SUPER STARS සොඳුරු ආඥාදායකයා අර්නස්ට් සොයිසා සමඟ ආදරණීය කතාබහක්

0
296
 

 

 

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයට අභිමානයක් හා පෞරුෂයක් එක් කළ යුග පෙරළිකරුවන් වූයේ ඔවුන්ය. මේ සත්සර විප්ලවවාදීන්ගේ දස්කම්, විස්කම් නරඹන්නට එදා ප්‍රසංග වේදිකා භූමියට එක් රොක් වූ රසික පිරිස් දස දහස් ගණනකි. වසර ගණනාවක් පුරා සිය ජනප්‍රියත්වයත්, කීර්තියත් රැක ගන්නට සමත් වූ මේ සුපිරි තරු කණ්ඩායමට නැතහොත් ‘සුපර් ස්ටාර්ස්’ලාට අභියෝග කළ හැකි වෙනත් සංගීත කණ්ඩායමක් එදා නොසිටි බව තතු දන්නා අයට රහසක් නොවේ.

එහෙත් කාලයත් සමඟ ‘සුපර් ස්ටාර්ස්’ලාගේ රශ්මි ප්‍රභාව කළු වලාවන් අතර සැඟව ගියේ සංගීත කණ්ඩායම්වලට පොදු ඉරණම ඔවුනට ද අත්කර දෙමිනි. එතැන් පටන් ‘සුපර් ස්ටාර්ස්’ යනු සොඳුරු අතීත මතකයක් පමණක් විය.

විසි පස් වසරකට පසු දැන් අපට මෙසේ ඔවුන් පිළිබඳ කතා කිරීමට සිදුව ඇත. ඒ සුවිශේෂි කරුණක් මුල් කර ගනිමිනි. එය මෙරට සංගීත රසකාමීන්ගේ ප්‍රහර්ෂයට හේතු වනු නිසැකය. බිඳී, විසිරී ගිය ‘සුපර් ස්ටාර්ස්’ බලමහිමය නැවත එක්තැන් කොට සුවිශේෂී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා ඇත. SUPER STARS – SUPER CONCERT-2015 නමින් එම ප්‍රසංගය මෙම 07 වැනි සෙනසුරාදා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

ඒ පිළිබඳ මෙන්ම ‘සුපර් ස්ටාර්ස්’ අතීත මතකයන් අප වෙත ගෙන එන්නට එහි නියමුවා වන ප්‍රවීණ වාද්‍ය ශිල්පී හා සංගීතඥ අර්නස්ට් සොයිසාට අප ඇරියුම් කළෙමු.

මේ වගේ ප්‍රසංගයක් පවත්වන්නට තීරණය කළේ ඇයි?

අවුරුදු විසි පහකට පස්සේ තමයි අපි මේ විදිහට අපේ රසිකයන් අතරට එන්නේ.  ‘Legends of the 70’s’  කියන අර්ථයෙන් තමයි මේ වගේ ප්‍රසංගයක් පවත්වන්න අපි හිතුවේ. ඇත්තටම මේක අපි හිතලා සංවිධානය වෙලා කරන ප්‍රසංගයකට වඩා රසික, රසිකාවන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න සූදානම් වූ අවස්ථාවක් කිව්වොත් හරි. ‘අයියෝ ඕගොල්ලේ ආයේ සෙල්ලම් කරන්නකෝ’ කියන ආරාධනාව අපට හැම තැනකින්ම නැඟුණා. ඉතින් මෙතනදි සරතුයි, උපාලියි, මමයි, මහින්දයි, මොරිසුයි එකතු වෙලා තමයි මේ ප්‍රසංගය කරන්න තීරණය කළේ. ඒත් අපි පොඩි වෙනසක් එක්ක තමයි මෙදා රසිකයෝ අතරට එන්නේ.

ඒ වෙනස ගැන කිව්වොත්?

