PTA : උතුර විසින් දකුණ ප්‍රශ්න කිරීම !

0
204

සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬ නගමින් සිටියි.

දෙමළ සහෝදරයන් කොපමණ නම් පිරිසක් එම පනත යටතේ පීඩා වින්දේ ද, පීඩා විඳිමින් සිටින්නේ ද මර්දනයට ලක් වූයේ ද ලක්වෙමින් සිටින්නේ ද යන්න දකුණේ අති සුලුතරයක් විසින් සිහිපත් කරනු ලැබුව ද, දකුණේ සාතිශය බහුතරයට එය කිසිසේත් අදාළ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2019 – 2020 වර්ෂවල දී උතුරු නැගෙනහිර පළාත්වලින් අත්අඩංගුවට ගත්, එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීබන්, එල්. ඉම්බරාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්දන්, පී. නගුලේස්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්. අජන්තන් යන දෙමළ ජාතික සිරකරුවන් 13 දෙනා තම නිදහස පතා මෙම මස 6 වන දින සිට කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇති අතර දකුණේ වත්මන් ජනප්‍රිය අරගල බිමට එය ද අදාළ බවක් නොපෙනේ.

313100902 5156820731089785 3551601236301677035 n                               වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, නිදහස් කරනලෙස ඉල්ලා සිදුකෙරෙන විරෝධතාවයක් 

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ජීවන්ත යන ශිෂ්‍ය ක්‍රියකාරීන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90 ක් රඳවා තබා ගැනීමට දක්වන විරෝධතාවයේ දී, දකුණේ අරගලකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වන්නේ, ‘අප පමණක් ත්‍රස්තවාදීන් නොවේ.’ යන මතයේ සිට නම්, ‘සන්නද්ධ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ය.’ යන මතයේ සිට නම්, ‘අපි ත්‍රස්තවාදීන් නොවූව ද උතුරේ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ය.’ යන මතයේ සිට නම්, එය අතිශය වැරදිසහගත ප්‍රවේශයකි. උතුරේ අරගලකරුවන් ද ත්‍රස්තවාදීන් නොවන බව දකුණේ අරගල කරුවන් විසින් පිළිගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කොන්දේසි විරහිතව එරෙහි වන්නේ නම් පමණක්, එම එරෙහිවීම සැබෑ එරෙහි වීමක් වනු ඇත.

තත්වය එසේ විය යුතුව තිබිය දී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු දකුණේ අරගල බිම මත කුමන දේශපාලන පදනමින් හෝ  කරළියට ගෙනා ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු.’ යන සටන් පාඨය ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකරනු.’ යන සටන් පාඨය දක්වා මේ මොහොතේ පල්ලම් බසින ආකාරයක් ද පෙන්නුම් කරමින් පවතින අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 43 සේනාංකය සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සාකච්ඡා කිරීමේ හාස්‍ය නාටකය ද ප්‍රදර්ශනය කරන ලදී.
  

 ඔවුන්ට ඇති ගැටලුව වන්නේ PTA නොව, එය දකුණේ අරගලකරුවන්ට එරෙහිව භාවිතා කිරීම පමණක් නම්, එම හමුවෙහි ඇත්තේ හාස්‍යජනකත්වයක් නොව බියජනකත්වයක් බවට තර්ක කළ හැක. මෙම තත්වය වනාහි, උතුරටත් දකුණටත් පොදු වන ලෙස කොන්දේසි විරහිතව කාලාන්තරයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වූ අති සලුතරයට ද එල්ල කරන පහරකි.

ත්‍රස්තවාදියා වනාහි රාජ්‍යය මිස, ත්‍රස්තවාදී රාජ්‍යයට එරෙහි වන අරගලකරුවන් නොවේ. එය දකුණට සේ ම උතුරටත් පොදු ය. බහුතර වත්මන් දකුණු අරගලකරුවන් යළි යළි උදම් අනනා ලෙසට, නිරායුධ වූ පමණින් අරගලයක් ‘ආදරණීය’ නොවේ. සන්නද්ධ වූ පමණින් අරගලයක් ‘අනාදරණීය’ නොවේ. දකුණු අරගලකරුවන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රශ්න කරමින් සිටිනා මේ මොහොතේ දී, උතුරු අරගලකරුවන් විසින් දකුණේ බහුතරය එම පනතට එරෙහි වන දේශපාලන පදනම ප්‍රශ්න කරමින් සිටියි. ඒ සාධාරණ නිවැරදි තර්කයන් මත පිහිටා සිටිමිනි. ‘ත්‍රස්තවාදය’ පිළිබඳව රාජ්‍යය විසින් දකුණේ සාතිශය බහුතරයට ලබා දී ඇති දෘෂ්ටියට ගොදුරු වූවන්ට ද ඔවුන්ගේ ප්‍රකාශයන් මගහැර යා නොහැකි වනු ඇත.

පහත දැක්වෙන්නේ උතුරේ දෙමළ සහෝදරයකු විසින් මේ මොහොතේ තැබූ සටහනක සිංහල පරිවර්තනයකි.

