U.B ෆිනෑන්ස් සමාගමේ සක්විති ගේම ගැන – රන්සිත්ගෙන් සක්විති පැහැදිළි කිරීමක්

0
49

“UB ෆිනෑන්ස් සක්විති ගේමක: මීගමු මුඩ්ලියරුත් පිටිපස්සේ” යන සිරස්තලය යටතේ සත්හඩ පුවත්පත විසින් පළකර තිබුණ   ලිපිය සම්බන්ධයෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ රන්සිත් කරුණාරත්න මහතා කරුණු පැහැදිළි කිරීමට ලිපියක් එවා තිබිණි.

ඔහු අදාළ ලිපිය මගින් එම පුවත අසත්‍ය හා දෛශසහගතව ලියන ලද්දක් බවද දක්වා තිබිණි. අප ඔහුට මුලින් අවධාරණය කරනු ලබන්නේ අදාල ලිපිය අප සත්හඬ ඉරිදා පුවත්පත පල කල ලිපියක් ආශ්‍රයෙන් පලකරන ලද්දක් බවයි. (ඒ බව එහි සටහන් කරද තිබිණි)

එම ලිපියේ කරුණුවලට අමතරව අප පළකරනු ලැබුවේ මේ සිද්ධියට බලපෑම් කිරීමට මීගමුවේ මුඩ්ලියර් තැන වන ශෂික ගංගානාත් සුදුහෙට්ටි නැමැත්තා මීගමුව පොලිසියට පැමිණ AB කන්ස්ට්‍රක්ෂන් නම් සමාගමේ හිමිකරු වන අංගම්පොඩිගේ වර්ණකුමාර යන අය වෙනුවෙන් පෙනීසිටි අයුරු දැක්වෙන වීඩියෝ පටයකි.

අප රන්සිත් මහතාට පවසන්නේ අදාළ වීඩියෝ පටයේ සිටින්නේ මීගමුවේ මුඩ්ලියර් තැන නොවන්නේ නම් අප එය නිවරදි කරදීමට කටයුතු කරන බවයි.

කෙසේවුවද, අදාළ වීඩියෝ පටයේ සිටින්නේ ඔහු බව අපි නැවත වරක් කියා සිටින්නෙමු.

එසේම රන්සිත් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරුදීමට ඇති අයිතියට ගරුකරමින් අපි අප සහෝදර වෙබ් අඩවියක් වෙත ඒවා ඇති ලිපියද මෙසේ පළකරමු. එමෙන්ම  සත්හඬ පුවත නිවරදි බව පවසමින් ඔවුන් අදාළ කරුණු සම්බන්ධයෙන්   පළකර ඇති ලිපියද මෙසේ පලකරන්නෙමු.

කර්තෘ- මීපුර වෙබ් අඩවිය

රන්සිත්ගේ පැහැදිලි කිරිම
රන්සිත්ගේ කරුණාරත්න මහතාගේ පැහැදිලි කිරිම

 

සත්හඩ ලිපියි
උපුටා ගැනීම,

ෆිනෑන්ස් සමාගමේ සක්විති ගේම ගැන
රන්සිත්ගෙන් සක්විති පැහැදිළි කිරීමක්

“ෆිනෑන්ස් සමාගමක සක්විති ගේමක්” මැයෙන් 2017 -11- 05 වනදා සත්හඬ පුවත්පත පළකළ පුවත සම්බන්ධව යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් හී ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ රන්සිත් කරුණාරත්න යන අය කරුණු පැහැදිළි කිරීමේ ලිපියක් අප වෙත එවා ඇත. එම ලිපිය අනුව මීට පෙර සත්හඬ පළකළ පුවත මුළු මනින්ම කරුණු සාවධ්ය, ද්වේශසහගත සහ අපහාසාත්මක එකක්ය.

එනිසාම ගරු කටයුතු යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්න වෙත අපේ ප්‍රතිචාර දැක්වෙන මේ ලිපිය මෙසේ අරඹන්නට අපට සිත්විය. රන්සිත් කරුණාරත්න මහත්තයෝ, කිසියම් ආයතනයකට හෝ පුද්ගල පාර්ශවයකට චේතනාන්විකව අගෞරව කිරීමට තරම් මොළයේ අමාරුවක් අපට නැත. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ වන විට යූ බී ෆිනෑන්ස් ආයතනය සතුව තිබෙන එෆ් ඇන්ඩ් ජී සමාගමේ දේපල එක එක්කෙනාට පිස්සු කෙළින්නට හෝ හිතු මනාපේ දඩාවතේ යවන්නට ඇති දේපලක් නොවන නිසාය. 2016 වසරේ සැප්තැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නය ඔබට මතක නම් ඔබ ආයතනයේ කීර්තියේ දිග පළල සහ වර්ග පරිමාව ගැන ඔබට තේරුම් ගන්නට දුෂ්කර නොවනු ඇත. එසේම මේ වන විටත් එෆ් ඇන්ඩ් ජී ආයතනයේ තැම්පත්කරුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් සියදිවි හානිකරගෙන ඇති බවත් යහපත් විශ්රාම දිවියක් ගෙවන්නට සිටි මිනිසුන් අදටත් අපා දුක් විඳින බවත් අනුර දිසානායක මන්ත්‍රීවරයා කියන කතාව බොරුවක්ද? ඔබේ ලිපිය තුළ ඔබට අමතක වුවත් අදාළ සමාගමේ දේපල ඔබ ආයතනයේ කළමණාකාරීත්වය ට පවරන්නට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන්නේ අදාළ දේපල කළමනාකරණය කිරීම හරහා අදාළ තැම්පත්කරුවන්ගේ තැම්පත් මුදල් නැවත ගෙවන්නට මිසක් කොහේවත් යන ඉඩම් කපුටන්ට පිදේනි දෙන්නට නොවේය. එසේම ඉඩම් කපුටන්ට පිම්පිකම් කිරීමට අසරණ මිනිසුන්ගේ දේපල අවභාවිත කරන්නට නොවේය.

