පන්ති ප‍්‍රශ්නයක් නෑ. මගේ ආයතනයේ වැඩ කරන බහුතරයක් කතා කරන්නෙ සිංහල. ඉතින් ඇත්තටම ඕක නිකං චෝදනාවක්ම විතරයි.

2005 – 2010 එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරන අවධියේ ඔබට යම් කිසි චෝදනාවක් එනවා?

අපි මේ ආයතනය පටන් ගන්නකොටම ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය දැක්කා. ඒත් අපි විසඳ ගන්න ඕන ඒ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය එන්නෙ ඇයි කියලා. හේතුව තමයි ජනවාර්ගික ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ප‍්‍රශ්නය තමයි විසඳ ගන්න තියෙන්නෙ. ඒක විසඳගන්න නම් කතා කරන්න ඕනෙ. යෝජනා ඉදිරිපත් කරන්න ඕනෙ. ඒ වගේ විසඳුමකට අපි එන්න ඕනෙ. අපි කවදාවත්ම කිව්වෙ නෑ යුද්ධයක් කරන්න එපා කියලා. නමුත් අපි කිව්වෙ යුද්ධයෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ කියලා. ඉතින් අපි ඔය ස්ථාවරය යුද්ධය පටන් ගන්න කාලෙ ඉදිරිපත් කළාම අපිට ත‍්‍රස්තවාදියෝ කිව්වා, ද්‍රෝහියෝ කිව්වා. නොයෙක් චෝදනා කළා.

ඔබ එල්ටීටීඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් හැටියට පිළිගන්නවද?

අනිවාර්යයෙන්ම. මම කිහිප සැරයක්ම ඒක කියලා තියෙනවා.

එතකොට ඔබ පෙනී සිටින්නෙ කා වෙනුවෙන්ද?

ලංකාවේ ජනතාව වෙනුවෙන්. අපි හැමෝම දන්නවා එල්ටීටීඊ එක කොහොමද දෙමළ ජනතාවට සැලකුවේ කියලා.

එල්ටීටීඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් කියන්න ඔබ ටිකක් පරක්කු වුණා නේද?

නෑ… ඒක වැරැදියි. මම කලින්ම ඒක කියලා තියෙනවා.

එහෙනම් ඇයි ඒක සමාජගත නොවුණේ?

මං හිතන්නෙ ඒක මාධ්‍ය භාවිතයේ ප‍්‍රශ්නයක්. මාධ්‍යයත් යුද්ධෙ කාලෙ දී ගියේ අනිත් අය ගිය කරත්තයේමයි. ඉතින් දෙමළ මනුස්සයෙක් එල්ටීටීඊ එකත් එක්ක සාකච්ජා කරන්න ඕන, දේශපාලන විසඳුමකට යන්න ඕන කියනකොට අනිවාර්යයෙන්ම ත‍්‍රස්තවාදියෙක් විදියට හංවඩු ගැහෙනවා. ඒක තමයි වුණේ.

ඔබ එල්ටීටීඊ එක ගැන කතා කළාට, එල්ටීටීඊ එක කරපු විනාශය ගැන කතා කළේ නෑ නේද?

කතා කළා. ඒත් ඒවා මාධ්‍යයේ පළ වුණේ නෑ. වෙබ් සයිට්වල නම් ඒවා තිබුණා.

යුද ජයග‍්‍රහණ සම්බන්ධව ඔබේ කියැවීම මොකක්ද?

එල්ටීටීඊ එක පරාජය කිරීම ඉතාම හොඳ දෙයක්. හැබැයි කොහොමද ඒක කළේ කියන එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒවා පරීක්ෂණ කරලා බලන එක ඉතා වැදගත්.

යුද ජයග‍්‍රහණයෙන් පස්සෙ පැවැත්වුණු පළමු ජිනීවා සමුළුවේ දී මොන වගේ තත්ත්වයක්ද තිබුණේ?

2010 දී හැමෝම හිතුවේ යුද්ධෙ දිනපු නිසා හැමදේම හරි කියලා. නමුත් ජාත්‍යන්තරේ කිව්වෙ යුද්ධය දිනපු නිසා දැන් සාමයත් දිනන්න කියලා. සාමය දිනන්න ඕන කියලා ඔවුන් අදහස් කළේ දේශපාලන විසඳුමක් කියන එක. ඒත් ලංකා රජය කිසිම පරීක්ෂණ කටයුත්තක් කළේ නැහැ. ඒ ගැන තැකීමක් කළෙත් නැහැ. ඒ නිසා තමයි LLRC එක ආවේ. LLRC එක ආවේ ලංකාවේ ජනතාව කෑ ගහන නිසා නෙමෙයි. විදේශ බලපෑම නිසා.

