අරුන්දික,දංකොටුෙව්දි රාජපක්ෂලාගේ හෙළුව පෙන්නයි.

0
65

arundikaවයඹ පළාත් සභා මැතිවරණයේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ බරපතල මැතිවරණ භීෂණ තත්ත්වයක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් අද (21) අළුයම සිට ඇති කරමින්, නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
මෙවැනි ක්‍රියා මගින් රජ පවුලට සතුටත්, එසේ ඕනෑම අමන ක්‍රියාවක් කිරීමට හෙන්චයියන්ට ඇති නිදහසත් තහවුරු කර ඇති බවත්, මෙය රාජපක්ෂ රෙජීමයේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනයේ අවධාරණය කර ඇත.
” නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති අයිතිය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අතර එය පොදු රාජ්‍ය මණ්ඩලය විසින් ද පිළිගත් මූලධර්මයකි. එවැනි විටෙක පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පෙනී පෙනී රාජපක්ෂ රෙජීමයේ හවුල්කරුවෙකු සිය හෙන්චයියන්ද සමග මෙලෙස හැසිරීමෙන්  මුළු ලෝකයාටම නැවත වරක් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි.” යයි ද එම නිවේදනයේ සඳහන්වේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි,  අද අළුයම 1.30 පමණ සිට අරුන්දික ප්‍රනාන්දු තවත් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ මැර කණ්ඩායමක් සමග මුළු ආසනය පුරාම සැරිසරමින් විරුද්ධ පාක්ෂික දේශපාලන ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට බලෙන් ඇතුළු වී, “ඡන්දය දා එළියට බැස්සොත් දෙයියම්පා තොපිව මරණවා ! යැ”යි ගිනි අවි පෙන්වා තර්ජනය කරමින් සහ පහර දෙමින් ගොස් ඇත.

එක් ස්ථානයකදී එක්සත් ජාතික පක්ෂයට සහය දෙන නිවැසියන් දණ ගස්සවා, ඔවුනට අමානුෂික ලෙස පහර දී තිබේ. එසේම අද උදෑසන සිට අරුන්දික ප්‍රනාන්දු සිය මැර කණ්ඩායම සමග ආසනයේ ඡන්ද පොළින් පොළට ගොස්, ගිනි අවි පෙන්වා මරණ තර්ජන කරමින්, විරුද්ධ පාක්ෂිකයන් එළවා දමමින් සිටී.

මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රදේශයේ පොලිසියට, මැතිවරණය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දේශීය සහ විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් වෙත පැමිණිලි කර ඇත.
www.srilankamirror.lk