ගරු කටයුතු යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්න මහත්තයෝ, අප විසින් 2017-11-05 පළකළ ලිපිය හරහා මුලිකව ප්‍රශ්න කර සිටියේ මීගමුව පෙරියමුල්ල කොන්ටිනෙන්ටල් රෙසිඩන්සීස් හී ඉඩම් කොටස් 22ක් එනම් පර්චස් 220 කට ආසන්න ප්‍රමාණයක් AB කන්ස්ට්රක්ෂන් හිමිකරු ඒ. වර්ණකුමාරට රුපියල් ලක්ෂ 1184 ක් තරම් අඩු මුදලකට විකිණීම සැකසහිත ගනුදෙනුවක් බවටය. එසේම අප ප්‍රශ්න කිරීමට නිදර්ශනයක් ලෙස යොදා ගත්තේ, අදාළ බිම් කොටස් 22 අතර වූ බ්ලොක් 65 දරණ පර්චස්10 ක පමණ ඉඩම 2009 වසරේදී රුපියල් ලක්ෂ 120 ක් තරම් මුදලකට මිලදී ගෙන ඇති බවත් ඒ අනුව වසර 8 කට පසුව අදාළ බිම් කොටස් වලින් එක් බිම් කොටසක් ලක්ෂ 54ක් තරම් අඩු මුදලකට තක්සේරුවීම එම සැකය තහවුරු කරන්නක් වන බවය.

එසේම AB කන්ස්ට්‍රක්ෂන් හිමිකරු ඒ. වර්ණකුමාරට එෆ් ඇන්ඩ් ජී ආයතනය සමඟ සිදුකල ගනුදෙනු වෙනුවෙන් ලැබීමට ඇති ලක්ෂ 420ක් හෝ ඊට ආසන්න මුදලටද යටත්ව මෙම ගනුදෙනුව සලකා බැලුවත් එක් ඉඩම් කොටසක තක්සේරු වටිනාකමේ සාමාන්‍ය ලැබෙන්නෙ රුපියල් ලක්ෂ 73 කට ආසන්නවය. ඒ අනුව එෆ් ඇන්ඩ් ජී සමාගම සතු දේපල කුණු කොල්ලයට විකිණීමක් සිදුව ඇත්නම් එහි අවාසිය අදටත් එහි තැම්පත් කළ මුදල් හෝ පොලී මුදල් නොමැතිව සුසුම් හෙළමින් එල්ලෙන්න හොඳ කඹයක් කෝට්ටේ යට තියාගෙන සිටිනා අහිංසක ජනතාවටය. ඒ මිස සීතල කාමරවල සිටින මහත්වරුන්ට නොවේය. එනිසා මේ ගනුදෙනුව බරපතල සැක සංකා මතුකරන අතර ඊට දාලව වගකීමෙන් මිදෙන්නට ඔබට හෝ ඔබ ආයතනයට නොහැකිය.

එසේම සක්විතිගේ මුල්‍ය ආයතනයේ මුදල් තැම්පත්කරුවන්ට එම තැම්පත් මුදල්වත් නැවත ගන්නට නොහැකි වුයේ අදාළ මුදල් නිවැරදිව ආයෝජනය කරනු වෙනුවට එම මුදලින් පිස්සු නටන්නට සක්විති කටයුතු කළ නිසාය. එෆ් ඇන්ඩ් ජී සමාගමේ දේපල කළමනාකරණය වන්නේද මෙවැනි කුණු කොල්ලයට නම් එතනදී සක්විතිගේ තැම්පත්කරුවන්ගේ සහ එෆ් ඇන්ඩ් ජී තැම්පත්කරුවන්ගේ ඉරණමේ වෙනසක් නැත. එනිසා මේ සැකසහිත ඉඩම් ගනුදෙනුවට අප නැවතත් කියන්නෙ “ සක්විති ගේමක්” කියා මය.

