අපේ පූජක පැලැන්තිය ක්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා |ආයුර්වේද වෛද්‍ය වික්‍රම ෆොන්සේකා පියනම –

0
468

fatherක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ ධර්මයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සැමටම යුක්ති සහගත සාධාරණ සමාජයක් බිහිකිරීමයි. ධනය බලය ඇත්තන් ඉහළ නංවා දුකින් පෙළෙන්නන් පීඩිතයන් පහළ හෙළීමට න‍්‍රිස්තුස් වහන්සේගේ දේශනාවේ මෙන්ම එතුමාගේ ජීවිත ආදර්ශයේද නොවුණි. එහෙත් අද කතෝලික සභාව යමින් සිිටින දිශාව කුමක්ද?

ඔබ කතෝලික පූජකයෙක්. දැන් ආයුර්වේද වෙදකම කරන්නේ පූජක කාර්යභාර්ය අවසන් කරලාද? පූජකවරයයි වෙදකමයි ගළපාගන්නේ කොහොමද?

මගේ පදනම වෙනස්. කතෝලික සභාව කෙරෙහි මම දැක්වූ ආකල්පය හා කතෝලික බයිබලයෙන් මම කළ දේශනා ආදිය අනිත් පියතුමන්ලාට වැඩිය වෙනස් ස්වභාවයක් ගත්තා. මම කළ දේශනා කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨයන්ගේ පැකිලීමට හේතු වුණා. මේ නිසා කතෝලික සභාව තුළ මට තිබුණ පිළිගැනීම අඩුවීමත් එක්ක මම විශ‍්‍රාම ගැන්වීමට තල්ලූ වුණා.

මට වෙදකම කරන්න ඕනෑ කියලා ඉල්ලා හිටියාම මට දෙකම කරන්න නිදහස දුන්නා. දැන් විශ‍්‍රාම ගැන්වුණ පියතුමෙක් හැටියට වෙදකම කරගෙන ඉන්නවා. වෙදකම තුළ රෝගීවූවන්ට දෙවියන්ගේ ආදරය, කරුණාව සුවය ලබාදෙන්න මම කටයුතු කරනවා.

වෙදකම තුළින් දෙවියන්ගේ ආදරය, කරුණාව දෙනවා කියන්නේ, ඔබ බෙහෙත් කරන්නේ නොමිලේද?

මම බෙහෙත් කරන්නේ පඬුරුවලට. මගෙන් වෙදකම කරගන්න රෝගීන්ට මම මුදලක් නියම කරන්නේ නැහැ. තමන්ගේ තරමේ හැටියට පඬුරක් දාලා යන්න පුළුවන්. මම රෝගීන්ට අවශ්‍ය කරන සියලූම බෙහෙත් ලබා දෙනවා. තියෙන අය සල්ලි වැඩියෙන් දෙනවා. නැති අය සල්ලි අඩුවෙන් දෙනවා. මුදල් හම්බකරන චේතනාවෙන් මම වෙදකම කරන්නේ නැහැ. මගේ එකම චේතනාව මං ළඟට එන රෝගීන්ට දෙවියන්ගේ ආදරය, කරුණාව සමගින් සුවය ලබාදීමයි.

සාම්ප‍්‍රදායිකව කතෝලික පල්ලියේ ඉඳන් ජනතාව එක්ක කරන ගනුදෙනුවලින් ඉවත්වෙලාද?

ඔව්, ඒක මම භාවිතයත් එකක් හදාගන්න අවශ්‍යයි. කතෝලික පියතුමෙක් හැටියට නිල වශයෙන් ජනතාව එක්ක ගනුදෙනු නැති වුණාට මං තුළ හුදෙකලාභාවයක් නෑ. මම කරන වෙදකම තුළ විවිධ තරාතිරම්වලට අයත් ජනතාව මං ළඟට එනවා. ඊට අමතරව සෑම ඉරිදාවකම කඳාන ද මැස්නද් විදුහලේ දේවස්ථානයේ දේව මෙහෙයන් ඉෂ්ඨ කරනවා.

