බිලිදීම, බිලිවීම හා පාවා දීම
1. පෝට්සිටියට මුහුදෙන් වැලි හෑරුවේ ය. ධීවර සමිතිවලට ලක්ෂ 20 බැගින් වන්දි දුන්නේ ය. දැන් බටහිර මුහුදු තීරුවේ බොහෝ ප්රදේශ වේගවත් මුහුදු ඛාදනයකට ලක්වෙමින් ඇත.
2. මුතුරාජවෙල බලාගාරය ආශ්රිත ගොඩ කිරීම් සඳහා මාස 6ක් පුරා මුහුදු තහනම් කලාපයක් නියෝග කොට වැලි ටොන් මිලියන 1.5ක ගැනීමට සැලසුම් කර තිබිණි. කොයි මොහොතේ හෝ ඒ ජංජාලය යළි කඩා පාත් විය හැක.
3. දැන් තව අලුත් එකකි. වරායේ බටහිර ජැටියට වැලි ගැනීම ජනතා විරෝධය මැද අරඹා ඇත. මේ විනාශයට මැදිහත් වී ඇත්තේ පරිසර විනාශයන් සඳහා කුප්රකට අදානි සමාගම ය.
බලන්න:
මේ ගැන ජනතා අදහස් ගැනීමක් කළේ ය. එහිදී මේ ගැන අති බහුතරය විරෝධය පළ කළ ද ආණ්ඩුව බලහත්කාරයෙන් එය කරගෙන යෑමෙන් පෙන්නුම් කරන්නේ ජනතා අදහසට කන් නොදෙන බව ය. මේ ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදයේ හැටිය.
වන්දිය:
මේකට ධීවරයන්ට වන්දි දෙන බවක් කියැවේ. වන්දියක් යනු හානියට ගෙවීමක් ය. ඉන් කියැවෙන අනෙක් කරුණ නම් හානිවන බව ය. එබැවින් වන්දි ගැනීම යන කරුණේ අනෙක් පැත්ත නම් අපිට සල්ලි ටිකක් දෙනවා නම් හානි වුනාට කමක් නැහැ යන්න ය.
හානිය:
එහෙත් හානිය කොපමණ වේද? මෙය තක්සේරු කර ඇත්තේ කෙසේ ද? අපේ අදහස නම් මෙය මුහුද අරබයා හරිහැටි කර නැති බව ය. අපට නම් පරිසර තක්සේරු වාර්තා පිළිබඳ අබ මල් රේණුවක විශ්වාසයක් දැන් නැත. ඒ තරමට හැමතැන ම දේශපාලන බලපුලුවන්කාරකම් ය.
තඹගල යනු සුනාමියෙන් පමුණුගම සිට මීගමුව දක්වා මුහුදු වෙරළ ආරක්ෂා කළ ගල්වැටිය ය. තඹ ගල ඇත්තේ මුහුදේ ය.
ගොඩ බිමට පෙනෙන්නට නැත. එහෙත් ගොඩතඹගල (කොටතොඹ ගල ) හෙවත් ගොඩගලට සිදුවෙමින් පවතින විනාශය දැකිය හැක. මේ පින්තූරවල ඇත්තේ එය ය.
මේ ගල්පර කැඩීබිඳී ගියහොත් හෝ ඇලවීම හෝ ඇදවැටීම සිදු වුවොත් කළපුවත් මුහුදත් යා වී මීගමු කළපුව හා මුහුද අතර ඇති මීගමුව සිට පමුණුගම දක්වා ප්රදේශ හා ඉන් ඔබ්බට ඇති ප්රදේශ ද මුහුදට බිලිවිය හැක.
ආණ්ඩුවේ වුවමනාව:
ආණ්ඩුවට මේ වෙලාවේ වුවමනාව තමන්ගේ පාලන කාලය රැක ගැනීම ය. ඒ සඳහා ඔවුනට ඩොලර් වුවමනා ය. ඩොලර් ගත හැකි මාර්ග විනා විය හැකි විනාශයන් ගැන හැඟීමක් ඔවුනට නැත. ඒ වෙනුවෙන් සියලු දේ විකුණන්න ඔවුන් සූදානම් බව අප පක්ෂ භේදයෙන් තොර ව තේරුම් ගත යුතු ය. අනාගතය හෝ පරිසරය දැන් ඔවුනට අදාළ ම නැත. පේන්නේ ඩොලර්, ඩොලර්, ඩොලර් විතරම ය.
එහෙත් අපට:
මේක ධීවරයන්ගේ පමණක් ප්රශ්නයක් නොවේ. මේ ප්රදේශවල ජීවත්වන හැමෝට ම අදාළ ය. වන්දි සොච්චමකින් විය හැකි හානිය වසා දැමිය හැකිද? උන්හිටි තැන් අහිමි නොවනු ඇතැයි ආණ්ඩුවට සහතික විය නොහැකි ය. මේක මේ ප්රදේශවල ජීවත්වන අයට ජීවිතය හා පැවැත්ම පිළිබඳ කාරණාවකි.
වන්දි ගෙවිය යුත්තේ කවුද?
අවුරුද්දේ දවස් 365ම කා බී සතුටින් ජීවත්වන්නට හැකි තරම් සම්පත්වලින් පිරුණු භූමියක් දෙවියන් අපට දායාද කර ඇත. එහෙත් මේ වාසනාවන්ත රට මිනිසුන් බඩගින්නෙන්, ලෙඩදුකින්, දුප්පත්කමෙන් හා පීඩිතභාවයෙන් මිය ඇදෙන හා සිය දිවි නසාගන්නා තැනට පත්කළෝ 1948 සිට මේ රට පාලනය කළ දේශපාලකයෝ ය.
ඉනුත් 1977න් පසු බිහිවූ බඩගෝස්තරවාදී දේශපාලකයෝ එළිපිට ම හොරා කෑහ. රට අල්ලාගෙන සිටි සුද්දන්ට වඩා රටේ සම්පත් පිටරටට ඇද්දෝ මේ පාලක රොත්ත ය. පැන්ඩොරා පේපර්ස් වැනි දේවල් පෙන්නා දෙන්නේ එය ය. දැන් වන්දි ගෙවිය යුත්තේ අප ද? හොරා කෑ හා හොරා කන දේශපාලකයන් විනා අපේ අසරණ ජනතාව මීට වන්දි ගෙවිය යුතු නැත.
රැවටුනා ඇති. රිදීතිහට ජේසුස්වාමිදරුවන් පාවාදුන් ජුදාස්ලා නොවෙමු. පාලකයන් පාවා දීමට කැස කවන්නාවූ, දෙවියන් අප ජනිත කළ පාරාදීසය රැක ගැනීමට එකාවන් ව එක්වෙමු!
අජිත් හැඩ්ලි පෙරේරා