ඒ හැර මෙම ගනුදෙනුව සිදුවුයේ ඔබගේ හෝ ඔබ ආයතනයේ වෙනත් අයෙකුගේ පෞද්ගලික බූදලයක් සම්බන්ධව නම් අපි මේ ගැන වචනයක්වත් වෙනුවෙන් මේ මුද්‍රිත අවකාශය අපතේ යවන්නේ නැත. එහෙයින් අපේ මුලික ප්‍රශ්නය ඇත්තේ ඔබ සමාගම යටතේ කළමනාකරණය වන දේපල මෙසේ කුණු කොල්ලයට විකිණීම සම්බන්ධවය. එසේම එවැනි අඩු තක්සේරුවක් සිදුකිරීම හරහා එෆ්.ඇන්ඩ් ජී තැම්පත්කරුවන්ට පමණක් නොව රජය අයවිය යුතු බදු මුදල්ද අඩු වීමය. එහෙයින් ඔබ උත්තර දෙනවා නම් දියයුතුව තිබුණේ මේ මුලික ප්‍රශ්නය කිරීමට වන අතර අප එය අපේක්ශාවෙන්ද සිටිමු.

ගරු කටයුතු යූ බී ෆිනෑන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්න ඉහත මුලික පැහැදිලි කිරීමෙන් පසුව දැන් අප ඔබ අවධානයට ගෙනෙන්නේ පෙරියමුල්ල කොන්ටිනෙන්ටල් රෙසිඩන්සීස් හී බ්ලොක් 65 බිම් කොටස ගැන කතාවටය.

ඔබ කරුණු දක්වා ඇති ආකාරයට ඉඩම් කොටස් 22 එනම් පර්චස් 220 කට ආසන්න ප්‍රමාණයක් AB කන්ස්ට්‍රක්ෂන් හිමිකරු ඒ. වර්ණකුමාරට (රුපියල් ලක්ෂ 1184 ක් තරම් අඩු මුදලකට විකිණීම සැකසහිත) විකුණන ගනුදෙනුව සිදුකරන විට එහි පෙර අයිතියක් වෙනත් කිසිවෙකුට තිබී නැත. ඔබ ආයතනය සහ වර්ණකුමාර අතර ගනුදෙනුව සිදුව ඇත්තේ 2017 – 02- 09 වනදා ය. එහෙත් 2017 -03-17 හෝ ඊට අසන්න දිනයකදී ඒ. වර්ණකුමාර යන අය ඉදිරිපත් කළ “ලේඛනගත අයිතිය වෙනස් කිරීම/ ඔප්පු සාරාංශ පත්රය ලබා ගැනීම සඳහා අයදුම්පත්රය” තුළ අදාළ ඉඩමේ 41/121 වරිපනම් ලේඛනයේ නම ලෙස මනෝරි අප්සරා විජේසිරි විමලරත්න යන අයගේ නම සටහන්ව ඇත්තේ කෙසේද? මීගමුව මහ නගර සභාවේ ගණකාධිකාරී ඒ.පී.එල්.ටී.ඩී. මහේෂිකා ගේ තක්සේරු ලේඛන ලියවිල්ලෙහි 41/121 වරිපනම් ගෙවීමේ නම ලෙස මනෝරි අප්සරා විජේසිරි විමලරත්න යන අයගේ නම සටහන්ව ඇත්තේ කෙසේද? එපමණක් නොව මෙම ඔබ ආයතනය සහ වර්ණකුමාර අතර ගනුදෙනුව සිදුකිරීමට පෙර බ්ලොක් 65 ඉඩමට අදාළව ඒ. වර්ණකුමාර විසින් ප්රකාශන ඔප්පු ලබාගෙන ඇති බව ඔබ නොදැන සිටියාද? අවම වශයෙන් ඔබලා සිදුකල මේ ගනුදෙනුව පිළිබඳව එෆ් ඇන්ඩ් ජී ප්රොපර්ටි දිවොලපර්ස් සමාගම දැනුවත්ද? මෙම ගනුදෙනුව සිදුකරන්නට පෙර ඔබ අදාල බිම් කොටස් සම්බන්ධව එම ආයතනයේ කළමණාකාරීත්වය වෙතින් විමසීමක් කළාද? අවම වශයෙන් මහත්තයෝ, මේ ඉඩම් ගනුදෙනුවට අදාළ තක්සේරු කිරීම් සිදුකළේ කවුද ?

ගරු කටයුතු යූ බී ෆිනෑන්ස් හී ප්රධාන විධායක නිලධාරී රන්සිත් කරුණාරත්න, දැනට ඔබේ කරුණු දැක්වීමට අදාළ අපේ ප්රතිචාරය මෙපමණය. එහෙත් ඒ මේ සතියට පමණක් බවත් ඉදිරියේදී තවත් මේ ගැන ලියන්න බොහෝ දේ අප සතු බවද දැනුම් දෙමු. එතෙක් අප පාඨකයන්ට දැනුම්දෙන්නේ ප්රිය පාඨකය, ගහෙන් වැටී සිටින පන්නයේ අසරණව සිටින එෆ් ඇන්ඩ් ජී තැම්පත්කරුවන්ගේ දේපල සමඟ යු බී ෆිනෑන්ස් සිදුකර ඇති මේ සෙල්ලම ගරුකළ යුතු කාර්යයක් ද යන්න සිතා බලන ලෙසය.

– කාශ්යප කොතලාවල

 

(උපුටා ගැනීම සත්හඩෙනි )

 

Save