2010 – 2015 යුද ජයග‍්‍රහණයෙන් පසු කාල සීමාව තුළ ඔබේ කි‍්‍රයාකාරිත්වය සිදු වුණේ කොහොමද?

අපි උතුරට ගියා. මානව හිමිකම් සම්බන්ධව කතා කළා. ඒ ඒ ප‍්‍රදේශවල සිවිල් සංවිධාන සමඟ වැඩ කළා. මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්පාදනය කළා. මිනිස් ගැටලූ ගැන අපි කතා කළා. ඉතින් ඒ වෙලාවෙ දී ආණ්ඩුව අපිට චෝදනා කළා. මරණ තර්ජන කළා. මගේ විදෙස් ගමන් පවා නැවැත්තුවා.

 

ඔබ ඔය කියන ආකාරයේ තර්ජන එද්දි සමහරු රට හැර ගියා. තවත් සමහරු මෙලොව හැර ගියා. ඒත් ඔබ ලංකාවේ හිටියා. ඔබට කොහොමද මෙච්චර හයියක්?

අනේ මං දන්නෙ නෑ කොහොමද එහෙම වුණේ කියලා. තර්ජන ආවත් චෝදනා කළත් අපි දිගටම කෑ ගැහුවා.

ඇත්තම කියන්න ඔබව ආරක්ෂා කළේ බටහිර තානාපති කාර්යාල නෙමෙයිද?

සමහර විට ඒගොල්ලොන්ට එහෙම බයක් තියෙන්න ඇති. ඒත් ඇත්තටම කොහොමද එහෙම වුණේ කියලා.

කවුද ඔබට මරණ තර්ජන කළේ?

නිශ්චිතව කියන්න බෑ. ඒවා සිදු වුණේ නිර්නාමිකව.

2010 – 2015 කාල සීමාව ගැන ඔබට කියන්න විශේෂ දෙයක් නැද්ද?

තියෙනවා. ඔය කියන කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වුණේ පවුල් වැඩසටහනක්. එවැනි තත්ත්වයක් තුළ මානව හිමිකම් ප‍්‍රශ්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්න ඇති වෙන එක වළක්වන්න බෑනෙ. ඒක තනිකරම ඒකාධිපති පාලනයක්.

උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් ඔය කාල සීමාවේ දී කි‍්‍රයාත්මක වුණා නේද?

කවුද? මොකටද? පාරවල් හදලා, ඉඩම් ඩෝසර් කරලා සංවර්ධනය කළා කියනවා. ඒත්
ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුම් දුන්නෙ නෑ.

මොනවද ඒ ඇත්ත ප‍්‍රශ්න?

ධීවරයන්ට මුහුදු යන්න ආම්පන්න, ඉඩම් ප‍්‍රශ්න, සෞඛ්‍ය ප‍්‍රශ්න වගේ දේවල් ගොඩක් තියෙනවා.

ජාතික ප‍්‍රශ්නයට ඔබ දෙන විසඳුම මොකක්ද?

යහපාලනයක් පිහිටුවන්න ෆෙඩරල් ක‍්‍රමය ඉතාමත් හොඳයි කියන එක තමයි මගේ අදහස.

13ටත් එහා යන්න ඕනෙ කියලද ඔය නොකියා කියන්නෙ?

ඔව්, අනිවාර්යයෙන්ම. ඒත් ඒගොල්ලන්ට යුද හමුදාවක් දෙන්න බෑ. වෙනමම මහ බැංකුවක් දෙන්නත් බෑ.

එතකොට පොලිස් බලතල, ඉඩම් බලතල?

පොලිස් බලතල වගේම ඉඩම් බලතලත් දෙන්න වෙනවා.

ඔබ රාජපක්ෂ පාලනය පෙරළලා යහපාලනය ගේන්න මොනවද කළේ?

(හිනා..) අපි උත්සාහ කළේ යහපාලනය ගේන්න තමයි.

කුමන්ත‍්‍රණ කළේ නෑ?

(හිනා..) මොන කුමන්ත‍්‍රණද?

මෛත‍්‍රී මහත්තයා ගේන කුමන්ත‍්‍රණය?

(හිනා…)

මේ තියෙන යහපාලන ආණ්ඩුව ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මම මේ ආණ්ඩුවට කැමැතියි. අඩුපාඩු නම් තියෙනවා. ගොඩක් දේවල් කරන්න තියෙනවා. මම දකින විදියට වැදගත්ම දේ තමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකට වැඩ කරන එක. එහෙම වුණොත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි පහුගිය කාලෙ සිදු වුණ වංචා දූෂණ ගැන පියවර ගන්නත් දැන් කාලෙ හරි.

පහුගිය ආණ්ඩු වගේ මේ ආණ්ඩුවත් ‘ඞීල්’ දැම්මොත්?