 Delrukshan 2022.10.29

”රඝුපති ෂර්මා නමැති ශෛව පූජකවරයා ත්‍රස්තවාදී පනත යටතේ වසර 300ක සිර දඬුවමකට යටත්ව තවමත් සිරගතව සිටියි. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙකු වන අවුරෝරන් 2008 වසරේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දේශපාලන සිරකරුවෙකු ලෙස පසුගිය වසර 12ක කාලයක් සිරගතව සිට ඇත. බලහත්කාර පාපොච්චාරණයක් මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ආනන්ද සුදාකරන් තවමත් සිරගතව සිටියි. චිත්‍රපට සංස්ථා දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂ කනකසබෙයි දේවදාසන් ත්‍රස්තවාදී පනත යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටියි.  පාර්තීපන් වයස අවුරුදු 19 දී අත්අඩංගුවට ගෙන වසර 26ක් දේශපාලන සිරකරුවෙකු ලෙස සිරකර තබා ඇත. දෙමළ වෛද්‍යවරයකු වන සිවරූබන් 2019 වසරේ සිට රඳවා තබා ඇත. දේශපාලන සිරකරුවෙකු වූ සෙල්ලපිල්ලේ මහේන්ද්‍රන් වයස අවුරුදු 19 සිට වසර 26ක් සිරගතව සිට 45 හැවිරිදි වියේදී සිරගෙදරදී මිය ගියේය. වසර 13ක් සිරගෙයින් නිදහස් වීමට බලාපොරොත්තුවෙන් සිටි මුත්තයියා සහදේවන් දියවැඩියා රෝගයෙන් පෙළුණු අතර වකුගඩු රෝගයෙන් බන්ධනාගාරයේදීම මිය ගියේය. දෙමළ දේශපාලන සිරකරුවෙකු වන තිරු ගනේෂන් නිමලරූබන් සිරගෙදරදී පහර කෑමට ලක්ව මිය යයි. එම සිද්ධියේදී මරියදාස් දිල්රුක්ෂාන් නමැති දේශපාලන සිරකරුවාට ද පහර දී ඝාතනය කරන ලදී. එසේම බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 41 දෙනාගෙන් 27 දෙනෙකු ඝාතනය කර තිබේ.”

 
ඉහත සඳහන් කර ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. ඔවුන් වැනි තවත් සිය ගණනක් කිසිදු මූලික හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටිති. යුක්තිය ඉටු නොවී බොහෝ දෙනෙක් සිරකඳවුරු තුළ මිය ගියහ. බොහෝවිට ඔවුන්ට පහර දී මරාදමන ලදී. සමාජ මාධ්‍ය ජාලාවල සිදුකළ පළකිරීම් සඳහා පමණක් 80කට අධික පිරිසක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන තිබේ. මේවා ප්‍රමාණවත් නොවූවාක් මෙන් හිටපු ඇමති ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ත්‍රස්ත මර්දන පනත යටතේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන්ට මරණීය තර්ජනය කළේය.

ත්‍රිකුණාමලය කුමාරපුරම් සමූලඝාතනය, ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනෙකු ඝාතනය, ජාත්‍යන්තර ඇක්ෂන් රාජ්‍ය නොවන සංවිධානයේ සේවක සංහාරය, කොළඹින් පැහැරගෙන යන ලද දෙමළ සිසුන් 11 දෙනෙකු ඝාතනය කිරීම යන සිද්ධීන්වලට සම්බන්ධ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

එලෙසම රවිරාජ්, ජෝශප් පරරාජසිංහම් ඝාතනවලට සම්බන්ධ පිල්ලෙයාන් සහ හමුදා නිලධාරීන් ද නිදහස් විය. මිරුසුවිල් ප්‍රදේශයේදී පස් වියැති දරුවකු ද ඇතුළුව දෙමළ ජාතිකයන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනයට නියම වූ යුධ හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායකට පොදු සමාව හිමිව ඇත.
ගිනි අවි ළග තබා ගැනීමේ නඩුවකට සිරදඬුවම් නියම වූ මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරාධිපති සුමන හිමියන්ට පොදු සමාව හිමිව තිබේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිරදඬුවම් විඳිමින් සිටි ඥානසාර හිමියන්ට පොදු සමාව ලැබී ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස පසුගිය කාලයේ පත් කෙරිණි. ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ජූඩ් ශාමන්ත ජයමහට ද පොදු සමාව හිමි විය.

 මේවායින් පෙනෙන්නේ, නීතිය සාධරණ නොවන බවයි. පවතින්නේ නීති විරෝධී පාලනයකි. අධිකරණය විසින් එම නීති විරෝධී පාලනය පිළිගෙන තිබේ. එනම් ලංකාවේ සිංහල බෞද්ධ දේශපාලන අධිකාරිය, නීතිය හා අධිකරණයට වඩා ඉහළින් පවතී. සිංහල බෞද්ධ දේශපාලනයේ හෝ ජාතික ආරක්ෂාවේ මූලික මතවාදය ප්‍රශ්න කිරීමට නීතිය හෝ අධිකරණය කිසිවිටෙක සූදානම් නැත…’
මෙම අදහස් දක්වන දෙමළ සොයුරාගේ අනන්‍යතාව හෙළි නොකිරීමට සිදුව ඇත්තේ ද නීතිය විසින් ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කර ඇති බැවිනි. මේ අනුව නැවත නැවත තහවුරු වන්නේ නීතිය යනු මූලිකවම රාජ්‍ය පීඩනය සුරකිමින් ජනතාවට එරෙහිව පවතින්නක් බව යි.

(තක්ශිලා ස්වර්ණමාලි)
thakshilasvarnamali.blogspot.com