අපේක්ෂා එක්ස්ප්‍රස් නවත්වන්නැයි ඉල්ලු පුද්ගලික බස් සංගමය කව්ද ?

0
73
maharagama-890x395_c.pngමහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්”  ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි අද මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.
පසුගිය මාර්තු මස සිට  කොවිඩ් 19 හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා  පැමිණෙන රෝගීන් මහත් ගැටළුසහගත තත්ත්වකට පත් වූහ.
ඊට හේතුව නම් දුරබැහැර එම සායන සඳහා පැමිණීමට පහසුකම් නොවීමය.
 දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිට  රෝගීහු විශාල ප්‍රමාණයක් මෙම සායන සඳහා සහභාගි වෙති.

මේ නිසා එම රෝගීන් ප්‍රවාහණය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි ලංගම මගින් බස් රථ සේවාවක් ආරම්භ කළ අතර දිනපතා මෙම බස් සේවාව ක්‍රියාත්මක වේ. වර්තමානයේ ද මෙම සේවාව ක්‍රියාත්මක වීම නිසා එම සායන සඳහා පැමිණෙන අසරණ රෝගින්ට ඉන් මහත් සෙතක් අත් වී තිබේ.

එමෙන්ම සායන සඳහා පැමිණෙන රෝගින් ආපසු නිවෙස් කරා යාමේ දී ඔවුන්ට වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඉතාමත් සංවේදී ඖෂධ ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක පවත්වා ගත යුතු හෙයින් බොහෝ බස් රථ වල ශීතකරණ පහසුකම් පවා ස්ථාපිත කිරීමට ලංගමය විසින් පියවර ගන්නා ලදී.

මෙම බස් සේවාව මගින් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව කියමින් එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් විසින් රෝගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ බස් සේවාව වහාම අත් හිටුවන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් ඉල්ලිමක් කර ඇතැයි කියන ඉල්ලිම  සැබැවින්මි පිළිකුල් සහගතය.

හැකි නම් ලංගමය විසින් සපයන සේවාව හා සමාන සේවාවක් ලබා දී පුද්ගලික අංශයට ද එවැනි සේවාවක් එම රෝගින් සඳහා අරඹන්නැයි අමාත්‍යවරයා මෙහිදි මේ සංගම්කාරයන්ට කියා තිබේ.

කෙසේ වුවද, අපේක්ෂා රෝහලට දුරබැහැර සිට පැමිණෙන රෝගින් තම රෝගී ස්වභාවය නිසා අධික වේදනාවෙන් පෙළෙන රෝගිහු වෙති. ඔවුන්ට පහසුවෙන් ගමන් කිරීම සඳහා පහසුකම් පොදු ප්‍රවාහණය තුළ තිබිය යුතුය. ලංගම විසින් මහරගම අපේක්ෂා රෝහලට දක්වා සපයන ලද බස් සේවාව එම රෝගි ජනතාව හදුන්වන්නේ “අපේක්ෂා එක්ස්ප්‍රස්”  යනුවෙනි.