RDA මේ මොකෝ ?

0
325

මේ දිනවල පවතින වැසි වැසි සහිත කාලගුණය හේතුවෙන් මීගමුව නගරය ඇතුළු ප්‍රදේශවල සමහර ස්ථානයන් හී වැසි ජලය එකතු වී ඇති ආකාරය දැකගත හැකිය. විශේෂයෙන්ම මීගමුව ආශ්‍රිත ප්‍රධාන මාර්ගයේ එනම් මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ සමහර ස්ථානවල වැසි ජලය එකතු වී ඇති ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. මෙවැනි  තත්ත්වයක් තුළ බොහෝ දෙනෙකු ප්‍රකාශ කළේ ප්‍රධාන මාර්ගයේ දෙපස තනා ඇති කානු වලින් නිසි ලෙස අප ජලය ගලා නොබැසීම නිසා මෙලෙස තැන තැන වැසි ජලය එකතු වී තිබෙන බවයි. එම කානු නිරීක්ෂණය කළ විට පවා දැකගැනීමට හැකි වූයේ එම කානු පද්ධතියේ සමහර ස්ථාන ජලය නිසි ලෙස ගලා යෑමට නොහැකි වන සේ යම් අපද්‍රව්‍යයන් එම කානු වල සිරවී ඇති ආකාරයයි. එලෙසම එම කානු තුළ තණකොළ. ඇතුළු වල් පැළෑටි සහ කුඩා වැල් වර්ග වැවී ඇති ආකාරයද දැක ගත හැකි විය. එලෙස කානු තුළ, තණකොළ ඇතුළු කුඩා වල් ගස් සහ වැල් වැල් වර්ග වැවී තිබීම හේතුවෙන් කානුවලින් නිසි ලෙස ජලය ගලා යෑමට බාධා වී ඇති ආකාරය ද දැකගත හැකි විය. මේ පිළිබඳව අප ප්‍රවෘත්ති වෙබ් අඩවිය (www.meepura.com) මගින්ද වැසි සමය ආරම්භ වීමට පෙරාතුව සිටම වගකිවයුතු නගර බලධාරීන් සහ පාඨකයන්ව දැනුවත් කළෙමු.

කෙසේ වුවද වැසි සමය ආරම්භ වී දින කීපයක් ගෙවුණු පසු හෝ මෙම ප්‍රධාන මාර්ගය (මීගමුව-කොළඹ) දෙපස ඇති කානු මාර්ග පිළිබඳ වගකිය යුතු රජයේ ආයතනය වන මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අවධානයට ලක් වී ඇති ආකාරය දැකගැනීමට හැකි විය. එනම් (2024/05/20) ඊයේ දිනයේ මීගමුව ගල්කන්ද හන්දියේ සිට කුරණ දෙසට වන්නට, ප්‍රධාන මාර්ගයේ වම් පස කානු මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරු සේවකයන් විසින් සුද්ද පවිත්‍ර කරනු දැකගැනීමට හැකි විය. වැසි සමය ආරම්භ වී දින කීපයක් ගත වුවත් එලෙස ඔවුන් එම කාර්යයට මැදිහත්වීම පවා අගය කළ යුතු ක්‍රියාවකි.
එහෙත් එලෙස කානු මාර්ගය ශුද්ධ පවිත්‍ර කර, කානුමාර්ගයේ වැවී තිබුණු තණකොළ ඇකුළු වල්පැළ සහ අවශේෂ වැල් වර්ග ගලවා දමා කානු අසලම ගොඩ ගසා තිබීම ද දැකගැනීමට හැකි විය. මාර්ගය දෙපස සිටින ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පැවසුවේ නැවත ඇතිවන සුළු වර්ෂාවකින් පවා මෙලෙස කානු අසලම ගොඩගසා ඇති එම වල්පැළෑටි සහ අපද්‍රව්‍ය නැවත කානුවලටම සේදී යාම, සිදු විය හැකි බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම අපද්‍රව්‍ය සහ එම වල්පැළෑටි කානු ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු එම කාණු අසලින් ඉතා ඉක්මනින් ඉවත් කළේ නම්, මෙවැනි තත්ත්වයක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නම සඳහන් කිරීමට අකමැති ව්‍යාපාරිකයකු පැවසුවේ එම අපද්‍රව්‍ය සහ වල්පැළෑටි රැගෙන යාමට මීගමු මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයදැනුවත් කළ යුතු බවයි.
මේ පිළිබඳව අප මීගමු මහා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ ප්‍රධාන මාර්ගය දෙපස ඇති කානු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීම සහ එම අපද්‍රව්‍ය රැගෙන යෑම මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යභාරයක් බවයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කළහොත් එම අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මහා නගර සභාවේ කසල අංගනය ලබා දිය හැකි මුත්, ඒවා ඉවත් කිරීම නගර සභාවේත් ,තම අංශයේ රාජකාරියක් නොවන භාවයි.
ඒ අනුව අප මීගමුව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට දුරකථනයෙන් කතා කළ විට එහි සිටි නිලධාරියෙකු අප හා පැවසුවේ ඊයේ දිනයේ (20/05/2024) මීගමු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මීගමු -කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස කානු මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමට කටයුතු කළ බවයි. ඒ අනුව  එම කානු වල රැඳී තිබුණු අපද්‍රව්‍ය ඉවත්කිරීම මෙන්ම ඒවා එම කානු අසලින් රැගෙන යාම තම ආයතනයේ කාර්යයක් බවත් ,  එම කාර්යයන් එලෙස සිදුවී නොමැති නම් තමන් ඒ පිළිබඳව මීගමුව මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ තාක්ෂණය නිලධාරීවරයා ඉතා ඉක්මනින්ම දැනුවත් කර එම අපද්‍රව්‍ය එම කානු මාර්ගය අසලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
කෙසේ වුවද මේ කානු වලින් ඉවත් කල එම අපද්‍රව්‍ය ඉතා ඉක්මනින් එම කානු අසලින් ඉවත්කර නොගතහොත් මැයි 20 වනදා මාර්ගයේ සංවර්ධන අධිකාරියේ සේවකයන් කාණු මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරීමට ගත් උත්සාහය අපතේ යනු ඇත.