අපේ ට්‍රම්පට් වාදකයෝ දෙන්නම ඉන්නේ අමෙරිකාවේ. වෙනත් ට්‍රම්පට් වාදකයෝ යොදා ගන්න අපි කැමැති වුණේ නෑ. ඒ වෙනුවට අපි වයලීන වාදකයෙක් සහ ඔක්ටපෑඩ් වාදාකයෙකු සම්බන්ධ කරගත්තා. ඒ රාමා සහ තරින්ද. 70 දශකයේ අපි භාවිතා කරපු සංගීත විලාශයට වඩා වෙනත් විලාශයකින් තමයි අපි මේ ප්‍රසංගය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපේ අනන්‍යතාවය වෙනස් කරනවා කියන එක නෙවෙයි. මින් ඉදිරියට Concert ටයිප් එකට තමයි අපි Shows කරන්න තීරණය කර තිබෙන්නේ. මේ එහි ආරම්භය.

ඒ කියන්නේ ආයේ Super Stars එළිමහන් ප්‍රසංග වේදිකාවට යන්නේ නෑ?

එදා කරපු දේවල් අද කරන්න බෑ. එළි වෙනකල් නිදි මරාගෙන ඒ දාපු සෙල්ලං අද අමාරුයි. ඒ ඉතින් තාරුණ්‍යයේ ජවය තියෙන කාලෙනේ. අපේ සංගීත කණ්ඩායම ආරම්භ කලේ 1975 දී. එදා ඉඳලා වසර පහළොවක් එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සංගීත කණ්ඩායමක් වුණා අපි.

මේ ප්‍රසංගය සඳහා මම හිතන්නේ ජනප්‍රිය ගායන තරු රැසකුත් සම්බන්ධ වෙනවා?

ඔව්, ඉන්ද්‍රාණි පෙරේරා, සුනිල් පෙරේරා, සොහාන් වීරසිංහ, නලින් පෙරේරා, කොරින් අල්මේදා, එරල් ප්‍රනාන්දු සහ පෝල් ප්‍රනාන්දු ප්‍රධාන ගායක, ගායිකාවන් විදිහට ප්‍රසංගය රසවත් කරනවා. ඊට අමතරව දිස්නා නානායක්කාර, පීටර් රොසයිරෝ, චමිල මධුෂාන්, ක්ලයිව් ජෑන්ස්, දේවි ශ්‍යාමන් හා බ්‍රයන් ෆිලිප්ස් යන අයත් අපට ගායනයෙන් සහාය වෙනවා. සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ ගීත කිහිපයකුත් අපි ගායනා කරනවා. ඒ වගේම උපාලි කන්නංගරත් ඔහුගේ ගීත ටිකක් මොඩිෆයි කරලා ගායනා කරනවා. මේ ප්‍රසංගයේ නිවේදන කටයුතු කරන්නේ විජය කොරයා සහ ආරියසිරි විතානගේ. කෙවින් නුගේරා ඇතුළු පිරිසගේ නර්ථන අලංකාරයත් මේ ප්‍රසංගයේදී රසිකයන්ට අත් විදින්නට පුළුවන්.

ඉදිරියටත් මේ ප්‍රසංගය පවත්වනවාද?

ඒක තීරණය වෙන්නේ මේ ප්‍රසංගයට අපට ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක. එයාලට මේ වැඩේ ඇල්ලුවොත් අපි දිගටම ඒ අවශ්‍යතාවය ඉටු කරනවා. ඒ වගේම විදේශ සංචාර සඳහාත් අපට ඇරැයුම් ලැබී තිබෙනවා. විදෙස් ප්‍රසංගයක් සඳහා මුලින්ම සහභාගි වුණ ලාංකික සංගීත කණ්ඩායම අපි. 1985 වර්ෂයේදී අපි කුවේට් හා බහරේන්වලදී ප්‍රසංග දෙකක් පැවැත්තුවා.

ඒ කාලේ දෙකක් නෑ  Super Stars කියන්නේ අපේ රටේ Number One සංගීත කණ්ඩායම. අදටත් ඒ ජනතා කැමැත්ත තියෙනවා කියලා හිතනවාද?