ඒක භයානකයි. එහෙම වුණොත් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මෙවර ආපු ජිනීවා යෝජනාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක දී ආවා නම් ඔබ හිතන විදියට මොනවා වෙයිද?

මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණය දිනුවා නම් මේ වාර්තාව ඉදිරිපත් කරනකොට ඒගොල්ලො කියයි සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරනවා කියලා.

ඒ කියන්නෙ මේ ආණ්ඩුව ඉදිරිපත් කළ වාර්තාවම ද මහින්ද රාජපක්ෂත් ඉදිරිපත් කරන්න හිටියේ?

රාජපක්ෂ ආණ්ඩුව කළේ ඒගොල්ලො එක්ක සටන් කරන්න හදපු එක. ඒක ප‍්‍රායෝගික නෑ.

විදුලි පුටුව ගැන මොකද හිතෙන්නෙ?

ඒක බොරුවක්.

එතකොට හයිබි‍්‍රඞ් අධිකරණය?

එක පිරිසක් කියනවා දේශීය මට්ටමින් පරීක්ෂණ කරන්න ඕන කියලා. අනිත් අය කියනවා දේශීය මට්ටමින් පරීක්ෂණ කරන එක ගැන කිසි විශ්වාසයක් නෑ කියලා. ඒ නිසා සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරකරණය කරන්න කියලා.

ඔබ හිතන විදියට දේශීය යාන්ත‍්‍රණයකින් ඔය දේ කරන්න බැරිද?

කරන්න බෑ. හේතුව තමයි උතුරු – නැගෙනහිර ජනතාව දේශීය යාන්ත‍්‍රණය විශ්වාස කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.

ඒ ඔබේ විශ්වාසය?

ඔව්. එහෙම තමයි මම හිතන්නෙ.

ඇයි ජාත්‍යන්තරය දෙමළ ජනතාව ගැන විතරක්ම ඔය හැටි කතා කරන්නෙ?

නෑ… සිංහල අය ගැනත් කතා කරනවා. යහපාලනය ගැන කතා කරන්නෙ ඒකනෙ. මම දෙමළ ජනතාවගේ නියෝජිතයෙක් නෙමෙයි. මම අදාළ ප‍්‍රශ්නය දිහා බලලා කතා කරන කෙනෙක්.

මෙවර ජිනීවාවල තත්ත්වය මොන වගේ වෙයිද?

මේ පාර යෝජනාව ලංකාවයි ඇමෙරිකාවයි දෙකම එකතු වෙලා තමයි කරන්න යන්නෙ. ඒ සම්බන්ධ තවමත් සාකච්ජා පැවැත්වෙනවා.

ඔබලා ඔය ඉල්ලන සංශෝධන ගේනකොට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක මොන විදියට බලපායිද?

මං හිතන්නෙ නෑ ඒක ලොකු බලපෑමක් කියලා. ඇත්තටම මහින්ද රාජපක්ෂට ඒ වෙනුවෙන් ලොකු විරෝධතාවක් ගොනු කරන්න අමාරුයි.

ඔබ අවිවාහකයි?

(සිනාසෙමින් සිගරැට්ටුවක් දල්වයි…) ඔව්.

පේ‍්‍රම සම්බන්ධතා තිබුණෙත් නෑ?

මම ඒ සඳහා ජීවිතේ කවදාවත් ප‍්‍රමුඛතාව දීලම නෑ. සමහර අවස්ථාවල දී සබඳතා තියෙන්න ඇති. ඒත් විවාහ වෙන්න නම් කිසිම උනන්දුවක් නෑ.

ඔබ ලිංගිකත්වය සම්බන්ධව රැඩිකල් විදියට හිතනවා නේද?

මම දන්නෙ නෑ මොකක්ද කියලා. ඒක මගේ නිදහස.

ඔබේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සේවකයෝ කීයක් ඉන්නවද?

ස්ථිර සේවකයෝ විසි ගණනක් ඉන්නවා. ඊට අමතරව අර්ධ කාලීන සේවකයොත් ඉන්නවා.

ඔබ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා විදියට ඔබේ වැටුප කීයද?

හැමෝම මගේ වැටුප ගැන අහනවා.. (හිනා..) එක්ලක්ෂ අසූදාහයි.

ඩොලර්ද?

ආච්චිගේ රෙද්ද (හිනා..)

අනාගතයේ මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?

මේ කරගෙන යන වැඩ ටිකම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.

ඔබ මේ රටේ විධායක ජනාධිපතිවරයා වුණොත් ඔබ ඉස්සෙල්ලාම ගන්න තීරණය මොකක්ද?

ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.

කතා කළේ : ශාන්ත බණ්ඩාර
ලිව්වේ : සකු විතානගේ
ජායාරූප : ගිතේන්ද්‍ර ලියනගේ
www.sathhanda.lk/