ඔබ කතෝලික සභාවේ අනිකුත් පියතුමන්ලා එක්ක වෙනස් වෙන්නේ කොහොමද?

මම දකින ක‍්‍රිස්තියානියයි රෝමානු කතෝලික සභාව දකින ක‍්‍රිස්තියානියයි අතර වෙනසක් තියෙනවා. රෝමානු කතෝලික සභාව නිරන්තරයෙන්ම ධනය, බලය, කීර්තිය පසුපස හඹායනවා. කතෝලික සභාවේ පියතුමෙකුගේ වගකීම දේව යුක්තිය සාධාරණත්වය මිහිපිට ඇති කිරීමයි. ඒ වෙනුවෙන් ජීවිත පූජා කිරීමයි. එහෙත් කතෝලික සභාව පියතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණය නොවේ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ ධනය, බලය, කීර්තිය රැස්කර දීමයි. ඒ කාරණය ඉහළින්ම කරලා දෙන පියතුමෙක් ඉන්නවා නම් එවැනි කෙනෙක්ව අද කාලේ සාන්තුවරයට ඔසවන්නත් යෝජනා කරාවි.

කතෝලික සභාවට ධනය, බලය, කීර්තිය රැුස්කරදෙන කාරණය මගේ වගකීමක් හැටියට සලකන්න මම සූදානම් නැහැ. ක‍්‍රිස්තුස් වහන්්සේට ධනය අවශ්‍ය වුණා නම් ප‍්‍රාතිහාර්යයක් කරලා රත්තරං කඳු ටිකක් හදන්න තිබුණා. උන්වහන්සේ ඒක කළේ නැහැ. ඔය ගැටලූව මායි කතෝලික සභාවයි අතර තිබුණා. මම සමාජයේ දේව යුක්තිය, දේව සාධාරණත්වය වෙනුවෙන් පමණක් වැඩකරනවා. කතෝලික සභාව ධනය රැස්කරගන්නට පමණක් යනකොට මම එතැනට නිෂ් ප‍්‍රයෝජනවත් පුද්ගලයෙක්.

කතෝලික සභාව ධනය, බලය රැස්කරන ගමනක් යනවා කියලා මේ තරම් තදබල විවේචනයක් කරන්නේ ඇයි?

කතෝලික සභාව ඉස්සර පාසල්වල දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දුන්නා. ඉන්නට හිටින්නට නිවහනක් නැති දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දොරක් හදලා දුන්නා. දැන් ඒවා නැහැ. පේ‍්‍රමයේ ක‍්‍රියා එන්න එන්නම අත්හරිමින් ඉන්නවා. ඒ තරමට මුදල් මත්තේ නැහෙනවා. පල්ලිවලට ටෙරාසෝ දානවා. පල්ලියේ හොඳටම තියෙන මාබල් උඩින් තවත් මාබල් අල්ලනවා. අපි යමින් ඉන්නේ කොහේටද? දේව රාජ්‍ය හොයමින්ද ඉන්නේ?

ක‍්‍රිස්තුස් වහන්සේ අද නැවත ආවොත් ලංකාවේ කතෝලික පල්ලිය කොහොම විවේචනය කරාවිද?

උන්වහන්සේ මේ දැන් මේ මොහොතේ එනවා කියලා උපකල්පනය කරමු. එදා ජෙරුසලම් දේව මාලිගාව තුළ විවිධ බිස්නස් කරමින් එය හොරුන්ගේ තිප්පොලක් කරගෙන තිබූ හැටි දැකලා ක‍්‍රිස්තුස් වහන්සේ ඒ දේව මාලිගාවේ බිස්නස් කරපු අයට වේවැල් පාර දුන්නා. එදාටත් වඩා අද කතෝලික පල්ලි හොරුන්ගේ ගුහාවක් බවට පත්වෙලා. අනිවාර්යයෙන්ම උන්වහන්සේ අපේ කතෝලික පල්ලියේ පාලකයන් එක්ක ගැටෙයි. ඒ අය ජනතාවට දේශනා කරන්නේ එක දෙයක්. ඒත් ක‍්‍රියාත්මක කරන්නේ වෙනත් දෙයක්.