ඒ ජනප්‍රියතාවය එදා තරමටම නැති වුණත් අදටත් අපි ජනප්‍රියයි. හැබැයි අපේ තරුණ පරම්පරාව අපි ගැන දන්නවා අඩුයි. ඒ කියන්නේ දැන් නොයෙක් ජාතියේ ගායක ගායකයන්ගෙන් පිරිලා මේ ක්ෂේත්‍රය. අපේ රටේ ඉන්න සෙනඟ තරමටම ගායක, ගයිකාවෝත් ඉන්නවා. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් පැරණි අය ගැන අලුත් පරම්පරාවට තිබෙන අවබෝධය මදි. ඒකට හේතුව අපේ ගීත ඉඳලා, හිටලා රූපවාහිනියෙන් විකාශය වෙනවා හැර අපි නිතර දකින්නේ නැති නිසා. අපි මේ ප්‍රසංගයේදී උත්සාහ කරන්නේ නැවතත් මිනිස්සු අතරට යන්න. විශේෂයෙන්ම තරුණ පරපුර එක්ක සම්බන්ධ වෙන්න.

ප්‍රසංග වේදිකාවට නොයන්නේ අද ඉන්න තරුණ සංගීත කණ්ඩායම්වලට තරගයක් දෙන්න බැරි නිසා කියලා කෙනෙක් හිතන්න පුළුවන්?

තරගයක් දෙන්න පුළුවන්. රසිකයෝ අපිව බලන්න එයි. ඒත් දැන් අපට අවශ්‍යය ටිකක් විවේක සුවයෙන් මේ කාර්යය කරන්න. ඊයේ පෙරේදා අපි එක්තරා රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වුණා. පැයක් ගියෙත් නෑ වෙඩිං එකකට කතා කළා අපට. මේ ඈත ගම් පළාතකින්. අර පරණ මතකය අවධි වෙනකොට එහෙම තමයි ඉතිං.

අද තිබෙන සංගීත කණ්ඩායම් පිළිබඳ ඔබේ අදහස?

මම ඒ අයට දොස් කියන්නේ නෑ. නමුත් බොහෝ අයගේ සංගීතය ඝෝෂාකාරියි. රළුයි. ඒ තාරුණ්‍යයේ ජවය කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි.

සංගීත කණ්ඩායමක් කිව්වාම අනිවාර්යයෙන්ම පිල් බෙදීම්, විරසක වීම් ඇති වෙනවා. ඒක නෙවිල් ප්‍රනාන්දුගේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ කාලේ ඉඳලාම තිබුණ දෙයක්. අදත් එහෙමයි. Super Starsලාටත් ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිදු වුණා නේද?

ඒ වගේ රාවයකුත් ගියා. උපාලියි, ඩෙස්මනුයි, මොරිසුයි පිටරට ගියා. උපාලිනේ සිංදු කිය කියා හිටියේ. ඩෙස්මන්ඩ් රොඩ්‍රිගෝ හිටියෙත් Band  එකත් එක්කමයි. ඉතින් ඔවුන්ගේ වෙන්ව යාමත් එක්ක නිකං බෙදීමක් වගේ වුණා. ඒ වගේම Band  එකේ අයගෙත් පොඩි, පොඩි ප්‍රශ්න තිබුණා මේ දිගටම ප්‍රසංගවලට සහභාගි වන එක ගැන. ඒ කියන්නේ ඒකාකාරී සහ අවිවේකී බව නිසා. අවසානයේ ඔය ප්‍රශ්න හින්දා මම සංගීත කණ්ඩායම නැවැත්තුවා, දැන් එහෙනම් ඇති කියලා.

ඉන් පසු ඔබත් විදෙස්ගත වුණා?

මමත් රට ගියා. ඊට පස්සේ තමයි අනෙක් අය සරත් ද අල්විස් එක්ක එකතු වෙලා ‘Knight Rider’ සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ. ඊට පස්සේ ‘ඩයිනමයිට්’ Band  එක. ප්‍රශ්නයක් වුණේ නෑ ඉතින්. එයාලත් ජීවත් වෙන්න එපායැ. ඔය වෙනකොට තමයි රාවයක් ගියේ Super Stars  ලා කැඩිලා කියලා.

