අයහපත් කාලගුණික තත්ත්වය තුළ මුහුදු ගිය ධීවරයින් සොයා මෙහෙයුම්

0
74
dig
අන්තර්ජාලයෙනි
අන්තර්ජාලයෙනි

අයහපත් කාලගුණික තත්ත්වය නිසා  ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස අදාළ සියලු අංශ දැනුම් දී තිබියදීත් ධීවර කටයුතු සඳහා ගොස් මුලතිව් මුහුදේ දී මේ වනවිට අතුරුදන් ව ඇති ධීවර කාර්මිකයින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව ද එම කටයුතු සඳහා  කටයුතු කරන අතර, ධීවර අමාත්‍යාංශයේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අවට මුහුදේ ගමන් කරන සියලුම නැව්වලට ද මෙම ධීවරයින් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත.

කෙසේ වුවද කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පුර්ව නිවේදන ජනමාධ්‍ය ඔස්සේ නිකුත් කළ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ද ධීවර වරායන් හිදී ධීවරයින්හට මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස් දෙනු ලැබීය.

ඒ හේතුවෙන් පසුගිය දින දෙක තුළ අප රටේ ධීවර ප්‍රජාවෙන් සියයට 99ක්ම  එම උපදෙස් පිළිපදිමින් ධිවර කටයුතුවලින් වැළකී සිටි බව දිස්ත්‍රික් ධීවර නිලධාරින් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මෙම අතුරුදන් ධීවරයින් සම්බන්ධයෙන්  අවශ්‍ය සොයා බැලිම් අඛණ්ඩව සිදු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (13) පස්වරුවේ අදාළ අංශ වෙත තවදුරටත් උපදෙස් දෙනු ලැබීය.


news.lk