මට හිතෙන්නේ අපේ පූජක පැලැන්තිය නැවතත් ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහයි. මේ කාර්යය කරන්න කතෝලික පල්ලිය විතරක් නෙමේ අනිකුත් ක‍්‍රිස්තියානි කණ්ඩායම්වල පාලකයොත් එකතුවෙයි. බලය, ධනය එක්ක ගැටගැහිලා ඉන්න කතෝලික – ක‍්‍රිස්තියානි නායකයන් යම් යම් අල්ලස් දීලා ක‍්‍රිස්තුස් වහන්සේව මරණයට පත් කරයි.

පූජකවරුන් කතෝලික සභා නායකත්වයට අවනත වීම හා පක්ෂපාතීත්වය දැක්වීම ඔබ දකින්නේ කොහොමද?

මුලින්ම යමෙක් තමන්ගේ හෘදය සාක්ෂියට අවනත වීම අවශ්‍යයි. මගේ ශ්‍රේෂ්ඨයෝ මට උපදෙස් දෙන්නේ ධනය, බලය, කීර්තිය වර්ධනය කරගන්න නම් මම ඒ අයට කීකරු වෙන්න හෝ යටහත්පහත් වෙන්න අවශ්‍ය නැහැ. අපි හැමවිටම හෘදය සාක්ෂියට එකඟව වැඩකරන්න අවශ්‍යයි. නායකයා සේවකයා විය යුතු බව ක‍්‍රිස්තුස් වහන්සේ මූලිකවම ඉගැන්නුවා. එහෙම සේවකයෝ කතෝලික සභාවේ ඉන්නවාද? අධි සුඛෝපභෝගී යානවාහන පාවිච්චි කරන, උස් පුටුවල හිඳගන්න එළිමහනට පෙනෙන්න වැඩ කරනවා. මේ කාරණාවලට මම අවනත වෙන්න හෝ කීකරු වෙන්න අවශ්‍ය නැහැ.

ෆ‍්‍රැන්සිස් පාප්තුමාගේ ක‍්‍රියාකාරීත්වය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

වත්මන් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ නිවැරදි ක‍්‍රිස්තියානිය පිළිබඳ අවබෝධය ලෝක ජනතාවට දෙනවා. එතුමා එළිමහනට බැහැලා දෛනික ජිවිත රටාව පිළිබඳ ජනතාව දෙන පණිවුඩ ගොඩාක් අගය කරන්න ඕනෑ. වත්මන් පාප්තුමා වගේම කතෝලික සභාව තුළ විශාල පරිවර්තනයක් ඇති කරන්න උත්සාහ කළේ පළවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේයි. එතුමා දින 23යි පදවියේ හිටියේ. මම විශ්වාස කරන හැටියට එතුමාට වහ දීලා මරණයට පත් කළා. වත්මන් පාප්තුමාත් මේ කරගෙන යන වැඩපිළිවෙළේ හැටියට මරණය හා සම්බන්ධව බොහෝම කිට්ටුවෙන් ඉන්න බව මට හැෙඟනවා.

ෆ‍්‍රැන්සිස් පාප්තුමාගේ විශේෂත්වය එතුමා ජීවත්වන්නේ වතිකානයේ නොවෙයි. රෝම නගරයේ මහල් නිවාස සංකීර්ණයක සාමාන්‍ය ජනතාව එක්ක. වතිකානය ඇතුළේ අද ජීවත් වෙන්න බැරි සංකීර්ණ කාරණා කතෝලික සභා දේශපාලනයේ තියෙනවා.

කතෝලික සභාව පහුගිය කාලේ දේශපාලනයත් එක්ක ඇතිකරගත් සම්බන්ධතා හෝ සමහර විට දැනටමත් කරන සම්බන්ධතා ගැන ඔබ එකඟද?

ධනය, බලය, කීර්තිය කියන කාරණා එක්ක කුළුපගව ඉන්න අයට ආණ්ඩුව එක්ක ඞීල් දාන්නම වෙනවා. ධනයට, බලයට ආදරය කරන ඕනෑම තරාතිරමක කෙනෙක් ඒ විදියට හැසිරෙන එක අමුතු දෙයක් නෙමේ. මේ කාරණය කතෝලික ආගමට විතරක් විශේෂ වූවක් නෙමේ.