කොහොම හරි ආයේ එක ජාතියේ කුරුල්ලෝ එකට එක්කාසු වුණා?

ඔව්, ඔව්, ඔව්.

ඒ කාලේ ඔබ සංගීත කණ්ඩායමේ වගේම ගායක, ගායිකාවන් අතරත් කිසියම් අණසකක් පතුරවගෙන හිටපු කෙනෙක්. මේ වගේ දරදඬු ප්‍රතිපත්තියක් එදා ඔබ අනුගමනය කළේ ඇයි?

ඒ වගේ දරදඬු ප්‍රතිපත්තියක් එදා මම අනුගමනය නොකළා නම් ඔය ගායක, ගායිකාවන් බොහෝ දෙනෙක් අද මේ තත්ත්වයේ නෑ. ඒ කින්නේ පුළුවන් කෙනා හැමදාම එක. අපි නිකං උදාහරණයට ගම්මුකෝ එම්. එස්. ප්‍රනාන්දු. ඔහු ඇවිත් ‘දැන් මමයි සිංදු කියන්නේ’ කියලා කිව්වාම අනෙක් අය ඔක්කෝම අයින් වෙන්න ඕනෑ. ජෝතිපාල ආවත් ‘නෑ මමයි කියන්නේ’ කිව්වාම අනෙක් අය ඉඩ දෙන්න ඕනෑ. ලොකු කට්ටිය ඒ වගේ. පොඩි කට්ටිය එතකොට ඉබේම අන්තිමට ඉතිරි වෙනවා

මේ ක්‍රමය ඔබ වෙනස් කළා?

ඔව්. ආපු පිළිවෙලට තමයි සිංදු කියන්න ඕනෑ. ජෝතිපාල අන්තිමට ආවා නම් එයා තමයි අවසානයට කියන්න ඕනෑ. එම්. එස්. ආවා නම් ඒත් එච්චරයි. ඉතින් එහෙනම් වේලපහින් එන්න පුරුදු වෙන්න ඕනෑ. දැන් වගේ නෙවෙයි සමහර ප්‍රසංගවල ගායක, ගායිකාවෝ පනහ, හැට සිංදු කියනවා. පාන්දර වෙනකල්  Show එක යනවා. ඒ වගේ වෙලාවට එක ශිල්පියෙකුට සිංදු දෙකක් කියන්න කියලා මම දැනුම් දෙනවා.

ඒ වගේ ප්‍රතිපත්ති ඉස්සර කරපු නිසා තමයි ඔය විදිහට ඒක කරගෙන ගියේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ, ගායක, ගායිකාවන්ගේ තත්ත්වය මොකක්ද අද? සංගීත කණ්ඩායම පැය එක හමාරක්, දෙකක් වේදිකාව උඩ තමන්ගේ ශිල්ප හරඹ දක්වනවා. ගායක ගායිකාවෝ පල්ලෙහාට වෙලා ඉඳගෙන ඒක බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ සිංදුත් අරගොල්ල කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ.

එදා Band Session කියලා පැය ගණන් play කළේ නෑ?

නෑ. අපි සිංදුවක් ගායනා කරලා Voice Balance එක ගන්නවා. මියුසික් එකක් ගහලා Instrument Balance  එක ගන්නවා. එක ගීතයක් නැතිනම් දෙකක් පමණයි අපි ගායනා කරන්නේ. ඊට පස්සේ ගායක, ගායිකාවෝ වේදිකාවට නැගලා ලස්සනට ගීත ටික ගායනා කරනවා. දැන් අද ඒක කරන්න දෙන්නේ නෑ. වාදක මණ්ඩලය සේරම තමන්ගේ අතට අරගෙන. ගායක, ගායිකාවෝ අද කියන්නේ මම එදා කරපු දේ හරි කියලා.

එදා මෙදාතුර ඔබ ඇස් පනාපිට දැකපු වැඩිම රසික ප්‍රතිචාරයක්, ආදරයක් ලැබූ ගායන ශිල්පියා කවුද කියා මා ඇසුවොත්?

