අතුරුදහන් කළවුන්ගේ ඥාතීහු වන්නි ආ ජනපති වර්ජනය කරති

0
123
යුද්ධාවසානයේ යුද හමුදාවට භාර දුන් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට දශක එකහමාරක් තිස්සේ  අපොහොසත්  වුශ්‍රී ලංකාවේ පාලකයන් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ඇති දැඩි අකමැත්ත අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් පළ කර තිබේ.

“මේ වගේ අපිට හැමදාම වේදනාව දෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පසුබිම හදන ශ්‍රී ලංකාවේ පාලකයන් එක්ක කතා කරන්න අපි ලැස්ති නැ. මේ ජනාධිපතිත් එක්කත් කතා කරන්න අපි ලැස්ති නෑ. ජාත්‍යන්තරය හරහා අපිට යුක්තිය ඕන.”

උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී මාතාව මැයි 23 වැනිදා කිලිනොච්චියේ දී ඒ බව සදහන් කළේ උතුරේ දෙදින සංචාරයක යෙදි සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ 25 වැනිදා කිලිනොච්චියට පැමිණෙන අවස්ථාවේ තමන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට හෝ විරෝධතා දැක්වීමට කටයුතු කරන්නේදැයි පළාත් බද මාධ්‍යවේදීන් විමසු පැනයට පිළිතුරු දෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි මස 24 සහ 25 යන දෙදින තුළ උතුරේ සංචාරයක යෙදි සිටින්නේ උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා යැයි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

කිලිනොච්චියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ප්‍රදානය කළ බව ජනාධිපති කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ජනාධිපතිවරයාගේ එම රැස්වීමට එම් ඒ සුමන්දිරන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන්ද එක්වී සිටිනු දක්නට ලැබිණි.

2009 වසරේ මැයි 18 වැනිදා යුද්ධය අවසන් වු මොහොතේ සිට සිය සමීපතමයන් සොයමින් හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන් විසින් පත් කළ කොමිසන් සභා හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරයත් යුද වින්දිත යෝගරාසා කනගරංජනී මාතාව මාධ්‍යවේදීන් හමුවේ සිහිපත් කර තිබේ.

“අපිත් එක්ක රෑ දවල් ගමන් කරලා අපේ උද්ඝෝෂණය මේ ලෝකයට පෙන්නන්න, ඔයාලා දන්නවා අපි කී පාරක් ආණ්ඩුවත් එක්ක කතා කරලා තියනවාද කියලා. ශ්‍රී  ලංකාවේ ජනාධිපතිවරුන් විදිහට හිටපු අයත් එක්ක කතා කරලා තියනවාද කියලා. මෛත්‍රීපාල සිරිසේනව තුන් හතර පාරක් හමුවෙලා තියනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් හදපු කොමිෂන් සභා 12 ක් විතර හමුවෙලා තියනවා. ”

බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය අතුරින් පස් දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු සොයා දීම සදහා රජයට මාස තුනක කාලයක් කල් දෙමින් සිව් වසරකට ඉහතදී ලබාදුන් සාක්ෂි අස්ථාන ගත කර ඇති බවටත් ඇය ආන්ඩුවට චෝදනා කළාය.

“ඊට වඩා පස් දෙනාගේ ඇත්ත සාක්ෂි, පනපිටින් ඉන්න සාක්ෂි, බාර දුන්නා. මාස තුනකින් අපිට උත්තරයක් ඕන කියලා අපි කිව්වා. අවුරුදු 4 ක් ගතවෙලා පාලකයෝ දැන් කියනවා අපි අතින් ඒක නැති වෙලා, ආයෙත්  දෙන්න කියලා.”

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මේ දක්වා සමත් වී නැත.

OMPය ඇතුළු රජයේ ආයතන හා කොමිසන් ගණනාවකට කිහිප වතාවක් තොරතුරු ලබා දී ඇති දෙමළ යුද පීඩිතයන් එමගින් සත්‍යය හෙළි කරගැනීමේ ඇති හැකියාව පිළිබඳව අවිශ්වාසයෙන් පසුවෙති.

රජයේ අසමත්කම පිලිගනිමින්ම ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් පිලිබඳ විශේෂ වාර්තාවක් එළිදක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබුනේ OMP යට තව දුරටත් අනුග්‍රහය දක්වන ලෙසයි.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.

අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා රටතුල යුක්තියක් ඉටුවී නැති දෙමළ ජනතාව ඉකුත් පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.