වරාය නගරයත් එක්ක ඉතාම පැහැදිලි බලපෑමක් අහිතකර බවක් තියෙන්නේ ධීවරයන්ට. කළුතර ඉඳලා හලාවත දක්වා ජීවත්වන ධීවරයන්ට වරාය නගරයෙන් අහිතකර ලෙස බලපෑම් තියෙනවා. වරාය නගරයට ධීවරයන්ගෙන් තියෙන විරෝධය වළක්වාගන්නට නම් කතෝලික පල්ලියේ සහයෝගය අවශ්‍යයි. ඒ සඳහා චීනය රාගම තේවත්ත පල්ලියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කරලා දෙනවා. චීනය තේවත්ත පල්ලිය හදන්නේ ආගමික භක්තියකට නෙමේ. දෙවියන් වහන්සේ මැදිහත් වෙලා තේවත්ත පල්ලිය හදලා දෙනවා කියලා ඥානාර්ථ ප‍්‍රදීපයේ ලිපියක් තියෙනවා මම දැක්කා. එහෙම නං ජේසු ස්වාමී දරුවන් පාවා දීපු ජූදස්ටත්් හම්බ වූ රිදී කාසි 33ත් දෙවියන් වහන්සේ මැදිහත්වෙලා දෙන්ඩ ඇති. ඒ පත්තරේ ලිපියේ හැටියට මම තේරුම් ගත්තේ චීනය තේවත්ත පල්ලියේ වහල හදන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු තෑග්ගක් නිසා බවයි.

ඇත්තටම ලංකාවේ කතෝලික පල්ලිය රකින්නේ ධීවරයන්. කතෝලික දස පනතට අනුව ඉරුදින නිවාඩු වලංගු කරව කියලා සඳහන් වෙනවා. ඉරිදා නිවාඩු දාලා පල්ලියට එන අයගෙන් අතිබහුතරයක් ඉන්නේ ධීවරයන්. තමන් උපයන දෙයින් දහයෙන් පංගුවක් නොවරදවාම දෙන්නෙත් ධීවරයන්. ධීවරයන්ගේ බඩවියතට ගහන්න මම එකඟ වෙමියි කියලා රෝමානු කතෝලික පල්ලිය අපේ ධීවරයන්ව චීනයට පාවා දෙනවා. එහෙම පාවාදීලා තමන්ට අවශ්‍ය දේ පල්ලිය ලබාගන්නවා.

සමහර කතෝලිකයන් කතෝලික සභාවෙන් ඈත්වෙලා ඉවත්වෙලා යනවා. මීසම්වල පියතුමන්ලා ඒකාධිපතියෝ වගේ හැසිරෙනවා. ගිහි ජනතාව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. දෙවියන්ගේ රාජ්‍යයට සේවය කරන්න ඉන්න ගිහියන්ව මුදල් හම්බ කරන්න යොදවනවා. මුදල් මත්තෙම යැපෙන විවිධ ව්‍යාපෘති සඳහා ජනතාව පොළඹනවා. මිනිස්සුන්ව හරියට රවටනවා. දේව කරුණාව පියතුමන්ලාගෙන් ගිලිහී ගිහිං. මිනිස්සුන්ට කතා කරන්නෙත් තර්ජනය කරලා බියවද්දලා. මීසම්වල ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාව උපයාගෙන එකතු කරගත් මුදල් පියතුමන්ලා තනි කැමැත්තට පාවිච්චි කරලා කාබාසිනියා කරනවා. කතෝලික ජනතාව කතෝලික සභාව අතහැරලා යන්නේ පියතුමන්ලාගේ කල්ක‍්‍රියාව ගැන කලකිරිලා. මේ නරක හැසිරීම් ඉදිරියේ කතෝලික සභා නායකත්වය තවදුරටත් නිහඬ ප‍්‍රතිපත්තියක් රකිනවා.

www.ravaya.lk -රුක්මාල් සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here