එක එක වකවානුවල එක එක අය ආවා. මිල්ටන් මල්ලවාරච්චි ආපු කාලේ ඔහු මිනිසුන්ගේ සිහිනයක්. එයා ගීත ගයනවා බලන්න රසිකයෝ පෝලිමේ එනවා. මිල්ටන් ඔහේ එක තැන හිටගෙන ගීත ගයනවා. ප්‍රියා සූරියසේන ආපු කාලේ ඔහු වටා රසිකයෝ එක් රොක් වුණා. අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වගේ ගායකයෝ හැමැදාම එක ස්ථාවරයක හිටියා. මිනිසුන්ගේ ලොකු ගරු කිරීමකුත් තිබුණා ඒ අයට. දැන් එච්. ආර්. ජෝතිපාල කිව්වම අදටත් අමරණීයයි. මොහිදින් බෙග් කිව්වම අදටත් මිනිස්සු අතර ජනප්‍රියයි. ඒත් සමහරු ආවා, සිංදුවක් කිව්වා. ඊට පස්සේ දකින්නත් නෑ. සෝඩා බෝතලේ කැඩුවා වගේ.

ඒ කාලේ අපේ බොහෝ ගායන ශිල්පීන් මධුවිතත් එක්ක කිට්ටු සම්බන්ධයක් තිබ්බා. ඒ නිසාම සමහරුන්ට අකාලයේ ජීවිතයෙන් සමු ගන්න පවා සිද්ධ වුණා. ඒත් අද එහෙම තත්ත්වයක් නෑ නේද?

අද තරුණ ගායකයෝ වැඩ කරන්නේ හොඳට හිතලා මතලා. ඉස්සර අය කරපු දේවල් නොකර මුදලක් හම්බ කරගෙන ටික කලකින් අයින් වෙන්න ඕනෑ කියලා දැනගෙන ගෙවල් හදාගෙන, වාහන අරගෙන ඒ විදිහට ජීවත් වෙනවා. ඒ අය හරි ඒ අතින් බලනකොට. ඉස්සර අය ඒවා ගණන් ගත්තේ නෑ. එයාලා හිතුවේ මුළු ජීවිත කාලෙම එක වගේ සල්ලි හම්බ වෙයි කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. එක කට්ටියක් මේ පැත්තෙන් එනකොට අනෙක් කට්ටිය යනවා. හරියට කරත්ත රෝදෙ වගේ තමයි. ඒක වෙන්නම ඕනෑ. ඒක තමයි ලෝක ස්වභාවය.

ඉස්සර බොහෝ වෙලාවට Super Stars එකක් ඉවර කරන්නේ ඩෙස්මන්ඩ් රොඩ්රිගෝගෙන්. ඔහු තමයි අවසන් ගායකයා?

ඔව්. ඩෙස්මන්ඩ් ඒ කාලේ අපේ බෑන්ඩ් එකත් එක්කම හිටපු ගායකයා නිසා අපි ඔහු අවසානයට තියා ගන්නවා. අපිත් එකක්මයිනේ යන්නේ එන්නෙත්. ඔහු ‘බෲස්ලී’ ගීතය ගයනවා බලන්න රසික, රසිකාවෝ අවසානය තෙක්ම රැඳී ඉන්නවා. එදා ඩෙස්මන්ඩ්ට තිබුණේ ඒ වගේ ජනප්‍රියත්වයක්.

දැන් ඔහු මේ ප්‍රසංගයට සහභාගි වෙන්නේ නැද්ද?

මම හරිම කැමැත්තෙන් හිටියේ ඔහු මේ Show  එකට සම්බන්ධ කර ගන්න. ඒත් නිවාඩු ප්‍රශ්නයක් නිසා ඩෙස්මන්ඩ් කිව්වා ප්‍රසංගයට සහභාගි වෙන්න නොහැකි බව. ඔහු අමෙරිකාවේ ඉඳලා ලංකාවට එහෙම ආවොත් සමහරවිට රැකියාව පවා අහිමිවීමේ අවදානමක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් එහෙ තියෙන්නේ අමාරු තත්ත්වයක්.

ප්‍රසංග වේදිකාවේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති?

ඕනෑ තරම් තියෙනවා. දවසක් කිරිමැටියාගාරෙ පල්ලිය ඉදිරිපිට ප්‍රසංගයක් තිබුණා. මොහිදීන් බෙග් ඇවිත් කිව්වා මමයි මුලින්ම කියන්නේ. ඒ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය කියලා. මම කිව්වා මාස්ටර් අනේ ඒක නම් කරන්න එපා කියලා. ඒ ඇයි කියලා ඔහු ඇහුවාම සාන්ත අන්තෝනි මුනිතුමාත් ඔය සිංදුව අහලා බුද්ධාගමට හැරෙයි කියලා මම කිව්වා. එතකොට මාස්ටර් ආයේ මගෙන් ඇහුවා එහෙම වෙන්නේ කොහොමද කියලා. මම කිව්වා එහෙම තමයි වෙන්නේ කියලා. ආ එහෙනම් අපි ලතා වල්පොලට දෙමු නමෝ මරියනී කියන්න කියලා බෙග් මාස්ටර් ලතාට මුලින්ම අවස්ථාව දුන්නා.

ඒ කාලේ ගායක, ගායිකාවෝ තමන්ගේ මුදල වැඩි කර ගන්නෙත් ඔබට කියලාලු?

ඇත්ත, ඇත්ත. සමහරු රුපියල් විසි පහක්, පනහක් වැඩි කර ගන්න මට මාසෙකට විතර කලින් තමයි දැනුම් දෙන්නේ. සමහර ගායක, ගායිකාවෝ සම්බන්ධ කර ගන්නේ Band එක හරහානේ. ඉතිං මම තමයි සංවිධායකයන්ට ආ(ර්)ටිස්ලගේ ගණන් කියන්නේ. ඔය විදිහට තමයි මම මේක ඒ කාලේ පාලනය කරගෙන ආවේ. ඒත් අද සමහර විට ගායක, ගායිකාවන්ව ගණන් ගන්නේවත් නෑ සංවිධායකයෝ.

කොහොම වුණත් ‘සුපර් ස්ටාර්ස්’ලාගේ වැඩ කිඩ බලන්න රසිකයන්ට දැන් ආයෙත් අවස්ථාව උදා වෙලා?

අපි ප්‍රසංග වේදිකාවේ රජ කරපු අය. ආයෙත් එතනට යන්න අපට බෑ. උවමනාත් නෑ. ඒත් අපට සංගීතය අත් හරින්නත් බෑ. ඒ නිසයි මෙවැනි කොන්සර්ට් එකකින් යළිත් රසිකයෝ අතරට ආවේ. එහෙම ආවෙත් ඔවුන්ගේ ඉල්ලීම මත. කාලෙකට පස්සේ හරි අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ප්‍රසංගය පවත්වන්න ඉඩ ලැබුණ එකට මම හරි ආසයි.

ඔබේ  Super Stars සංගීත කණ්ඩායම ආදරණීය රසික ජනතාවට මොකද මේ වෙලාවේ කියන්නේ?

මම කියන්නේ පුළුවන් නම් මේ 07 වැනිදාට නෙළුම් පොකුණ රඟහලට එන්න. ඇවිත් නරඹන්න මේ ප්‍රසංගය. සාමාන්‍ය ප්‍රසංගයකට වඩා මෙහි විශේෂත්වයක් තිබෙනවා. ජිප්සීස් නායන සුනිල් පෙරේරා, මේරියන්ස් නලින් පෙරේරා, එකොට සොහාන් වීරසිංහ වගේ අය දකින්න ලැබෙන්නේ නෑ එයාලගේ ගෲප් එකෙන් පිට. ඉතින් ඔවුනුත් අපේ වේදිකාවට ගෙනල්ලා අපි මේ පවත්වන්නේ අමුතුම විදිහේ ප්‍රසංගයක්. මේ නැවුම් අත්දැකීම විඳගන්න එන්න කියලා මම හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here